A A A A A

ජීවිතය: [නිරාහාරව සිටීම]


1 කොරින්ති 7:5
යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් ඔබ සැමගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් ඔබ සැම පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.

2 සාමුවෙල් 1:12
සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද ස්වාමීන්වහන්සේ ගේ සෙනඟද ඉශ්‍රායෙල් වංශයද කඩුවෙන් වැටුණු නිසා ඔවුන් ගැන වැලපෙමින් හඬමින් සවස දක්වා නිරාහාරයෙන් සිටියෝය.

ක්‍රියා 13:2
ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.

ක්‍රියා 14:23
ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,

දානියෙල් 10:3
සති තුනක්ම පසුවෙන තුරු මා රස ආහාර කෑවේවත් මස් හෝ මුද්‍රිකපානය මාගේ කටට ගත්තේවත් තෙල් ගාගත්තේවත් නැත.

එස්තර් 4:16
ගොස් ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දාවල් නොකා නොබී නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාවේ කියා කියන්ට කීවාය.

නික්මයාම 34:28
ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක.

ජෝවෙල් 2:12
එහෙත් දැන්වත් ඔබ සැමගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක,

ශුද්ධවර ලූක් 2:37
අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.

ශුද්ධවර ලූක් 18:12
සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.

නෙහෙමියා 1:4
මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඬා, කීප දවසක් වැලපී නිරාහාරව සිට, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤාකෙළෙමි:

ගීතාවලිය 69:10
මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය.

ගීතාවලිය 35:13-14
[13] මම වනාහි ඔවුන් රෝගාතුරවූ කල ගෝණිරෙදි ඇන්දෙමි. නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට පීඩාකරගතිමි; මාගේ යාච්ඤාවද මාගේම ළයට හැරී ආයේය. [14] මාගේ මිත්‍රයෙක් නොහොත් සහෝදරයෙක් මෙන් ඔහු ගැන ක්‍රියා කෙළෙමි. මෑණියන් ගැන ශෝකවන්නෙකුසේ දුකින් වැතිර සිටියෙමි.

ජෝවෙල් 2:12-13
[12] එහෙත් දැන්වත් ඔබ සැමගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක,[13] එසේය, ඔබ සැමගේ වස්ත්‍ර නොව ඔබ සැමගේ සිත් ඉරාගන, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක.

ක්‍රියා 13:3-4
[3] එවිට ඔව්හු නිරාහාරයෙන් හිඳ යාච්ඤාකොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත්කර හැරියෝය.[4] මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය.

දානියෙල් 9:3-5
[3] එවිට මම නිරාහාරව, ගෝණි රෙදිද අලුද ඇතුව, යාච්ඤාවෙනුත් කන්නලව්වලිනුත් ස්වාමිවූ දෙවියන්වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන්වහන්සේ දෙසට හරවා,[4] මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස,[5] අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව.

2 සාමුවෙල් 12:15-17
[15] නාතාන් තමාගේ ගෙදරට ගියේය. උරියාගේ භාර්යාව දාවිත් නිසා බිහිකළ ළදරුවාට ස්වාමීන්වහන්සේ පහරදුන්සේක, ළදරුවා ඉතා රෝගාතුරවිය.[16] එබැවින් දාවිත් ළදරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කෙළේය; දාවිත් නිරාහාරව සිට ගෙට ඇතුල්වී රාත්‍රිය මුළුල්ලෙහි බිම වැතිර උන්නේය.[17] ඔහු බිමෙන් නැගුටුවන්ට ඔහුගේ ගෙදර වැඩිමහල්ලෝ නැගිට ඔහු ළඟ සිටියෝය. එහෙත් ඔහු කැමතිවුණේ නැත, ඔවුන් සමඟ කෑම කෑවෙත් නැත.

1 රාජාවලියේ 21:25-27
[25] (සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.[26] ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය)[27] ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන, ඇඟේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණිරෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.

