A A A A A

පල්ලිය: [නමස්කාරය]


2 වංශාවලියේ 16:23-31
[23] ඔව්හුද යුදාහි උගන්වමින්, ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථා පොත රැගෙන යුදාහි සියලු නුවරවලට ගොස්, සෙනඟ අතරෙහි ඉගැන්නුවෝය.[24] යුදා අවට දේශවල සියලු රාජ්‍යයන් පිටට ස්වාමීන්වහන්සේ ගෙන් භීතියක් පැමුණුණ නිසා ඔව්හු යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධ නොකළෝය.[25] පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් යෙහෝෂාපාට්ට තෑගිද රිදීද කප්පන් පිණිස ගෙනාවෝය; අරාබිවරුත් බැටළුවන් හත්දාස් හත්සියයක්ද එළුවන් හත්දාස් හත්සියයක්ද යන සිවුපාවුන් ගෙනාවෝය.[26] යෙහෝෂාපාට් අතිශයින් උතුම්ව යුදාහි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැඟුවේය.[27] ඔහුට යුදා නුවරවල බොහෝ වැඩපළ තිබුණේය; යුද්ධකාර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයොත් යෙරුසලමෙහි සිටියෝය.[28] ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේය: යුදාගෙන් සහස්‍රාධිපතියෝ නම්-අධිපතියාවූ අද්නාය, ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝය.[29] ඊළඟට අධිපතියාවූ යෙහෝහානාන්ය, ඔහු සමඟ දෙලක්ෂ අසූදාහක් සිටියෝය;[30] ඊළඟට කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේ ට භාරවුණාවූ සික්රීගේ පුත්‍රවූ අමසියාය; ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝය.[31] බෙන්යමින්ගෙන් බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්වූ එල්යාදාය, ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධවූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝය.

දානියෙල් 2:20
දානියෙල් කථාකොට: දෙවියන්වහන්සේගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය.

ද්විතීය නීති සංග්‍රහය 10:21
උන්වහන්සේම ඔබේ ප්‍රශංසා භූමියය, උන්වහන්සේම ඔබේ ඇස් වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ ඔබ උදෙසා කළාවූ ඔබේ දෙවියන්වහන්සේය.

ජෙරමියා 20:13
ස්වාමීන්වහන්සේ ට ගී කියන්න, ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසාකරන්න. මක්නිසාද උන්වහන්සේ දිළින්දාගේ ප්‍රාණය නපුරකරන්නන්ගේ අතින් නිදහස් කළසේක.

ගීතාවලිය 75:1
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නොකළ මැනව’ ආසාප්ගේ කාව්‍ය ගීතයකි. දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව; ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මනුෂ්‍යයෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශකරති.

නික්මයාම 20:2-6
[2] මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. [3] මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. [4] කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.[5] ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රථිඵල දෙන්නාවූ,[6] මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.

ශුද්ධවර ජොහන් 4:21-24
[21] යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් ඔබ සැම පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.[22] ඔබ සැම නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුනගෙන්ය.[23] නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.[24] දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

ගීතාවලිය 99:1-9
[1] ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.[2] ස්වාමීන්වහන්සේ සියොන්හි උතුම්ය; උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය. [3] ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; උන්වහන්සේ ශුද්ධසේක. [4] රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය. [5] අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ පාපුටුව වෙත නමස්කාරකරව්. උන්වහන්සේ ශුද්ධසේක. [6] උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන් ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක. [7] උන්වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථාකළසේක. ඔව්හු උන්වහන්සේගේ ශික්ෂා හා ඔවුන්ට දුන් පනත පැවැත්වූවෝය. [8] අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක. [9] අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.

ද්විතීය නීති සංග්‍රහය 29:18
එබැවින් ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවයකරන්ට යන පිණිස අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන සිතක් ඇති පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් පවුලක්වත් ගෝත්‍රයක්වත් ඔබ සැම අතරෙහි නොසිටින හැටියටත් වසද තිත්තකමද හටගන්වන මුලක් ඔබ සැම අතරෙහි නොතිබෙන හැටියටත් බලාගන්න.

රෝම 12:1-2
[1] එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලමි, එය ඔබ සැමගේ ආත්මික සේවය වේ.[2] ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

1 සාමුවෙල් 15:22
සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.

එළිදරව්ව 4:8-11
[8] එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති.[9] ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල,[10] වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:[11] අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.

යෙසායා 29:13
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,

ගීතාවලිය 29:1-11
[1] දාවිත්ගේ ගීතයකි. බලවතුන්ගේ පුත්‍රයෙනි, ස්වාමීන් ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන් ට දෙව්.[2] ස්වාමීන් ගේ නාමයට දියයුතු මහිමය දෙව්; ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන් ට නමස්කාරකරව්. [3] ස්වාමීන් ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක. [4] ස්වාමීන් ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන් ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය. [5] ස්වාමීන් ගේ ශබ්දය කිහිරිගස් බිඳියි; එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක. [6] උන්වහන්සේ ඒවා වස්සෙකු මෙන්ද ලෙබනොන් සහ සිරියොන් කඳු තරුණ වල් ගොනෙකු මෙන්ද පෙම්කෙළින්ට සලස්වනසේක. [7] ස්වාමීන් ගේ ශබ්දය ගිනිදැල් බෙදයි. [8] ස්වාමීන් ගේ ශබ්දය වනාන්තරය සොලවයි; ස්වාමීන්වහන්සේ කාදෙෂ් වනාන්තරය සොලවනසේක. [9] ස්වාමීන් ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි. [10] ස්වාමීන්වහන්සේ ජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක; එසේය, ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් වැඩහිඳිනසේක. [11] ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.

හෙබ්‍රෙව් 12:28-29
[28] එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.[29] මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.

නෙහෙමියා 9:5-6
[5] පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: ඔබ සැම නැගිට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.[6] ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ ය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.

ගීතාවලිය 86:9-10
[9] ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය. [10] මක්නිසාද ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය.

2 රාජාවලියේ 17:38-39
[38] මා විසින් ඔබ සැම සමඟ කළාවූ ගිවිසුම මතකනැති නොකරන්න; වෙන දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා.[39] ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටින්න; උන්වහන්සේ ඔබ සැමගේ සියලු සතුරන් අතින් ඔබ සැම ගළවනවා ඇතැයි කීසේක.

ගීතාවලිය 100:1-5
[1] ස්තුතිකිරීමේ ගීතයකි. පොළොවේ සියල්ලෙනි, ස්වාමීන් ට ප්‍රීතිනාද පවත්වව්.[2] ස්වාමීන් ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණවේ. [3] ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය. [4] ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණවේ. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්. [5] මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.

දානියෙල් 3:16-18
[16] ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත.[17] ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.[18] එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය.

එළිදරව්ව 14:7
ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.

Sinhala Bible SROV
Ceylon Bible Society