A A A A A

හොඳ චරිතයක්: [ධෛර්යය / නිර්භීතකම]


1 වංශාවලියේ 28:20
තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: ඔබ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ ඔබෙන් ඉවත්නොවනසේක, ඔබ අත්නොහරිනසේක.

1 කොරින්ති 15:58
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ සැමගේ මෙහෙය නිෂ්ඵල නොවන බව ඔබ සැම දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

ද්විතීය නීති සංග්‍රහය 31:6-8
[6] ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම ඔබ සමඟ යනසේක; උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැතැයි කීවේය.[7] මෝසෙස් යෝෂුවා කැඳවා සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට කථාකොට: ඔබ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට ඔබ ඔවුන් සමඟ ගොස් ඒක ඔවුන්ට උරුමකරදෙනවා ඇත.[8] ස්වාමීන්වහන්සේ ම ඔබට පෙරටුව යනසේක; උන්වහන්සේ ඔබ සමඟ වනසේක, උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.

එපීස 6:10
ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.

යෙසායා 54:4
භය නොවන්න; මක්නිසාද ඔබ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; ඔබ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද ඔබ ඔබේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, ඔබේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.

ශුද්ධවර ජොහන් 14:27
ඔබ සැම වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය ඔබ සැමට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබ සැමගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

ගීතාවලිය 27:1
දාවිත්ගේ ගීතයකි. ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?

ගීතාවලිය 56:3-4
[3] මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි. [4] මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

ජෝෂු 1:9-11
[9] මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක.[10] එවිට යෝෂුවා සෙනඟගේ මුලාදෑනීන්ට අණකරමින් කියනුයේ:[11] ඔබ සැම කඳවුර මුළුල්ලෙහි ගොස් සෙනඟට කථාකර-හිමිකරගැනීමට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශය හිමිකරගන්න පිණිස ඇතුල්වීමට ඔබ සැම තව තුන් දවසකින් මේ යොර්දානෙන් එතරට යන නිසා කෑම සූදානම්කරගන්නය කියා අණකරන්නැයි කීවේය.

යෙසායා 41:10-13
[10] භය නොවෙන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම ඔබේ දෙවියන්වහන්සේය. මම ඔබ ශක්තිමත්කොට, ඔබට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් ඔබ උසුලන්නෙමි.[11] ඔබ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. ඔබ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.[12] ඔබ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් ඔබ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. ඔබට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.[13] මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම ඔබට පිහිටවන්නෙමියි කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි.

1 කොරින්ති 16:13
අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.

ගීතාවලිය 27:14
ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.

හිතෝපදේශ 3:5-6
[5] ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න [6] ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලාකරනවා ඇත.

ගීතාවලිය 23:1-4
[1] දාවිත්ගේ ගීතයකි. ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.[2] උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක. [3] උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක. [4] එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.

ශුද්ධවර මාක් 5:36
නුමුත් යේසුස්වහන්සේ ඒ කීම නොසලකා, සිනගෝගයේ මුලාදෑනියාට කථාකොට: භයනොවී ඇදහිල්ලෙන්ම සිටින්නැයි ඔහුට කීසේක.

පිලිප්පි 1:28
ඒ [නිර්භීතකම] ඔවුන්ට විනාශයේද ඔබ සැමට ගැළවීමේද ලකුණක්ව තිබේ; එය දෙවියන්වහන්සේගෙන්ම පැමිණෙන්නේය.

ගීතාවලිය 112:7
ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.

ජෝෂු 1:6
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය ඔබ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.

ගීතාවලිය 31:24
ස්වාමීන් කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්; තොපගේ සිත ධෛර්යවත් වේවා.

Sinhala Bible SROV
Ceylon Bible Society