A A A A A

ජීවිතය: [වඳභාවය]


1 සාමුවෙල් 2:21
ස්වාමීන්වහන්සේ හන්නාට කරුණාකළසේක, ඈ ගර්භිණීව පුත්‍රයන් තුන්දෙනෙකුත් දූවරුන් දෙදෙනෙකුත් බිහිකළාය. සාමුවෙල් නම් ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඩුණේය.

ද්විතීය නීති සංග්‍රහය 7:14
ඔබ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. ඔබ සැම අතරෙහිද ඔබ සැමගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි.

ද්විතීය නීති සංග්‍රහය 8:2
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ යටහත්කර, ඔබ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා ඔබ රක්ෂාකරනවාද නැද්දැයි ඔබේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි ඔබ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.

උත්පත්ති 1:28
දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැම බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.

උත්පත්ති 25:21
ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේ ට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය.

හෙබ්‍රෙව් 11:11
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.

1 කොරින්ති 3:16
ඔබ සැම දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ සැම තුළ වාසයකරන බවද නොදනිවුද?

ජාකොබ් 1:17
සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.

ශුද්ධවර ජොහන් 16:33
මා තුළ ඔබ සැමට සමාදානය තිබෙන පිණිස මේ දේවල් ඔබ සැමට කීවෙමි. ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

ගීතාවලිය 113:9
උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන් ට ප්‍රශංසාකරව්.

ගීතාවලිය 127:3
බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.

ගීතාවලිය 128:3
ඔබේ භාර්යාව ඔබේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. ඔබේ දරුවෝ ඔබේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.

ගීතාවලිය 139:13
මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක.

ගීතාවලිය 147:3
උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.

ශුද්ධවර මාක් 11:24
එබැවින් ඔබ සැමට කියමි-ඔබ සැම යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල ඔබ සැමට ලැබුණේයයි අදහන්න, ඒවා ඔබ සැමට ලැබෙන්නේය.

පිලිප්පි 4:13
මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.

රෝම 12:12
බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;

ශුද්ධවර ලූක් 1:36-37
[36] බලව, ඔබට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය.[37] මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.

රෝම 5:3-5
[3] එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,[4] ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.[5] බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

ශුද්ධවර ලූක් 1:13-21
[13] නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද ඔබේ කන්නලව්ව අසනලද්දේය, ඔබේ භාර්යාවවූ එලිසබෙත් ඔබ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.[14] ඔබට ප්‍රීතියත් සන්තෝෂයත් වන්නේය; බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිවන්නෝය.[15] මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.[16] ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හරවන්නේය.[17] ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට පිළියෙළ කරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේයයි කීවේය.[18] සෙකරියස්ද: මම මේක කුමකින් දැනගනිම්ද? මක්නිසාද මම මහල්ලෙක්ය, මාගේ භාර්යාවත් වයස්ගතයයි දේවදූතයාට කීවේය.[19] දේවදූතයා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; ඔබ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය ඔබ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි.[20] බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන ඔබ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, ඔබ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නෙහියයි කීවේය.[21] සෙකරියස් එන තෙක් බලා සිටි සෙනඟ දේවමාළිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිතවූවෝය.

ගීතාවලිය 112:1-10
[1] ස්වාමීන් ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය.[2] ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය. [3] සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. [4] සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය. [5] කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභසිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය. [6] මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය. [7] ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ. [8] ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය. [9] ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය. [10] දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.

යෙසායා 54:1-17
[1] දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.[2] ඔබේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු ඔබේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. ඔබේ ලනු දික්කර ඔබේ ඇණ සවිකරන්න.[3] මක්නිසාද ඔබ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; ඔබේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත.[4] භය නොවන්න; මක්නිසාද ඔබ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; ඔබ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද ඔබ ඔබේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, ඔබේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.[5] කුමක් හෙයින්ද ඔබේ ස්වාමිපුරුෂයා නම් ඔබේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේ ය. ඔබේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.[6] මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ කැඳවාගත්සේකැයි ඔබේ දෙවියන්වහන්සේ කියනසේක.[7] මම ලුහුඬු මොහොතකට ඔබ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් ඔබ නැවත කැඳවාගන්නෙමි.[8] මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් ඔබෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් ඔබට අනුකම්පාකරමියි ඔබේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක.[9] මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, ඔබ කෙරෙහි උදහස් නොවන බවටත් ඔබට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි.[10] මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් ඔබෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි ඔබට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.[11] අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, ඔබේ ගල් අංජන කැටවලින් අල්ලා, ඔබේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.[12] ඔබේ කොත් රක්ත මාණික්‍යවලින්ද ඔබේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද ඔබේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.[13] ඔබේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; ඔබේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.[14] ඔබ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. ඔබ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක ඔබට ළං නොවන්නේය.[15] මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. ඔබට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් ඔබ නිසා වැටෙන්නෝය.[16] අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය.[17] ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට ඔබට විරුද්ධව නැගිටින සියලුම දිව් ඔබ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

