A A A A A

පල්ලිය: [ශුද්ධාත්මයාණන්]


වීරාවලිය 3:10-14
[10] ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.[11] එවිට ඒ සතළිස් අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. කෙනස්ගේ පුත්‍රවූ ඔත්නීයෙල්ද මළේය.[12] නැවත ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජවූ එග්ලොන් බලවත් කළසේක.[13] ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්‍රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය.[14] ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් සේවයකළෝය.

ශුද්ධවර මතෙව් 12:31-33
[31] එබැවින් මම ඔබ සැමට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය.[32] යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.[33] ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ එකේ ඵල වලින් ඇඳිනගනු ලැබේ.

ශුද්ධවර ලූක් 24:45-49
[45] එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා,[46] ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,[47] යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.[48] ඔබ සැම මේ දේවලට සාක්ෂිකාරයෝය.[49] බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ සැම වෙතට එවමි. නුමුත් ඉහළින් ඔබ සැම බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.

ශුද්ධවර ජොහන් 3:6-8
[6] මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.[7] ඔබ සැම අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න.[8] හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය ඔබට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් ඔබ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක.

රෝම 8:2-6
[2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.[3] මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාපමාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.[4] එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.[5] මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

2 කොරින්ති 5:16-18
[16] එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.[17] එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.[18] සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.

1 වංශාවලියේ 12:18-20
[18] එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි ඔබේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම ඔබට වේවා, ඔබට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද ඔබේ දෙවියන්වහන්සේ ඔබට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය.[19] තවද දාවිත් පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙකුත් ඔහුට එකතුවුණෝය, නුමුත් ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝය. මක්නිසාද පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණයකොට: ඔහු අපේ හිස් අන්තරායට පැමිණෙන ලෙස තමාගේ ස්වාමියාවූ සාවුල්ට එකතුවෙනවා ඇතැයි කියා ඔහු යන්ට හැරියෝය.[20] එසේ ඔහු ශික්ලග්ට යද්දී මනස්සේවරුන්ගෙන් සහස්‍රාධිපතියෝවූ අද්නාද යෝසාබාද්ද යෙදීයයෙල්ද මීකායෙල්ද යෝසාබාද්ද එලීහුද ශිල්ලෙතයිද ඔහුට එකතුවුණෝය.

ගීතාවලිය 52:1-3
[1] නායක වාද්‍යකරුටයි. දාවිත් අහිමෙලෙක්ගේ ගෙදරට ඇතුල්වීයයි ඒදොමිය දොවෙග් විත් සාවුල්ට දැන්වුවාට පසු දාවිත් ලියූ අනුශාසනාවකි. එම්බා බලවන්තය, ඔබ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය.[2] ඔබේ දිව තියුණු දැළි පිහියකට සමානව රැවටිලිකරමින්, දුෂ්ටකමම යෝජනාකරයි. [3] ඔබ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකම කථාකිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇත්තෙහිය.

මීකා 3:8-10
[8] එහෙත් මම වනාහි යාකොබ්ට ඔහුගේ වරදත් ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි.[9] යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ,[10] යාකොබ්ගේ වංශයේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, මේක අසන්න.

ක්‍රියා 2:1-5
[1] තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය.[2] තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.[3] ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය.[4] ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.[5] එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමේ වාසයකරමින් සිටියෝය.

ශුද්ධවර ලූක් 24:45-47
[45] එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා,[46] ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,[47] යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.

1 ජොහන් 2:19-27
[19] නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.[20] ඔබ සැම ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.[21] මා ඔබ සැමට ලියා එවුවේ ඔබ සැම සැබෑව නොදන්නා බැවින් නොව, ඔබ සැම සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය.[22] යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ නොවේයයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? විරුද්ධ-ක්‍රිස්තුස් මේය, එනම්, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ එපා කරන තැනැත්තාමය.[23] යමෙක් පුත්‍රයාණන්වහන්සේව එපාකරන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් නැත්තේය. යමෙක් පුත්‍රයාණන්වහන්සේව පිළිගන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් ඇත්තේය.[24] ඔබ සැම පටන්ගැන්මේ සිට ඇසූදේම ඔබ සැම තුළ පවතීවා. පටන්ගැන්මේ සිට ඔබ සැම ඇසූ දේ ඔබ සැම තුළ පවතී නම්, ඔබ සැමත් පුත්‍රයාණන්වහන්සේද පියාණන්වහන්සේද තුළ පවතින්නහුය.[25] උන්වහන්සේ අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය.[26] මා ඔබ සැමට මේ කාරණා ලියුවේ ඔබ සැම මුළාකරන්ට හදන අය ගැනය.[27] ඔබ සැම ගැන වනාහි, ඔබ සැම උන්වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ සැම තුළ පවතින්නේය, යමෙකු විසින් ඔබ සැමට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන ඔබ සැමට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් ඔබ සැමට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.

Sinhala Bible SROV
Ceylon Bible Society