A A A A A

හොඳ චරිතයක්: [අනුකම්පාව]


කොලොස්සි 3:12
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,

නික්මයාම 33:19
උන්වහන්සේද: මම මාගේ සියලු ගුණවත්කම ඔබ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන්වහන්සේ ගේ නාමය ඔබ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; මම කරුණාකරන්ට කැමති තැනැත්තාට කරුණාකරන්නෙමි, මම දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමියි කීසේක.

යෙසායා 30:18
එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමට කරුණාකරන්ට බලා සිටිනසේක. ඔබ සැමට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.

යෙසායා 49:10-13
[10] ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.[11] මමද මාගේ සියලු කඳු මාර්ගයක් කරන්නෙමි, මාගේ මහ මාවත්ද උස්වන්නේය.[12] බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.[13] ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.

යෙසායා 54:10
මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් ඔබෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි ඔබට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.

යෙසායා 63:7
මම ස්වාමීන්වහන්සේ ගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.

ජාකොබ් 5:11
ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අප කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන ඔබ සැම අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද ඔබ සැම දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.

විලාප ගී 3:32
උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.

ගීතාවලිය 51:1
නායක වාද්‍යකරුටයි. දාවිත් බැත් ෂෙබා කරා පැමිණීම නිසා අනාගතවක්තෘවූ නාතාන් ඔහු වෙතට ගිය පසු දාවිත් සෑදූ ගීතයකි. දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව.

ගීතාවලිය 103:13
පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.

ගීතාවලිය 116:5
ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය.

ගීතාවලිය 119:77
මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය.

ගීතාවලිය 119:156
ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.

ගීතාවලිය 145:9
ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.

රෝම 9:15
මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි උන්වහන්සේ මෝසෙස්ට කීසේක.

2 කොරින්ති 1:3-4
[3] දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.[4] අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.

පිලිප්පි 2:1-3
[1] ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,[2] ඔබ සැම එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න.[3] පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.

ශුද්ධවර මතෙව් 9:35-38
[35] යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.[36] උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.[37] එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය.[38] එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්නැයි කීසේක.

ගීතාවලිය 103:1-5
[1] දාවිත්ගේ ගීතයකි. මාගේ ආත්මය, ස්වාමීන් ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.[2] මාගේ ආත්මය, ස්වාමීන් ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව. [3] උන්වහන්සේ ඔබේ සියලු අයුතුකම් කමාකරනසේක; ඔබේ සියලු රෝග සුවකරනසේක; [4] ඔබේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් ඔබ සරසනසේක. [5] රාජාලියෙකු මෙන් ඔබ සැමගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබ සැමගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.

ශුද්ධවර මතෙව් 20:29-34
[29] ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යන අතර මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය.[30] පාර අද්දර ඉඳගනහුන් අන්ධයන් දෙදෙනෙක් යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව අසා: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි මොරගැසුවෝය.[31] ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය.[32] යේසුස්වහන්සේ නැවතී ඔවුන් කැඳවා: මා විසින් ඔබ සැමට කුමක් කරනවාට කැමතිදැයි ඇසූසේක.[33] ස්වාමිනි, අපේ ඇස් පහදනු ලැබීමටයයි ඔව්හු උන්වහන්සේට කීවෝය.[34] යේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑසේක. එවලේම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ අනුව ගියෝය.

ශුද්ධවර මතෙව් 14:13-21
[13] යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය.[14] උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක.[15] සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය.[16] ඔවුන් යන්ට කමක් නැත; ඔබ සැම ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.[17] ඔව්හුද: අපට මෙහි තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණක්යයි උන්වහන්සේට කීවෝය.[18] ඒවා මෙහි මා වෙතට ගෙනෙන්නැයි උන්වහන්සේ කීසේක.[19] උන්වහන්සේ සමූහයාට තණකොළ පිට හිඳගන්ට අණකොට, රොටි පහත් මසුන් දෙදෙනත් රැගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදකොට, රොටි කඩා ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය.[20] සියල්ලෝම කා තෘප්තියට පැමිණියෝය. ඔව්හු කැඩූ කැබෙලිවලින් ඉතිරි ඒවා එක්කොට පැස් දොළොසක් පුරවාගත්තෝය.[21] ස්ත්‍රීන්ද දරුවන්ද හැර කෑවාවූ පුරුෂයෝ පන්දහසක් පමණ වූහ.