1 සාමුවෙල් 1:1-28
[1] එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.[2] ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය.[3] ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේ ට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේ ගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.[4] එල්කානා පූජාකරන දවස පැමිණි කල තමාගේ භාර්යාවවූ පෙනින්නාටත් ඇගේ සියලු පුත්‍රයන්ටත් දූවරුන්ටත් කොටස් දුන්නේය.[5] නුමුත් හන්නාට ඔහු දෙකොටසක් දුන්නේය. මක්නිසාද ඔහු හන්නාට ආදරේව සිටියේය, නුමුත් ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවා තිබුණේය.[6] ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවනලද බැවින් ඇගේ සැතිරී ඈ කෝපකරන පිණිස ඈට බොහෝසෙයින් තරහ ඉපදෙවූවාය.[7] ඔහු අවුරුද්දෙන් අවුරුද්ද එසේ කෙළේය. ඈ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගිය ප්‍රස්තාවලදී ඒ තැනැත්තී එසේ ඈට තරහ ඉපදෙවූවාය; ඒ නිසා ඈ කෑම නොකා අඬමින් සිටියාය.[8] එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, ඔබ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? ඔබේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා ඔබට හොඳ නැද්දැයි කීවේය.[9] ෂීලෝහිදී ඔවුන් කා බී පසුව හන්නා නැගිට ගියාය. ඒලී පූජකයා ස්වාමීන්වහන්සේ ගේ මාලිගාවේ උළුවහුකණුව ළඟ තිබුණ තමාගේ ආසනයේ ඉඳගන උන්නේය.[10] ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.[11] ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේ ට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.[12] ඈ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤාකරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේය.[13] මක්නිසාද හන්නා තමාගේ සිත තුළේම කථාකළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඉන්නිසා ඈ බී මත්වෙලායයි ඒලී සිතුවේය.[14] ඒලී ඈට කථාකොට: ඔබ කොපමණ කල් මත්ව සිටිනවාද? ඔබේ මුද්‍රිකපානය ඔබෙන් පහකරන්නැයි කීවේය.[15] හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.[16] ඔබගේ මෙහෙකාරී බෙලියල්ගේ දුවකැයි කල්පනා නොකළ මැනවි. මක්නිසාද මාගේ දුක සහ සන්තාපයේ අධිකතාව නිසා මේ වනතුරු කථාකෙළෙමියි කීවාය.[17] එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන්වහන්සේ ඔබට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.[18] ඈද: ඔබගේ මෙහෙකාරීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේවයි කීවාය. එවිට ඒ ස්ත්‍රී පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.[19] ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේ ද ඈ සිහිකළසේක.[20] තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේ ගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.[21] එල්කානා නම් මනුෂ්‍යයාද ඔහුගේ මුළු පවුලද අවුරුදු පතා කරන පූජාවත් තමාගේ බාරයත් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන පිණිස නික්ම ගියෝය.[22] නුමුත් හන්නා ගියේ නැත; මක්නිසාද: ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනී එහි හැම කල්හිම නැවතී සිටින පිණිස, කිරිවැරුවාම ඔහු ගෙන යන තුරු මම නොයමියි ඈ තමාගේ පුරුෂයාට කීවාය.[23] ඇගේ පුරුෂයාවූ එල්කානා: ඔබට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය.[24] ඔහු කිරිවැරූ කල ඈ ගොස් ගොන් තුන්දෙනෙක්ද පිටි ඒඵාවක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහු ගෙනගොස් ෂීලෝහි තිබුණු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට පැමුණුණාය. ළමයා බාලව සිටියේය.[25] ඔව්හු ගොනා මරා ළමයා ඒලී ළඟට ගෙනාවෝය.[26] ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය.[27] මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේ ද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක.[28] එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේ ට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේ ට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේ ට නමස්කාර කළෝය.

Sinhala Bible SROV
Ceylon Bible Society