A A A A A

පව්: [කෑදරකම]


1 ජොහන් 2:16
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

2 කොරින්ති 9:7
කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.

ධර්මදේශකයා 5:10
රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.

හෙබ්‍රෙව් 13:5
ඔබ සැමට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

ශුද්ධවර ලූක් 12:15
තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.

ශුද්ධවර මතෙව් 6:24
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට ඔබ සැමට නුපුළුවන.

හිතෝපදේශ 11:28
තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.

හිතෝපදේශ 13:11
සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය; එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය.

හිතෝපදේශ 14:31
දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.

හිතෝපදේශ 15:27
ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.

හිතෝපදේශ 20:21
මුලදී ඉක්මනින් ලබාගන්න උරුමය කෙළවරදී සඵල නොවන්නේය.

හිතෝපදේශ 22:1-9
[1] බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය. [2] පොහොසතාද දුප්පතාද සම්මුඛවෙති; ඔවුන් සියල්ලන්ගේ මැවුම්කාරයා ස්වාමීන්වහන්සේ ය. [3] නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති. [4] යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය. [5] කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි. [6] දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය. [7] වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය. [8] අයුක්තිය වපුරන්නා විපත්තිය කපාගන්නේය; ඔහුගේ උදහස නමැති ඉපල නැතිවන්නේය. [9] කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.

හිතෝපදේශ 28:22-25
[22] අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය. [23] ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ. [24] තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය. [25] ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි.

1 පේදුරු 5:2-3
[2] ඔබ සැම අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,[3] ඔබ සැමගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව ඔබ සැමම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.

1 කොරින්ති 4:11-13
[11] මේ පැය දක්වාම ශුධාවද පිපාසායද විඳ, වස්ත්‍ර නැතුව, පහර ලැබ, නියම වාසස්ථානයක් නැතුව සිටිමුව.[12] අපේම අත්වලින් වැඩකරමින් වෙහෙසෙමුව. නින්දා ලබන කල අපි ආශීර්වාදකරමුව; පීඩා ලබන කල අපි ඉවසමුව;[13] අපකීර්තිය ලබන කල අපි අවවාද දෙමුව. මේ දක්වාම ලෝකයේ කුණු මෙන්ද සියලු දේවල කසළ මෙන්ද වී සිටිමුව.

1 තිමෝති 6:6-19
[6] ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.[7] මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය.[8] තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.[9] නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.[10] මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.[11] නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.[12] ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට ඔබ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.[13] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා ඔබ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස,[14] සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කළාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි ඔබට ආඥාකරමි.[15] ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ,[16] කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.[17] මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,[18] යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්,[19] සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න.

ජාකොබ් 5:1-6
[1] මෙන්න, ධනවතුනි, ඔබ සැම කෙරේ පැමිණෙන්ට තිබෙන ඔබ සැමගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬන්න.[2] ඔබ සැමගේ වස්තුව දිරා ගියේය, ඔබ සැමගේ වස්ත්‍ර කාවෝ කෑවෝය.[3] ඔබ සැමගේ රන්රිදී මලකඩකා තිබේ; ඒ මලකඩ ඔබ සැමට විරුද්ධව සාක්ෂියක් වී, ගිනි මෙන් ඔබ සැමගේ මාංස දවනවා ඇත. අන්තිම දවස්වලදී ඔබ සැම වස්තු රැස්කොට තැබුවහුය.[4] බලව, ඔබ සැමගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.[5] ඔබ සැම පොළොවේදී සැපජීවිකාවෙන් වැස, අලංකාරකමින් පසුවුණහුය; මැරුම්කන දවසකදී ඔබ සැමගේ සිත් ඔබ සැම පෝෂ්‍යකරගත්තහුය.[6] ඔබ සැම ධර්මිෂ්ඨයා වරදට පත්කොට මැරුවහුය; ඔහු ඔබ සැමට විරුද්ධව සිටින්නේ නැත.

Sinhala Bible SROV
Ceylon Bible Society