A A A A A

ජීවිතය: [යුද්ධය]


ධර්මදේශකයා 3:8
ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.

එපීස 6:11
යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.

යෙසායා 2:4
උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.

යෙසායා 19:2
එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.

ජෙරමියා 46:16
පැකිලෙන්නන් උන්වහන්සේ වැඩිකළසේක, ඔව්හු එකිනෙකා පිටටත් වැටුණෝය. තවද ඔව්හු: නැගිටින්න, පීඩාකරන කඩුව ඉදිරියෙන් අපේ සෙනඟ ළඟටත් අප උපන්දේශයටත් යමුයයි කීවෝය.

ජෙරමියා 51:20
ඔබ මාගේ යුද්ධ කෙටේරිය හා යුද්ධායුධය. මම ඔබ ලවා ජාතීන් පොඩි කරවා, රාජ්‍යයන් නටබුන්කරවන්නෙමි;

ජෝවෙල් 3:9
ජාතීන් අතරේ මේක ප්‍රකාශකරන්න; යුද්ධයට පේවී, බලවතුන් නැගුටුවන්න; සියලු යුද්ධකාරයෝ ළංවී නැගී එත්වා.

මීකා 7:8
එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.

ශුද්ධවර මතෙව් 24:6
යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන ඔබ සැම අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.

ගීතාවලිය 68:30
නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව; රිදී මිල සහිතව එකිනෙකා යටත්වේ; යුද්ධයට ප්‍රියවූ මනුෂ්‍ය වර්ගයන් විසිස්රවුව මැනව.

එළිදරව්ව 21:7
ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය.

රෝම 8:37
නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

රෝම 12:19
ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.

1 තිමෝති 6:12
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට ඔබ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.

2 කොරින්ති 10:4
(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

රෝම 13:4
මක්නිසාද ඔබට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් ඔබ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.

සෙකරියා 10:5
ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත.

සෙකරියා 14:2
එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.

ජාකොබ් 4:1-2
[1] ඔබ සැම අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ ඔබ සැමගේ අවයවයන් තුළෙහි යුද්ධකරන ඔබ සැමගේ තෘෂ්ණාවලින් නොවේද?[2] ඔබ සැම ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. ඔබ සැම මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. ඔබ සැම ඩබරද යුද්ධද කරන්නහුය; ඔබ සැම නොඉල්ලන බැවින් ඔබ සැමට නොලැබෙන්නේය.

ද්විතීය නීති සංග්‍රහය 20:1-4
[1] ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ සටනට ගොස් අශ්වයන් හා රථද ඔබට වඩා ගණනින් වැඩිවූ සෙනඟක්ද දක්නා කල ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක.[2] තවද ඔබ සැම සටනට ළංවෙන කල්හි පූජකයා සෙනඟ ළඟට අවුත් කථාකරමින්:[3] ඉශ්‍රායෙල්වරුනි, අසන්න, ඔබ සැම අද ඔබ සැමගේ සතුරන්ට විරුද්ධව සටනට ළංවෙනවාය. ඔබ සැමගේ සිත් ක්ලාන්ත නොවේවා; ඔවුන් නිසා භය නොවන්න, වෙවුලමින් තැති නොගන්න.[4] මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සතුරන්ට විරුද්ධව ඔබ සැම වෙනුවට සටන්කොට ඔබ සැම ගළවන පිණිස ඔබ සැම සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා.

රෝම 13:1-5
[1] හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ.[2] එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.[3] මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. ඔබ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබේ.[4] මක්නිසාද ඔබට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් ඔබ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.[5] එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය.

ගීතාවලිය 144:1-15
[1] දාවිත්ගේ ගීතයකි. යුද්ධයට මාගේ අත්ද සටනට මාගේ ඇඟිලිද පුරුදුකරවන්නාවූ මාගේ පර්වතයවූ ස්වාමීන් ට ප්‍රශංසා වේවා.[2] උන්වහන්සේ මට කරුණා නිධානයය, මාගේ බලකොටුවය, මාගේ උස් කොටුව හා මාගේ මිඳුම්කරුය; මාගේ පලිහ හා මා විසින් විශ්වාසය තබන තැනැන්වහන්සේය; මාගේ සෙනඟ මට යටත්කරදෙන්නේ උන්වහන්සේය. [3] ස්වාමිනි, ඔබ විසින් මනුෂ්‍යයා ගැන කල්පනාකිරීමට හෝ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට හෝ ඔහු කවුද? [4] මනුෂ්‍යයා වනාහි හිස්කමට සමානය. ඔහුගේ දවස් පහවයන සෙවණැල්ලක් වැනිය. [5] ස්වාමිනි, ඔබගේ අහස නමාගෙන බැස්ස මැනව. කඳු ස්පර්ශකළ මැනව, එවිට එයින් දුම් නගින්නේය. [6] විදුලි විහිදුවා ඔවුන් විසිරවුව මැනව; ඔබගේ ඊගස් විද ඔවුන් පැරදවුව මැනව. [7] ඉහළින් ඔබගේ හස්තය දිගුකළ මැනව; මහත් ජලධාරාවලින්ද විදේශීන්ගේ අතින්ද මා උදුරා මුදාගත මැනව. [8] ඔවුන්ගේ මුඛය නිෂ්ඵල දේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය. [9] දෙවියන්වහන්ස, ඔබට අලුත් ගීයක් ගායනාකරන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. [10] රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය. [11] විදේශීන්ගේ අතින් මා උදුරා මුදාගත මැනව. ඔවුන්ගේ මුඛය නිෂ්ඵලදේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය. [12] යම් කලෙක අපේ පුත්‍රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙන් හා අපේ දූවරු මාලිගා කැටයම් ප්‍රකාර කැටයම් කළ කොනේ ගල් මෙන් වන්නෝද, [13] අපේ ගබඩාවල් සියලු ආකාර ධාන්‍යයෙන් පිරී තිබෙන්නේද, අපේ කෙත්වලදී බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන්, වර්ධනය වන්නෝද, [14] අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද, [15] එකල්හි ඒ ආකාර සෙනඟ වාසනාවන්තයෝය. එසේය, ස්වාමීන්වහන්සේ තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.

Sinhala Bible SROV
Ceylon Bible Society