A A A A A

ජීවිතය: [උපන් දිනය]


එපීස 2:10
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළසේක.

ජෙරමියා 29:11
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ශුද්ධවර ජොහන් 16:21
ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය.

හිතෝපදේශ 9:11
මක්නිසාද මා කරණකොටගෙන ඔබේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද ඔබට එකතුකරනු ලැබේ.

ගීතාවලිය 16:11
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

ගීතාවලිය 20:4
ඔබේ සිතේ ආශාව ලෙස ඔබට දෙනසේක්වා, ඔබේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.

ගීතාවලිය 27:4-7
[4] ස්වාමීන් ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන් ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන් ගේ ගෘහයෙහි වාසය කිරීමය. [5] මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක. [6] දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන් ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි. [7] ස්වාමිනි, මාගේ ශබ්දයෙන් හඬගසනකල ඇසුව මැනව. මට කරුණාකොට උත්තරදුන මැනව.

ගීතාවලිය 90:12
ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.

ගීතාවලිය 91:11
මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට ඔබ ගැන අණදෙනසේක.

ගීතාවලිය 91:16
දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

ගීතාවලිය 118:24
ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.

ශෙපනියා 3:17
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් ඔබ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් ඔබ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.

ගීතාවලිය 37:4-5
[4] ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක. [5] ඔබගේ මාර්ගය ස්වාමීන් ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.

විලාප ගී 3:22-23
[22] අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේ ගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. [23] ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.

ගණන් කථාව 6:24-26
[24] ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකොට ඔබ ආරක්ෂාකරනසේක්වා.[25] ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙහි බබළවා ඔබට කරුණාකරනසේක්වා.[26] ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙහි ඔසවා ඔබට සමාදානය දෙනසේක්වා.

ගීතාවලිය 139:1-24
[1] නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි. ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක.[2] ඔබ මාගේ හිදීමද නැඟිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. [3] ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක. [4] මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය. [5] ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකරමින්, ඔබගේ හස්තය මා පිට තැබූසේක. [6] මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි. [7] ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? [8] මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. [9] මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; [10] එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නෝය. [11] සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්, [12] අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය. [13] මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. [14] මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. [15] මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. [16] ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. [17] දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද! [18] ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි. [19] දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක. එබැවින් මිනීමරුවෙනි, මා වෙතින් අහක්ව යව්. [20] මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති. [21] ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව ගැනිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද? [22] සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන් ගනිමි. [23] දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. [24] යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.

Sinhala Bible SROV
Ceylon Bible Society