A A A A A

අභිරහස්: [මකරා]


එසකියෙල්ගේ 29:3
ඔබ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම ඔබට විරුද්ධයෙමි.

එසකියෙල්ගේ 32:2
මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න-ඔබ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. ඔබ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; ඔබේ ගංගාවල ඔබ පැන පැන ගොස්, ඔබේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය.

යෙසායා 27:1
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.

යෙසායා 51:9
එම්බා ස්වාමීන්වහන්සේ ගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් ඔබ නොවේද?

ජෝබ් 7:12
ඔබ මට විරුද්ධව මුර තබන්නේ මම මුහුදක්ද? නොහොත් තල්මසෙක්ද?

ජෝබ් 41:18-21
[18] උගේ කිඹිසීම්වලින් එළියක් බබළයි; උගේ ඇස් අලුයම නමැති ඇසිපිය වැනිය. [19] උගේ කටින් ගිනිදැල් නික්මෙන්නේය, ගිනිපුපුරු පැනනගින්නේය. [20] ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය. [21] උගේ හුස්මට අඟුරු පත්තුවෙන්නේය. ගිනිදැලක්ද උගේ කටින් නික්මෙන්නේය.

ගීතාවලිය 18:8
උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය.

ගීතාවලිය 44:19
අපේ සිත පසුබට නොවීය, අපේ පාද ඔබගේ මාර්ගයෙන් ඉවත් නොවීය.

ගීතාවලිය 74:13
ඔබ ස්වකීය ශක්තියෙන් මුහුද බෙදූසේක. ඔබ ජලයෙහි මහා සත්වයන්ගේ හිස් බින්දසේක.

එළිදරව්ව 1:7
බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලෙපන්නෝය. එසේය, ආමෙන්.

එළිදරව්ව 11:7
ඔවුන් තමුන්ගේ සාක්ෂිය නිමකළ විට පාතාලයෙන් නැගී එන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධකොට, ඔවුන්ගෙන් ජයගෙන ඔවුන් මරන්නේය.

ද්විතීය නීති සංග්‍රහය 32:33
ඔවුන්ගේ මුද්‍රිකපානය සර්පයන්ගේ විෂය, පොළඟුන්ගේ සැර විෂය.

එළිදරව්ව 13:8
ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.

එළිදරව්ව 16:13
තවද සර්පයාගේ කටිනුත් මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘගේ කටිනුත් මැඩියන් වැනිවූ අශුද්ධාත්මයන් තුන් දෙනෙක් නික්ම එනවා දුටිමි.

නික්මයාම 7:10-12
[10] මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය. ආරොන් තමාගේ සැරයටිය ඵාරාවෝද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි හෙළීය, එවිට ඒක සර්පයෙක් වුණේය.[11] ඵාරාවෝද ශාස්ත්‍රවන්තයන් සහ මන්ත්‍රකාරයන් කැඳවීය. එවිට මිසරයේ මායාකාරයෝවූ ඔව්හුද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එලෙසම කළෝය.[12] මක්නිසාද ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය හෙළූකල ඒවා සර්පයෝ වුණෝය. නුමුත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලගත්තේය.

ජෝබ් 40:15-20
[15] බෙහමොත් බලන්න, ඔබ මෙන් ඌත් සෑදුවෙමි; ඌ ගොනෙකු මෙන් තණකොළ කයි. [16] උගේ තුනටියෙහි තිබෙන උගේ ශක්තියත් උගේ බඩේ මස්ගොබවල තිබෙන උගේ බලයත් කල්පනාකරන්න. [17] ඌ උගේ වල්ගය කිහිරි ගසක් මෙන් වනන්නේය; උගේ කළවාවල නහර එකට ගෙතී තිබේ. [18] උගේ ඇට පිත්තල වැනිය; උගේ ඉළඇට යකඩ පොලු වාගේය. [19] දෙවියන්වහන්සේගේ වැඩවලින් ඌ ප්‍රධානියාය. ඌ සෑදූ තැනන්වහන්සේ උගේ කඩුව සපයාදෙනසේක. [20] මක්නිසාද ඌට කෑම සම්බවෙන්නේ වනයේ සියලු සත්වයන් ක්‍රීඩාකරන කඳුවලය.

