A A A A A

දෙවියන් වහන්සේ: [මූල්‍ය ආශිර්වාදය]


1 සාමුවෙල් 2:7
ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක.

2 කොරින්ති 8:9
මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ සැම ධනවන්ත වන පිණිස, ඔබ සැම උදෙසා දිළිඳුවූ බව ඔබ සැම දන්නහුය.

3 ජොහන් 1:2
ප්‍රේමවන්තය, ඔබේ ආත්මය සඵලවන්නාක්මෙන්ම ඔබ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

ධර්මදේශකයා 9:10
කරන්ට ඔබේ අතට සම්බවෙන සියල්ලම ඔබේ වීර්යයෙන් කරන්න; මක්නිසාද ඔබ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.

ගලාති 6:9
තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.

උත්පත්ති 13:2
ආබ්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය.

හොසියා ४:६
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. ඔබ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් ඔබ එපාකරන්නෙමි. ඔබ ඔබේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් ඔබේ දරුවන් මතක නැතිකරන්නෙමි.

ජාකොබ් ५:१२
නුමුත්, මාගේ සහෝදරයෙනි, ඔබ සැම වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. ඔබ සැමගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.

ශුද්ධවර ජොහන් ६:१२
ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක.

ශුද්ධවර ලූක් 6:38
දෙන්න, එවිට ඔබ සැමටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් ඔබ සැමගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද ඔබ සැම යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත ඔබ සැමටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.

ශුද්ධවර ලූක් 12:34
මක්නිසාද ඔබ සැමගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද ඔබ සැමගේ සිතත් එහිම තිබෙන්නේය.

හිතෝපදේශ 10:22
ස්වාමීන්වහන්සේ ගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

හිතෝපදේශ 11:14
ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.

හිතෝපදේශ 19:17
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේ ට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.

හිතෝපදේශ 21:17
සැප සෙල්ලමට ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි; මුද්‍රිකපානයටත් තෙලටත් ඇලුම්වෙන්නා පොහොසත් නොවන්නේය.

හිතෝපදේශ 22:9
කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.

හිතෝපදේශ 28:22-27
[22] අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය. [23] ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ. [24] තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය. [25] ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි. [26] තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය. [27] දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.

ගීතාවලිය 24:1
දාවිත්ගේ ගීතයකි. පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන් ගේය.

ශුද්ධවර මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.

ශුද්ධවර මතෙව් 23:23
ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා ඔබ සැම විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

ශුද්ධවර මතෙව් 25:21
ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපත ස්වල්ප දේ ගැන ඔබ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.

රෝම 13:8
එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.

හිතෝපදේශ 3:9-10
[9] ඔබේ සම්පතින්ද ඔබේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේ ට ගෞරව කරන්න. [10] එවිට ඔබේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, ඔබේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.

ගීතාවලිය 121:1-2
[1] ආරෝහණ ගීයකි. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?[2] මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන් ගෙන්මය.

ශුද්ධවර මාක් 11:22-23
[22] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න.[23] සැබවක් ඔබ සැමට කියමි-කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.

උත්පත්ති 1:26-27
[26] තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.[27] දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.

2 කොරින්ති 9:6-8
[6] නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය.[7] කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.[8] තවද ඔබ සැම සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස ඔබ සැමට සියලු අනුග්‍රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන.

ශුද්ධවර ලූක් 14:28-30
[28] මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ ඔබ සැමගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?[29] එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ:[30] මේ මනුෂ්‍යයා ගොඩනගන්ට පටන්ගත් නුමුත් නිමකරන්ට ඔහුට බැරිවීයයි කියා ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය.

ශුද්ධවර ලූක් 6:34-36
[34] ඔබ සැම නැවත ලබන්ට බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම් ඔබ සැමට කවර ස්තුතියක්ද? පව්කාරයෝ පවාදුන් පමණ නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.[35] නුමුත් ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට ඔබ සැමගේ විපාකය මහත්වන්නේය; ඔබ සැම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.[36] ඔබ සැමගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් ඔබ සැමත් දයාවන්තව සිටින්න.

ජාකොබ් 5:1-3
[1] මෙන්න, ධනවතුනි, ඔබ සැම කෙරේ පැමිණෙන්ට තිබෙන ඔබ සැමගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬන්න.[2] ඔබ සැමගේ වස්තුව දිරා ගියේය, ඔබ සැමගේ වස්ත්‍ර කාවෝ කෑවෝය.[3] ඔබ සැමගේ රන්රිදී මලකඩකා තිබේ; ඒ මලකඩ ඔබ සැමට විරුද්ධව සාක්ෂියක් වී, ගිනි මෙන් ඔබ සැමගේ මාංස දවනවා ඇත. අන්තිම දවස්වලදී ඔබ සැම වස්තු රැස්කොට තැබුවහුය.

