A A A A A

දෙවියන් වහන්සේ: [කොන්දේසි විරහිත ආදරය]


1 ජොහන් 4:16-18
[16] දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටී, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.[18] ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.

1 පේදුරු 4:8
ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.

කොලොස්සි 3:14
මේ සියල්ල උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.

එපීස 2:8
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය. එය ඔබ සැමගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.

එපීස 5:25
පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, ඔබ සැමත් ඔබ සැමගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.

ජෙරමියා 31:3
ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී- එසේය, සදාකාල ප්‍රේමයකින් ඔබට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් ඔබ ඇදගතිමියි කීසේක.

ශුද්ධවර ජොහන් 3:16
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

1 කොරින්ති 13:7
සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.

1 කොරින්ති 13:13
දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.

1 ජොහන් 3:1
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත.

1 ජොහන් 3:16
අප ප්‍රේමය දැනගන සිටින්නේ ඒ තැනන්වහන්සේ තමන් ප්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය.

1 ජොහන් 4:8
ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.

ශුද්ධවර ජොහන් 14:21
යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

ශුද්ධවර ජොහන් 15:12-13
[12] මාගේ ආඥාව නම් මා ඔබ සැමට ප්‍රේමකළාක්මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.[13] යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.

ශුද්ධවර ලූක් 6:27
නුමුත් අසන්නාවූ ඔබ සැමට මම කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට වෛරකරන්නන්ට යහපත කරන්න,

හිතෝපදේශ 10:12
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

හිතෝපදේශ 17:17
මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.

රෝම 3:23
මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

රෝම 5:5-8
[5] බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.[6] මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක.[7] ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුළුවන.[8] නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.

රෝම 8:35
ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?

රෝම 12:9-10
[9] ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.[10] සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;

තීතස් 3:4-5
[4] නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශවූ කල,[5] අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.

1 ජොහන් 4:9-10
[9] අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය.[10] ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.

ශුද්ධවර ජොහන් 13:34-35
[34] මා ඔබ සැමට ප්‍රේමකළාක්මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම ඔබ සැමට දෙමි.[35] ඔබ සැම එකිනෙකාට ප්‍රේමකරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.‍

1 කොරින්ති 13:4-7
[4] ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,[5] උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත;[6] අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය,[7] සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.

ශුද්ධවර මතෙව් 5:43-48
[43] ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව, ඔබේ සතුරාට වෛරකරවයි කී බව ඔබ සැම අසා තිබේ.[44] නුමුත් මම ඔබ සැමට කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;[45] මෙසේ ඔබ සැම ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.[46] ඔබ සැමට ප්‍රේමකරන්නන්ටම ඔබ සැම ප්‍රේමකරනවා නම්, ඔබ සැමට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද?[47] ඔබ සැමගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් ඔබ සැම අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?[48] එබැවින් ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් ඔබ සැමත් සම්පූර්ණව සිටින්න.

1 කොරින්ති 1:1-13
[1] දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්,[2] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්:[3] අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් ඔබ සැමට වේවා.[4] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසා මම ඔබ සැම ගැන මාගේ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරමි.[5] මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ඔබ සැම තුළ ස්ථිරවූ ලෙසම,[6] ඔබ සැම සියලු කථාවෙහිද සියලු දැනගැනීමෙහිද උන්වහන්සේ තුළ පොහොසත් කරනලද්දහුය.[7] මෙසේ ඔබ සැම කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය.[8] අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී ඔබ සැම දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා ඔබ සැම ස්ථිර කරනසේක.[9] ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට ඔබ සැම කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.[10] ඉතින්, සහෝදරයෙනි, ඔබ සැම සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, ඔබ සැම අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.[11] මක්නිසාද මාගේ සහෝදරයෙනි, ඔබ සැම අතරෙහි විවාද තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්නුවෝය.[12] ඉදින් මාගේ තේරුම නම්, ඔබ සැම එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය.[13] ක්‍රිස්තුස්වහන්සේ බෙදී සිටිනසේක්ද? පාවුල් ඔබ සැම උදෙසා කුරුසියෙහි ඇණගසනු ලැබුවේද? නොහොත් පාවුල්ගේ නාමයට ඔබ සැම බව්තීස්මකරනු ලැබුවහුද?

Sinhala Bible SROV
Ceylon Bible Society