A A A A A

දෙවියන් වහන්සේ: [ආශ්චර්යයන්]


ක්‍රියා 3:16
උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම ඔබ සැම දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල ඔබ සැම සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.

ද්විතීය නීති සංග්‍රහය 10:21
උන්වහන්සේම ඔබේ ප්‍රශංසා භූමියය, උන්වහන්සේම ඔබේ ඇස් වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ ඔබ උදෙසා කළාවූ ඔබේ දෙවියන්වහන්සේය.

නික්මයාම 15:26
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට ඔබ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් ඔබ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි ඔබ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක.

ජෙරමියා 32:27
බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?

ශුද්ධවර ජොහන් 2:11
යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

ශුද්ධවර ලූක් 18:27
උන්වහන්සේද: මනුෂ්‍යයන්ට නුපුළුවන් දේ දෙවියන්වහන්සේට පුළුවනැයි කීසේක.

ශුද්ධවර මාක් 9:23
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

ශුද්ධවර මතෙව් 17:20
උන්වහන්සේ කියනසේක්: ඔබ සැමගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් ඔබ සැමට කියමි අබ ඇටයක් පමණ ඇදහිල්ල ඔබ සැමට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;

ශුද්ධවර මතෙව් 19:26
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.

ශුද්ධවර මතෙව් 21:21
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි-ඔබ සැම සැක නොකොට, ඇදහිල්ල ඇතුව සිටිනවානම්, අත්තික්කා ගහට කළ දේ ඔබ සැම කරනවා පමණක් නොව: ඉදිරි මුහුදේ වැටෙවයි මේ කන්දට කීවත් එය සිද්ධ වන්නේය.

රෝම 15:18-19
[18] මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද,[19] ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි.

ක්‍රියා 19:11-12
[11] දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්යයන් කෙරෙවූසේක.[12] ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය.

ජෝබ් 5:8-9
[8] එහෙත් මම නම් දෙවියන්වහන්සේ දෙසට හැරී, මාගේ කාරණය දෙවියන්වහන්සේට භාරදෙන්නෙමි. [9] සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.

එපීස 3:20-21
[20] ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,[21] සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.

ක්‍රියා 4:29-31
[29] දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල,[30] ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.[31] ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.

ශුද්ධවර මාක් 16:17-20
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;[18] සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.[19] මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක.[20] ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්.

ශුද්ධවර ලූක් 9:13-17
[13] එහෙත් උන්වහන්සේ: ඔබ සැම ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිලදී ගත්තොත් මිස අප ළඟ රොටි පහකටත් මසුන් දෙදෙනෙකුටත් වඩා නැතැයි ඔව්හු කීවෝය.[14] මක්නිසාද පුරුෂයෝම පන්දහසක් පමණ සිටියෝය. එවිට උන්වහන්සේ: ඔවුන් පණස් දෙනා බැගින් කණ්ඩායම් වශයෙන් හිඳුවන්නැයි ගෝලයන්ට කීසේක.[15] ඔව්හු එසේ කොට සෑම දෙනාම හිඳගන්ට සැලැස්සුවෝය.[16] එකල උන්වහන්සේ රොටි පහත් මසුන් දෙදනෙක් රැගෙන, ස්වර්ගය දෙස බලා ඒවාට ආශීර්වාදකොට, කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ගෝලයන්ට දුන්සේක.[17] සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඔවුන් නොකා ඉතිරිවූ කැබලිවලින් කූඩා දොළොසක් එකතුකරගන්නාලද්දේය.

ශුද්ධවර ලූක් 8:43-48
[43] දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්,[44] උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. එකෙණෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණේය.[45] එවිට යේසුස්වහන්සේ: මට අතගැසුවේ කවුදැයි ඇසූසේක. අප නොවේයයි සියල්ලන් කී කල්හි පේතෘස්ද ඔහු සමඟ සිටියෝද කථාකොට: ආචාරිනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිතියි කීවෝය.[46] එහෙත් යේසුස්වහන්සේ: කවුරු නුමුත් මට අතගැසුවේය. මක්නිසාද මාගෙන් ආනුභාවය නිකුත්වූ බව මට දැනුණේයයි කීසේක.[47] ඒ ස්ත්‍රී තමා අප්‍රකාශව නොසිටි බව දැක, වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, තමා විසින් උන්වහන්සේට අතගැසුවේ මක්නිසාද කියාත් එකෙණෙහිම තමා සුවවුණ හැටිත් මුළු සෙනඟ ඉදිරියේ ප්‍රකාශකළාය.[48] උන්වහන්සේද: දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවකෙළේය; සමාදානයෙන් යන්නැයි ඈට කීසේක.

ශුද්ධවර ජොහන් 4:46-54
[46] එවිට උන්වහන්සේ තමන් විසින් වතුරෙන් මුද්‍රිකපානය සෑදුවාවූ ගලීලයේ කානා නුවරට නැවත පැමිණිසේක. කපර්ණවුමෙහි රෝගීවු පුත්‍රයෙකු ඇති එක්තරා ඇමතියෙක් සිටියේය.[47] ඔහු යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ඇවිත් සිටින බව අසා, උන්වහන්සේ ළඟට ගොස්, ඇවිත් තමාගේ පුත්‍රයා සුවකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය; මක්නිසාද ඔහු මරණාසන්නව සිටියේය.[48] යේසුස්වහන්සේ ඔහුට කථාකොට: ඔබ සැම ලකුණුද පුදුමද නුදුටුවොත් කිසිසේත් විශ්වාසකරන්නේ නැතැයි ඔහුට කීසේක.[49] ස්වාමිනි, මාගේ දරුවා නසින්ට පළමුවෙන් අව මැනවයි ඇමතියා කීවේය.[50] යේසුස්වහන්සේද: යන්න, ඔබේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීසේක. ඒ මනුෂ්‍යයා තමාට යේසුස්වහන්සේ කී වචනය විශ්වාසකරගෙන ගියේය.[51] ඔහු යන කල ඔහුගේ දාසයෝ ඔහු පෙරමගට ඇවිත් ඔහුගේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීවෝය.[52] එවිට ඔහුට සුවවෙන්ට පටන්ගත්තේ කොයි පැයේදීදැයි ඔහු ඔවුන්ගෙන් විචාළේය. ඊයේ සත්වෙනි පැයේදී උණ බැස්සේයයි ඔව්හු ඔහුට කීවෝය.[53] ඔබේ පුත්‍රයා ජීවත්ව සිටීයයි යේසුස්වහන්සේ තමාට කී පැය එයමයයි පියා දැන, ඔහුද ඔහුගේ ගෙයි සියල්ලෝද අදහාගත්තෝය.[54] මේ වනාහි යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු කළාවූ දෙවෙනි හාස්කමය.

Sinhala Bible SROV
Ceylon Bible Society