උත්පත්ති 12:1-20
[1] ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: ඔබේ දේශයෙන්ද ඔබේ නෑයන් කෙරෙන්ද ඔබේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් ඔබට පෙන්වන දේශයට යන්න.[2] මම ඔබ මහත් ජාතියක් කරන්නෙමි; ඔබට ආශීර්වාද කොට ඔබේ නාමය කීර්තිමත් කරන්නෙමි; ඔබද ආශීර්වාදයක් වෙන්න.[3] තවද ඔබට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, ඔබට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් ඔබ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.[4] මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය.[5] ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.[6] ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.[7] ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනැගුවේය.[8] ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය.[9] ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.[10] දේශයෙහි සාගතයක් විය. දේශයෙහි සාගතය මහත් බැවින් ආබ්‍රම් මිසරයෙහි පොරොත්තුව සිටීම පිණිස එහි ගියේය.[11] තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, ඔබ ශෝභන පෙනීම ඇති ස්ත්‍රියක් බව දනිමි.[12] මිසරවරුන් ඔබ දුටු විට-මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා ඔබ ඉතුරු කරනවා ඇත.[13] ඉතින් ඔබ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද ඔබ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද ඔබ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.[14] තවද ආබ්‍රම් මිසරයට පැමිණි කල ඒ ස්ත්‍රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය.[15] ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත්‍රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය.[16] ඔහු ඈ නිසා ආබ්‍රම්ට යහපත කෙළේය. බැටළුවෝද ගවයෝද කොටළුවෝද දාසයෝද දාසියෝද කොටළුදෙන්නුද ඔටුවෝද ඔහුට ලැබුණාහ.[17] ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි නිසා ඵාරාවෝටද ඔහුගේ ගෙයි වැසියන්ටද මහත්වූ පීඩාවලින් පීඩාකළසේක.[18] එවිට ඵාරාවෝ ආබ්‍රම් කැඳවා: ඔබ මට මේ කළේ මොකද? ඈ ඔබේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද?[19] ඈ ඔබේ සහෝදරීයයි මට කීවේ මක්නිසාද? එබැවින් ඇය මාගේ භාර්යාව කොට ගතිමි. මෙන්න ඔබේ භාර්යාව, ඇය රැගෙන යන්නැයි ඔහුට කීය.[20] ඵාරාවෝ ඔහු ගැන මිනිසුන්ට අණදුන්නේය. ඔව්හු ඔහු සහ ඔහුගේ භාර්යාවද ඔහු සන්තක සියල්ලද මගට ගෙනැත් ඇරලුවෝය.

ශුද්ධවර මතෙව් 6:1-34
[1] මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී ඔබ සැමගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ වෙත ඔබ සැමට විපාකයක් ඇත්තේ නැත.[2] එබැවින් ඔබ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබ සැමට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.[3] නුමුත් ඔබ දන්දෙන කල්හි, ඔබේ දානය රහස්ව තිබෙන පිණිස, ඔබේ දකුණත කරන දෙය වමත නොදනීවා.[4] එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක.[5] තවද ඔබ සැම යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.[6] නුමුත් ඔබ යාච්ඤාකරන කල්හි ඔබේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාකදෙනසේක.[7] තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.[8] එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද ඔබ සැමගේ පියාණන්වහන්සේගෙන් ඔබ සැම යමක් ඉල්ලන්ට පළමුවෙන් ඔබ සැමට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක.[9] එහෙයින් ඔබ සැම මෙසේ යාච්ඤාකරන්න:- ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.[10] ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.[11] අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.[12] අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව.[13] අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.[14] මක්නිසාද ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, ඔබ සැමගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ ඔබ සැමටත් කමාකරනසේක.[15] නුමුත් ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, ඔබ සැමගේ පියාණන්වහන්සෙත් ඔබ සැමගේ වරද කමා නොකරනසේක.[16] තවද ඔබ සැම නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.[17] නුමුත් ඔබ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේට මිස ඔබ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,[18] ඔබේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක.[19] පොළොවෙහි ඔබ සැමට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.[20] නුමුත් ස්වර්ගයෙහි ඔබ සැමට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.[21] මක්නිසාද ඔබේ වස්තුව යම් තැනෙක්හිද ඔබේ සිතත් එතැන්හිම වන්නේය.[22] ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් ඔබේ ඇස පැහැදිලි නම්, ඔබේ මුළු ශරීරය එළිය වන්නේය.[23] ඔබේ ඇස නපුරුනම්, ඔබේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් ඔබ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද![24] ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට ඔබ සැමට නුපුළුවන.[25] එහෙයින් ඔබ සැමට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?[26] ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. ඔබ සැම උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?[27] කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට ඔබ සැම අතරෙන් කවරෙකුට පුළුවන්ද?[28] ඔබ සැම ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත.[29] එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්වර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි ඔබ සැමට කියමි.[30] මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් ඔබ සැම නොපළඳවනසේක්ද?[31] එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.[32] මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල ඔබ සැමට ඕනෑ බව ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.[33] නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.[34] එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.