ශුද්ධවර ලූක් 4:2-4
[2] සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොකාසිටිසේක. ඒ දවස් නිමවූ පසු උන්වහන්සේ බඩගිනිවිය.[3] එකල යක්ෂයා උන්වහන්සේට කථාකොට: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්ට අණකළ මැනවයි කීවේය.[4] යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

එස්රා 8:21-23
[21] එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.[22] මක්නිසාද: අපේ දෙවියන්වහන්සේගේ හස්තය උන්වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි යහපත පිණිස වන්නේය කියාත්, උන්වහන්සේගේ බලයද උදහසද උන්වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධව පවත්නේය කියාත් අප විසින් රජුට කියා තිබුණු නිසා, ගමන් මාර්ගයේදී අප සතුරන්ගෙන් ආරක්ෂාකරන පිණිස හේවා හමුදාවක්ද අසරුවන්ද රජුගෙන් ඉල්ලන්ට ලජ්ජාවීමි.[23] එබැවින් අපි නිරාහාරව සිට මේ ගැන අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකෙළෙමු. උන්වහන්සේද අපේ කන්නලව්ව පිළිගත්සේක.

ශුද්ධවර මතෙව් 6:16-18
[16] තවද ඔබ සැම නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.[17] නුමුත් ඔබ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේට මිස ඔබ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,[18] ඔබේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක.

යෙසායා 58:3-7
[3] අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, ඔබ සැමගේ උපවාස දවසේදී ඔබ සැම සැප ගනිති, ඔබ සැමගේ සියලුම වැඩද කරවාගනිති.[4] ඔබ සැම නිරාහාරව සිටින්නේ විවාදයටත් තරඟයටත් දුෂ්ටකමේ මිටින් ගසන්ටත්ය. ඔබ සැමගේ හඬ උසස්ථානයේ ඇසෙන්ට සැලසෙන පරිද්දෙන් ඔබ සැම අද නිරාහාරව සිටින්නේ නැත.[5] මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිදීමද? මීට උපවාසයක් සහ ස්වාමීන්වහන්සේ ට ප්‍රසන්නවූ දවසක්යයි ඔබ කියනවාද?[6] මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් ඔබ සැම විසින් කඩාදැමීමත් නොවේද?[7] බඩගිනි ඇත්තන්ට ඔබේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් ඔබ විසින් ඔබේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, ඔබේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?

ජෝනා 3:5-9
[5] එවිට නිනිවයෙහි මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, උපවාසයක් ප්‍රසිද්ධකර, ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝණිරෙදි ඇඳගත්තෝය.[6] ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.[7] තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා. කිසි කෑමක් නොකත්වා, වතුර නොබොත්වා.[8] මනුෂ්‍යයාද මෘගයාද ගෝණිරෙදි පෙරවාගන, දෙවියන්වහන්සේට බලවත්ලෙස මොරගසත්වා. එසේය, ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලාත්කාරයෙන්ද හැරේවා.[9] අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙන සේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය.

ශුද්ධවර ලූක් 18:1-12
[1] තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:[2] දෙවියන්වහන්සේට භය නැත්තාවූ, මනුෂ්‍යයන්ට ගරු නොකළාවූ විනිශ්චයකාරයෙක් එක් නුවරක සිටියේය.[3] ඒ නුවර වැන්දඹුවක්ද සිටියාය; ඈ නොයෙක්වර ඔහු ළඟට ගොස්: මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළමැනවයි කීවාය.[4] ඔහු කලක් නොකැමතිවිය. පසුව ඔහු තමා තුළ කථාකොට: මම දෙවියන්වහන්සේට භය නොවෙම් නුමුත්, මනුෂ්‍යයන්ට ගරු නොකරම් නුමුත්,[5] මේ වැන්දඹුව මට කරදරකරන හෙයින්, ඈ නිතර ඊමෙන් මා නොපෙළෙන පිණිස, ඈට යුක්තිය කරන්නෙමියි කීයේයයි කීසේක.[6] එවිට ස්වාමීන්වහන්සේ කියනසේක්: මේ අධිර්මිෂ්ඨ විනිශ්චයකාරයා කියන දේ අසන්න.[7] දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.[8] උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි ඔබ සැමට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.[9] තවද තුමූම ධර්මිෂ්ඨයෝයයි විශ්වාසකොට, අනික් සියල්ලන් සුළුකළාවූ සමහරෙකුට උන්වහන්සේ මේ උපමාවද කියනසේක්:[10] මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය; එක්කෙනෙක් පරිසියෙක්ය, අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය.[11] පරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.[12] සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.

Sinhala Bible SROV
Ceylon Bible Society