A A A A A

හොඳ චරිතයක්: [සෑහීමකට පත්වේ]


ශුද්ධවර මතෙව් 6:25-33
[25] එහෙයින් ඔබ සැමට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?[26] ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. ඔබ සැම උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?[27] කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට ඔබ සැම අතරෙන් කවරෙකුට පුළුවන්ද?[28] ඔබ සැම ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත.[29] එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්වර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි ඔබ සැමට කියමි.[30] මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් ඔබ සැම නොපළඳවනසේක්ද?[31] එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.[32] මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල ඔබ සැමට ඕනෑ බව ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.[33] නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.

2 කොරින්ති 11:23-25
[23] ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.[24] යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුන් සතළිසක් පහරකෑවෙමි.[25] තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි.

පිලිප්පි 4:12-13
[12] පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි.[13] මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.

හෙබ්‍රෙව් 13:5
ඔබ සැමට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

1 තිමෝති 6:6-7
[6] ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.[7] මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය.

ශුද්ධවර ලූක් 12:15
තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.

2 කොරින්ති 12:10
එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.

ගීතාවලිය 37:3-4
[3] ස්වාමින් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව. [4] ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.

1 තිමෝති 6:10-11
[10] මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.[11] නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.

හිතෝපදේශ 16:8
අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය.

හිතෝපදේශ 28:6
වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.

ධර්මදේශකයා 3:13
තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.

Sinhala Bible SROV
Ceylon Bible Society