ද්විතීය නීති සංග්‍රහය 28:1-68
[1] තවද මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කොට තබනසේක.[2] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට ඔබ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද ඔබ කරා පැමිණ ඔබ සමඟ වන්නේය.[3] ඔබ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය.[4] ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ සිවුපාවුන්ගේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය.[5] ඔබේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය.[6] ඔබ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.[7] ඔබට විරුද්ධව නැගිටින්නාවූ ඔබේ සතුරන් ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු ඔබට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් ඔබ ඉදිරියෙන් පලායන්නෝය.[8] ඔබේ ගබඩා කෙරෙහිද ඔබ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදය එවා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයේදී ඔබට ආශීර්වාදකරනසේක.[9] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට ඔබ ස්ථිරකරනසේක.[10] ස්වාමීන්වහන්සේ ගේ නාමය ඔබ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක ඔබට භයවන්නෝය.[11] ස්වාමීන්වහන්සේ ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.[12] ස්වාමීන්වහන්සේ නිසි කාලයට ඔබේ දේශයට වර්ෂාව දෙන්ටද ඔබේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව ඔබට විවෘත කරනසේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් ඔබ ණයට නොගන්නෙහිය.[13] මා අද ඔබ සැමට අණකරන සියලු වචනවලින් ඔබ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්,[14] මා අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස ඔබ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; ඔබද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.[15] නුමුත් මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප ඔබ පිටට පැමිණ ඔබ අසුකරගන්නේය.[16] ඔබ නුවරෙහි ශාපලද්දෙක්ද කෙතෙහි ශාපලද්දෙක්ද වන්නෙහිය.[17] ඔබේ පැසටද පිටි අනන ඔරුවටද ශාප පැමිණෙන්නේය.[18] ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ශාප පැමිණෙන්නේය.[19] ඔබ ඇතුළට එන විටද පිටතට යන විටද ශාප ලබන්නෙහිය.[20] ඔබ විසින් මා අත්හැරීමෙන් කළාවූ ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ විනාශව ඉක්මනින් නැතිව යන තෙක්, ඔබ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමීන්වහන්සේ ශාපයද පරාජයද තරවටුවද ඔබ පිටට එවනසේක.[21] ස්වාමීන්වහන්සේ ඔබ හිමිකරගන්ට යන භූමිය මතුපිටින් ඔබ නැතිකර දමන තුරුම වසංගතය ඔබට ඇලී තිබෙන්ට සලස්වනසේක.[22] ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද ඔබට පහරදෙනසේක; ඔබ නැතිවීයන තුරු ඒවා ඔබ එළවාගන එනවා ඇත.[23] ඔබේ හිසට උඩින් තිබෙන අහස පිත්තල වන්නේය, ඔබට යටින් තිබෙන භූමිය යකඩ වන්නේය.[24] ස්වාමීන්වහන්සේ ඔබේ දේශයෙහි වර්ෂාව සුනුද ධූලිද වෙන්ට සලස්වනසේක. ඔබ විනාශවෙන තුරු අහසෙන් ඒවා ඔබ පිටට බසින්නේය.[25] ස්වාමීන්වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජයවෙන්ට සලස්වනසේක. ඔබ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. ඔබ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.[26] ඔබේ මළකඳ ආකාශයේ සියලු පක්ෂීන්ටද භූමියේ සියලු මෘගයන්ටද ගොදුරු වන්නේය, කිසිවෙක් උන් භයගන්වා නොඑළවන්නේය.[27] සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද ඔබට පහරදෙනසේක.[28] ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් ඔබට පහරදෙනසේක.