ශුද්ධවර මතෙව් 15:29-39
[29] යේසුස්වහන්සේ එයින් පිටත්ව ගලීලයේ මුහුද ළඟට ගොස් කන්දට නැගී එහි වැඩහුන්සේක.[30] බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝ දෙනා රැගෙන යේසුස්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේගේ පාමුල ඔවුන් තැබුවෝය; උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක.[31] ඒ නිසා ගොළුවන් කථාකරන බවත් අබ්බාගාතයන් සුවවී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුමව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.[32] යේසුස්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා කියනසේක්: මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති; ඔවුන්ට කන්ට කිසිත් නැත. ඔවුන් බඩගින්නෙන් හරින්ට නොකැමැත්තෙමි, හැරියෙම් නම් මාර්ගයේදී ඔවුන් ක්ලාන්තවෙන්ට පුළුවනැයි කීසේක.[33] ගෝලයෝ උන්වහන්සේට කථාකොට: මෙපමණ මහත් සමූහයක් තෘප්තියට පමුණුවන්ට වනාන්තරයක අපට රොටි කොයින්දැයි කීවෝය.[34] යේසුස්වහන්සේ කථාකොට: ඔබ සැම ළඟ රොටි කීයක් තිබේදැයි ඇසූසේක. රොටි සතකුත් කූඩා මසුන් ස්වල්පයකුත්යයි ඔව්හු කීවෝය.[35] උන්වහන්සේ සමූහයන්ට බිම හිඳගන්ට අණදී,[36] රොටි සතද මසුන්ද රැගෙන ස්තුතිකොට කඩා, ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය.[37] සියල්ලෝම කා තෘප්තියට පැමුණුණෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කුඩා සතක් පුරවා ගත්තෝය.[38] ස්ත්‍රීන්ද දරුවන්ද හැර, කෑවාවූ පුරුෂයෝ හාරදහසක්ය.[39] උන්වහන්සේ සමූහයන් යන්ට හැර, ඔරුවට නැගී, මගදන් සීමාවලට පැමිණිසේක.

ශුද්ධවර මතෙව් 6:30-44
[30] මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් ඔබ සැම නොපළඳවනසේක්ද?[31] එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.[32] මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල ඔබ සැමට ඕනෑ බව ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.[33] නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.[34] එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.[35] ඔබ සැම විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න.[36] මක්නිසාද ඔබ සැම යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම ඔබ සැමත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් ඔබ සැම මැනදෙන්නහුද එයින්ම ඔබ සැමටත් මැනදෙනු ලබන්නේය.[37] ඔබේ ඇසේ තිබෙන දැවය නොසලකා, ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?[38] නොහොත් ඔබේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: ඔබේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද?[39] වංචාකාරය, පළමුකොට ඔබේ ඇසෙන් දැවය පහකරන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබ සැමට හොඳ හැටි පෙනෙන්නේය.[40] ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, ඔබ සැමගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී ඔබ සැම ඉරාදමන්ට පුළුවන.[41] ඉල්ලන්න, එවිට ඔබ සැමට දෙනුලැබේ; සොයන්න, එවිට ඔබ සැමට සම්බවේ; තට්ටුකරන්න, එවිට ඔබ සැමට දොර හරිනු ලැබේ.[42] මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.[43] ඔබ සැම අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දේද?[44] නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම්, ඔහුට සර්පයෙකුදේද?

ශුද්ධවර ලූක් 15:11-32
[11] තවද උන්වහන්සේ කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය.[12] ඔවුන්ගෙන් බාලයා: පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදාදුන්නේය.[13] නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතුකරගෙන, දුර රටකට ගොස්, එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්, තමාගේ වස්තුව නාස්තිකෙළේය.[14] ඔහු සියල්ල වියදම්කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හටගැනී, ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය.[15] එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය.[16] ඔහු ඌරන් කෑ කරල්වලින් තමාගේ බඩ පුරවා ගන්ට කැමතිවූයේය; කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත.[17] එහෙත් ඔහු සිහිඋපදවා කථාකොට: මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවාට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නසිමි![18] මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි.[19] තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමියි කියා,[20] නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.[21] එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමියි කීවේය.[22] නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.[23] තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්‍රීතිවෙමු.[24] මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.[25] ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී,[26] දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය.[27] ඔහුද: ඔබගේ සහෝදරයා ආවේය; ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින්, තරකළාවූ වස්සා මැරෙව්වේයයි කීවේය.[28] එවිට ඔහු කිපී, ගෙට ඇතුල්වෙන්ට නොකැමති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත්, එන මෙන් ඔහුගෙන් ඉල්ලුවේය.[29] නුමුත් ඔහු උත්තරදෙමින්: මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවයකරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවෙකුවත් කිසිකලක මට නුදුන්නෙහිය.[30] නුමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමඟ නාස්තිකළාවූ මේ ඔබගේ පුත්‍රයා ආ වේලේ, ඔහු නිසා තරකළ වස්සා මැරුවෙහියයි පියාට කීවේය.[31] ඔහුද: පුත්‍රය, ඔබ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද ඔබේය.[32] නුමුත් අප විසින් ප්‍රීති සන්තෝෂවෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ ඔබේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි; නැතිවී සම්බවීයයි කීයේයයි කීසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society