A A A A A

ජීවිතය: [වේදනාව]


ජෙරමියා 29:11
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ගීතාවලිය 34:18
ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.

ගීතාවලිය 147:3
උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.

එළිදරව්ව 21:4
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඩීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.

ශුද්ධවර මතෙව් 4:23-25
[23] තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.[24] උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩා වලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.[25] ගලීලයෙන්ද දෙකපොලිසෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යොර්දාන් එගොඩින්ද බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය.

ගීතාවලිය 23:1-6
[1] දාවිත්ගේ ගීතයකි. ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.[2] උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක. [3] උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක. [4] එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ. [5] මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි. [6] සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන් ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

2 කොරින්ති 1:3-8
[3] දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.[4] අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.[5] මක්නිසාද යම්සේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීම් අප කෙරෙහි අධිකවන්නේද, එසේම ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපගේ සැනසිල්ලත් අධිකවන්නේය.[6] අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි ඔබ සැමගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ ඔබ සැමගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම ඔබ සැම විසිනුත් ඉවසීමෙන්ය.[7] ඔබ සැම ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද ඔබ සැම දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමුව.[8] එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන ඔබ සැම නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය.

1 පේදුරු 4:12-19
[12] ප්‍රේමවන්තයෙනි, ඔබ සැම සෝදිසි කිරීම පිණිස පැමිණෙන ඔබ සැම අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් ඔබ සැමට සිද්ධවෙන්නාක්මෙන් පුදුම නොවෙන්න.[13] නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් ඔබ සැම ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි ඔබ සැම පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.[14] ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා නින්දාකරනු ලබන්නහු නම් ඔබ සැම ආශීර්වාදලද්දහුය; මක්නිසාද මහිමයේ ආත්මයාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ සැම කෙරෙහි රඳනසේක.[15] ඔබ සැමගෙන් කිසිවෙක් මිනීමරන්නෙක්වත් සොරෙක්වත් නපුර කරන්නෙක්වත් අනුන්ගේ කාරණාවලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා.[16] නුමුත් යමෙක් ක්‍රිස්තියානිකාරයෙකු මෙන් දුක්විඳී නම්, ඔහු ලජ්ජා නොවී, ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරාවා.[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?[18] ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද?[19] එබැවින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස මැවුම්කාරයාණන්ට තමුන්ගේ ආත්ම භාරදෙත්වා.

ශුද්ධවර ජොහන් 16:16-24
[16] ස්වල්ප වේලාවකින් ඔබ සැම මා තවත් දකින්නේ නැත; නැවත ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකිනවා ඇතැයි කීසේක.[17] එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය.[18] එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය.[19] තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් ඔබ සැම මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකින්නහුයයි මා කී කාරණය ගැන ඔබ සැම එකිනෙකා විචාරවුද?[20] සැබැවක් සැබැවක් ඔබ සැමට කියමි-ඔබ සැම හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. ඔබ සැම ශෝකවන්නහුය, නුමුත් ඔබ සැමගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය.[21] ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය.[22] එසේ ඔබ සැමට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත ඔබ සැම දකින්නෙමි, එවිට ඔබ සැමගේ සිත ප්‍රීතිවන්නේය, ඔබ සැමගේ ප්‍රීතිය කිසිවෙක් ඔබ සැමගෙන් පැහැර නොගන්නේය.[23] ඒ දවසේදී ඔබ සැම මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් ඔබ සැමට කියමි-පියාණන්වහන්සේගෙන් ඔබ සැම යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ ඔබ සැමට දෙනසේක.[24] මේ දක්වා මාගේ නාමයෙන් ඔබ සැම කිසිවක් ඉල්ලුවේ නැත. ඔබ සැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න, එවිට ඔබ සැමට ලැබෙන්නේය.

හෙබ්‍රෙව් 12:1-11
[1] එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.[2] උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.[3] ඒ නිසා ඔබ සැම, ඔබ සැමගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනාකර බලන්න.[4] ඔබ සැම පාපයට විරුද්ධව පොරට සිට, තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත.[5] ඇරත් පුත්‍රයන්ට මෙන් ඔබ සැමට කියන අවවාද වචනය ඔබ සැම මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න; [6] මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.[7] ඔබ සැම ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් ඔබ සැම කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද?[8] එහෙත් සියල්ලන් ලබන දඬුවමට ඔබ සැම පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ සැම පුත්‍රයෝ නොව අවජාතකයෝය.[9] තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?[10] මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.[11] කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.

රෝම 8:18-28
[18] මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.[19] මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි.[20] මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී,[21] දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය.[22] මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.[23] එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නැමති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව.[24] මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද?[25] නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.[26] එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.[27] ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.[28] තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

ගීතාවලිය 91:1-16
[1] මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.[2] උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි. [3] මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද ඔබ මුදාහරිනසේක. [4] උන්වහන්සේ ස්වකීය පියාපතින් ඔබ වසනසේක, ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය. [5] රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, [6] අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් ඔබ භය නොවන්නෙහිය. [7] ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය ඔබට ළං නොවන්නේය. [8] ඔබේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. [9] මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය; [10] ඔබට කිසි නපුරක් නොපැමිණෙන්නේය, ඔබේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය. [11] මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට ඔබ ගැන අණදෙනසේක. [12] ඔව්හු ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට ඔබ උසුලාගන්නෝය. [13] ඔබ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය. [14] ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි. [15] ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. [16] දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

Sinhala Bible SROV
Ceylon Bible Society