[29] අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් ඔබ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, ඔබේ මාර්ගවලදී ඔබ සඵලනොවන්නෙහිය. ඔබ ගළවන්ට කිසිවෙකු නැතුව ඔබ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.[30] ඔබ භාර්යාවකට විවාහ බස් දෙන නුමුත් අනිකෙක් ඈ සමඟ සයනයකරන්නේය. ඔබ ගෙයක් ගොඩනගන නුමුත් එහි නොවසන්නෙහිය. ඔබ මිදිවත්තක් වවන නුමුත් ඒකේ ඵල භුක්තිනොවිඳින්නෙහිය.[31] ඔබේ ගොනා ඔබේ ඇස් ඉදිරියෙහි මරනු ලබන නුමුත් ඔබ එයින් නොකන්නෙහිය. ඔබේ කොටළුවා ඔබ ඉදිරියෙන් බලහත්කාරයෙන් ගනු ලබන්නේය, නැවත ඌ ඔබට නොලැබෙන්නේය. ඔබේ බැටළුවෝ ඔබේ සතුරන්ට දෙනු ලබන්නෝය, ඔබ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.[32] ඔබේ පුත්‍රයෝද දූවරුද අන් සෙනඟකට දෙනු ලබන්නෝය, ඔවුන් ගැන දවස මුළුල්ලේම බලා සිටීමෙන් ඔබේ ඇස් ක්ෂයවන්නේය. ඔබේ අතේ බලයෙන් කිසිවක් කළනොහැකිවන්නේය.[33] ඔබේ භූමියේ පලදාවද ඔබේ මුළු උත්සාහ ලාභයද ඔබ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, ඔබ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.[34] ඔබේ ඇස්වලින් දකින කාරණා නිසා ඔබ උමතුකමට පැමිණෙන්නෙහිය.[35] ඔබේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ ඔබේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් ඔබට පහරදෙනසේක.[36] ස්වාමීන්වහන්සේ ඔබද ඔබ කෙරෙහි ඔබ පත්කරගන්න රජුද ඔබවත් ඔබේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී ඔබ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.[37] ස්වාමීන්වහන්සේ ඔබ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි ඔබ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.[38] ඔබ බොහෝ බීජ කෙතට ගෙනයන නුමුත් ස්වල්පයක්ම රැස්කරගන්නෙහිය; මක්නිසාද පළඟැටියෝ ඒවා කාදමන්නෝය.[39] ඔබ මිදිවතු වවා ඒවා සශ්‍රීකකරන නුමුත් පණුවන් ඒවා කාදමන බැවින් ඔබ මුද්‍රිකපානය නොබොන්නෙහිය, ඵල නෙළා නොගන්නෙහිය.[40] ඔබේ සියලු සීමාවල ඔලීව ගස් ඔබට තිබෙන නුමුත් ඔලීව තෙල් ගාගන්ට ඔබට නොලැබේ; මක්නිසාද ඔබේ ඔලීව ඵල වැටීයන්නේය.[41] ඔබ පුත්‍රයන්ද දූවරුන්ද ජාතකකරන නුමුත් ඔව්හු ඔබට නොවන්නෝය; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නෝය.[42] ඔබේ සියලු ගස්ද ඔබේ භූමියේ ඵලද පළඟැටියෝ භුක්තිවිඳින්නෝය.[43] ඔබ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව ඔබට වඩා උසස් වන්නේය; ඔබ වැඩි වැඩිව පහත් වන්නෙහිය.[44] ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට දෙන්නේ නැත. ඔහු හිස වන්නේය, ඔබ වල්ගය වන්නෙහිය.[45] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප ඔබ පිටට පැමිණ, ඔබ නාස්තිවෙන තුරු ඔබ පස්සේ එළවාගෙන ඇවිත් ඔබ අසුකරගන්නේය.[46] ඒවා ලකුණක් හා පුදුමයක් පිණිස ඔබ පිටත් ඔබේ වංශය පිටත් සදාකාලයටම වන්නේය.[47] සියලු දේ පුරාම තිබෙද්දී ඔබ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට සේවය නොකළ නිසා,[48] ස්වාමීන්වහන්සේ ඔබට විරුද්ධව එවන්නාවූ ඔබේ සතුරන්ට ඔබ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් ඔබ විනාශකර දමන තුරු යකඩ වියගහක් ඔබේ කරේ තබනවා ඇත.[49] මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,[50] ඔබට නොතේරෙන භාෂාවක් කථාකරන්නාවූ ජාතියක් රාජාලියා වේගයෙන් එන්නාක් මෙන් දුර සිට පොළොවේ කෙළවරෙන් ස්වාමීන්වහන්සේ ඔබට විරුද්ධව පමුණුවනසේක.[51] ඔබ විනාශවී යන තුරු ඔව්හු ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු ඔබ නැතිකරදමන තුරු ඔබට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් ඔබේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.