A A A A A

හොඳ චරිතයක්: [නිහතමානී / නිහතමානිකම]


කොලොස්සි 3:12
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,

එපීස 4:2
සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා,

ජාකොබ් 4:6-10
[6] නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.[7] එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු ඔබ සැම වෙතින් පලායනවා ඇත.[8] දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැමට ළංවෙනසේක. පව්කාරයෙනි, ඔබ සැමගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබ සැමගේ සිත් පරිසිදුකරගන්න.[9] දුක්වෙමින් වැලපෙමින් හඬන්න. ඔබ සැමගේ සිනාසීම ශෝකයටත් ඔබ සැමගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා.[10] ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැම උසස්කරනසේක.

1 පේදුරු 5:5
එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, ඔබ සැම සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.

2 වංශාවලියේ 7:14
මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.

ශුද්ධවර ලූක් 14:11
මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.

මීකා 6:8
එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ ඔබට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් ඔබේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?

හිතෝපදේශ 3:3-4
[3] කරුණාව සහ සත්‍යවාදිකම ඔබෙන් පහ නොවේවා. ඒවා ඔබේ ගෙල වටේ බැඳගන්න; ඔබේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න. [4] එවිට ඔබ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.

හිතෝපදේශ 11:2
උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.

හිතෝපදේශ 12:15
මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය.

හිතෝපදේශ 15:33
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.

හිතෝපදේශ 18:12
විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.

හිතෝපදේශ 22:4
යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.

හිතෝපදේශ 27:2
ඔබේම මුඛය නොව වෙන කෙනෙක්ද ඔබේම තොල් නොව අන්‍යයෙක්ද ඔබට ප්‍රශංසාකෙරේවා.

ගීතාවලිය 25:9
උන්වහන්සේ යටහතුන් යුක්තියෙහි හසුරුවනසේක. යටහතුන්ට තමන්ගේ මාර්ගය උගන්වනසේක.

ගීතාවලිය 149:4
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක.

රෝම 12:3
ඔබ සැම එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් ඔබ සැම අතරෙහි එකිනෙකාට කියමි.

රෝම 12:16
එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. ඔබ සැමම ඥානවන්තයෝයයි නොසිතන්න.

2 කොරින්ති 12:9-10
[9] උන්වහන්සේද: මාගේ කරුණාව ඔබට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.[10] එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.

පිලිප්පි 2:3-4
[3] පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.[4] ඔබ සැම එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න.

ශුද්ධවර මතෙව් 23:10-12
[10] ඔබ සැම නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද ඔබ සැමගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස්වහන්සේය.[11] නුමුත් ඔබ සැම අතරෙන් ඉතා උත්තමයා ඔබ සැමගේ සේවකයා වන්නේය.[12] තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.

ජාකොබ් 4:14-16
[14] මක්නිසාද හෙට මක්වේද කියා ඔබ සැම දන්නේ නැත. ඔබ සැමගේ ජීවිතය මොකක්ද? ඔබ සැම ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.[15] එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි ඔබ සැම විසින් කිය යුතුය.[16] නුමුත් දැන් ඔබ සැමගේ අහංකාර කථාවලින් ඔබ සැම පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.

පිලිප්පි 2:5-8
[5] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම ඔබ සැම තුළත් තිබේවා.[6] උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා,[7] එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.[8] මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society