එළිදරව්ව 12:1-17
[1] තවද මහත් පුදුමයක් අහසෙහි දක්නාලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියෙක්ය;[2] ඈ ගර්භිණීව සිටියාය. ඈ විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය.[3] අහසෙහි තවත් පුදුමයක්ද දක්නාලද්දේය; එනම් හිස් සතක්ද අං දසයක්ද තමාගේ හිස් පිට මටුනු සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය.[4] ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය වැදූ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය.[5] ඈ සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩුකරන පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු, බිහිකළාය. ඇගේ දරුවා දෙවියන්වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය.[6] ස්ත්‍රීද කාන්තාරයට පලාගියාය, එක්දහස් දෙසිය සැට දවසක් ඈ පෝෂණයකරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළකරනලද ස්ථානයක් ඈට එහි තිබුණේය.[7] තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහ සර්පයාද තමාගේ දූතයෝද සටන්කොට,[8] ජය නොලැබුවෝය, ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය.[9] මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.[10] එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.[11] ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.[12] එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව ඔබ සැම වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.[13] තමා පොළොවට හෙළනු ලැබූ බව මහ සර්පයා දුටු කල, හෙතෙම පිරිමි දරුවා බිහිකළ ස්ත්‍රීට පීඩාකෙළේය.[14] සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙනලද්දේය; එහි කාලයටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණයකරනු ලබන්නීය.[15] සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගනයන්ට සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා අරියේය.[16] නුමුත් පොළොව ස්ත්‍රීට පිහිටව, කට හැර, මහ සර්පයා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය. මහ සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය. ඌ මුහුදු වෙරළේ සිටියේය.[17] අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.

එළිදරව්ව 13:1-18
[1] අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.[2] මා දුටු මෘගයා අඳුන්දිවියෙකුට සමානය, උගේ පාද වළසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහයෙකුගේ කට වැනිය. මහ සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය.[3] මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාලවී තිබෙන්නාක්මෙන් පෙනුණේය; නුමුත් උගේ මරණීය තුවාලය සුවවිය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය;[4] මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවෙරකුට හැකිදැයි කීවෝය.[5] අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය.[6] එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසයකරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය[7] තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.[8] ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.[9] යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා.[10] යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.[11] තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය.[12] ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.[13] ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය.[14] කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය.[15] මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය.[16] තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණෙත් හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්;[17] ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය.[18] මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය.

එළිදරව්ව 20:1-15
[1] තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි.[2] ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය,[3] ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය. මින්පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනෑය.[4] තවද සිංහාසන දුටිමි, ඔව්හු එහි හිඳගත්තෝය, විනිශ්චයද ඔවුන්ට දෙනලද්දේය. තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම්කළෝය.[5] මළාවූ අනික් අය අවුරුදු දහස කෙළවරවන තුරු ජීවත් නූණෝය. මේ වනාහි පළමුවෙනි නැවත-නැගිටීමය.[6] පළමුවෙනි නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.[7] අවුරුදු දහස කෙළවරවූ කල සාතන් තමාගේ හිරගෙයින් මුදනු ලැබ,[8] පොළොවේ සතර කොනේ සිටින්නාවූ ගොග් මාගොග් යන ජාතීන් මුළාකරන්ටත් ඔවුන් යුද්ධයට රැස්කරන්ටත් නික්ම එන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය.[9] ඔව්හු පොළොවේ සෑම තැනටම ගොස් ශුද්ධවන්තයන්ගේ කඳවුරද ප්‍රියවූ නුවරද වටලාගත්තෝය. එවිට [දෙවියන්වහන්සේ වෙතින්] ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශකෙළේය.[10] ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.[11] තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.[12] මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන-පොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.[13] සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය.[14] මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය.[15] යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.

Sinhala Bible SROV
Ceylon Bible Society