[52] ඔබේ මුළු දේශයෙහි තිබෙන්නාවූ ඔබ විශ්වාසය තැබූ ඔබේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු ඔබේ සියලු නුවර දොරටුවලදී ඔබ වටලාගන්නෝය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් ඔබේ මුළු දේශයෙහි තිබෙන ඔබේ සියලු නුවර දොරටුවලදී ඔව්හු ඔබ වටලාගන්නෝය.[53] ඔබේ සතුරන් විසින් ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී ඔබේ ශරීරයේ ඵලය වන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස කන්නෙහිය.[54] ඔබ සැම අතරේ බොහෝ සැපෙන් සිටි සුමුදු මනුෂ්‍යයා වනාහි, ඔබේ සතුරන් විසින් ඔබේ සියලු නුවර දොරටුවලදී ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී,[55] තමාට කිසිවක් ඉතුරුව නැති බැවින් කන්නාවූ තමාගේ දරුවන්ගේ මාංසයෙන් කොටසක් තමාගේ සහෝදරයාටවත් තමාගේ ළයේ භාර්යාවටවත් ඔහු ඉතුරු කරන තමාගේ අනික් දරුවන්ගෙන් කිසිවෙකුටවත් නොදෙන හැටියට ඔවුන් කෙරෙහි ඔහුගේ බැල්ම අප්‍රසන්න වන්නේය.[56] මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ ඔබ සැම අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද,[57] ඈ බිහිකරන්නාවූ ළදරුවන් පිළිබඳයෙන්ද, ඇගේ ළයෙහි පුරුෂයා කෙරෙහිත් ඇගේ පුත්‍රයා කෙරෙහිත් ඇගේ දුව කෙරෙහිත් අප්‍රසන්න වන්නේය. මක්නිසාද ඔබේ සතුරා ඔබේ නුවර දොරටුවලදී ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී, ඈට කිසිවක් නැති බැවින් ඈ ඔවුන් රහසින් කන්නීය.[58] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යන මේ මහිමවත් භයානක නාමයට භයවෙන හැටියට මේ පොතෙහි ලියා තිබෙන මේ ව්‍යවස්ථාවේ සියලු වචන රක්ෂාකරන්ට බලානොගන්නෙහි නම්,[59] ස්වාමීන්වහන්සේ ඔබ සහ ඔබේ වංශය කෙරෙහි පුදුමවූ පීඩාවල් එනම් මහත්වූ පවතින්නාවූ පීඩාද නපුරුවූ පවතින්නාවූ රෝගද පමුණුවනසේක.[60] ඔබට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් ඔබ පිටට නැවත පමුණුවනසේක; ඒවාද ඔබට ඇලී තිබෙන්නේය.[61] ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද ඔබ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ ඔබ පිටට පමුණුවනසේක.[62] ඔබ සැම අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කන්නුදුන් බැවින් ඔබ සැම ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය.[63] තවද ඔබ සැමට යහපත කරන්ටත් ඔබ සැම වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, ඔබ සැම විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; ඔබ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද ඔබ සැම උදුරාදමනු ලබන්නහුය.[64] පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ ඔබ විසුරුවාදමනසේක; එහිදී ඔබවත් ඔබේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට ඔබ සේවයකරන්නෙහිය.[65] ඒ ජාතීන් අතරෙහි ඔබට කිසිපහසුවක්වත් ඔබේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද ඔබට දෙනසේක.[66] ඔබේ ජීවිතය ගැන ඔබට අනුමාන ඇතිවන්නේය; ඔබ රෑ දාවල් භය ඇතුව, ඔබේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය.[67] ඔබේ සිතට පැමිණෙන භීතියද ඔබේ ඇස්වලින් දකින කාරණාද නිසා ඔබ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය.[68] ඔබ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් ඔබ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ ඔබ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී ඔබ සැමගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට ඔබ සැමම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් ඔබ සැම මිලේට නොගන්නේයයි කීවේය.

Sinhala Bible SROV
Ceylon Bible Society