A A A A A

අභිරහස්: [දෛවය]


ධර්මදේශකයා 6:10
යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.

හබක්කුක් 2:3
මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.

යෙසායා 46:10
මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.

යෙසායා 55:11
මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

ජෙරමියා 1:5
මම ඔබ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් ඔබ හඳුනාගෙන සිටියෙමි, ඔබ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම ඔබ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට ඔබ නියමකෙළෙමියි කීය.

ජෙරමියා 17:10
ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි.

ශුද්ධවර ජොහන් 16:33
මා තුළ ඔබ සැමට සමාදානය තිබෙන පිණිස මේ දේවල් ඔබ සැමට කීවෙමි. ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

ගණන් කථාව 23:19
බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?

හිතෝපදේශ 16:3
ඔබේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේ ට භාරදෙන්න; එවිට ඔබේ යෝජනා ස්ථිරවන්නේය.

හිතෝපදේශ 19:20-24
[20] ඔබේ මතු කාලයෙහි ඔබ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න. [21] මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේ ගේ මන්ත්‍රණයය. [22] මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය. [23] ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි. [24] අලසයා තමාගේ අත තළියේ දමන නුමුත්, ඒක නැවත තමාගේ කටට ගන්නේවත් නැත.

ගීතාවලිය 37:37
නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.

ගීතාවලිය 138:8
ස්වාමීන්වහන්සේ මා සම්බන්ධ කාරණය සම්පූර්ණකරනසේක. ස්වාමිනි, ඔබගේ කරුණාව සදාකල් පවත්නේය; ඔබගේම හස්තකර්ම අත් නොහළ මැනව.

එළිදරව්ව 20:12
මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන-පොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.

රෝම 12:2
ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

රෝම 8:28-29
[28] තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.[29] මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.

එපීස 2:8-9
[8] මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය. එය ඔබ සැමගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.[9] කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.

1 පේදුරු 2:8-9
[8] තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති. ඊටද ඔව්හු නියම කරනලද්දෝය.[9] නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට ඔබ සැම කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස ඔබ සැම වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

1 කොරින්ති 2:7-9
[7] අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන්වහන්සේ විසින් කලින් නියමකරනලද්දාවූ, සඟවා තුබූ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කථාකරමුව.[8] ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන් කිසිවෙක් නොදනියි. දැනගන සිටියා නම් ඔවුන් මහන්තත්ත්වයේ ස්වාමීන්වහන්සේව කුරුසියෙහි ඇණගසන්නේ නැත.[9] නුමුත් ලියා තිබෙන ලෙස: දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය.

ජෙරමියා 29:11-14
[11] මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.[12] ඔබ සැම මට අඬගසන්නහුය, ගොස් මට යාච්ඤාකරන්නහුය, මමද ඔබ සැමට ඇහුම්කන් දෙන්නෙමි.[13] ඔබ සැම මා සොයනවා ඇත, ඔබ සැමගේ මුළු සිතින් මා සොයන කල මා ඔබ සැමට සම්බවෙනවා ඇත.[14] මම ඔබ සැමට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම ඔබ සැමගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා ඔබ සැම පන්නාදැමූ සියලු තැන්වලින්ද ඔබ සැම එකතුකොට, මා විසින් ඔබ සැම යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට ඔබ සැම නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society