A A A A A

පල්ලිය: [දසයෙන් කොටස]


ශුද්ධවර මතෙව් 5:17
ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.

ශුද්ධවර මතෙව් 6:21
මක්නිසාද ඔබේ වස්තුව යම් තැනෙක්හිද ඔබේ සිතත් එතැන්හිම වන්නේය.

ශුද්ධවර මතෙව් 23:23
ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා ඔබ සැම විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

ගණන් කථාව 18:21
බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ.

ගණන් කථාව 18:26
තවද ඔබ ලෙවීවරුන්ට මෙසේ කියන්න-ඔබ සැමගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස ඔබ සැම ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේ ට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න.

රෝම 2:29
නුමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය; එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන්වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ.

රෝම 12:1
එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලමි, එය ඔබ සැමගේ ආත්මික සේවය වේ.

හිතෝපදේශ 3:9-10
[9] ඔබේ සම්පතින්ද ඔබේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේ ට ගෞරව කරන්න. [10] එවිට ඔබේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, ඔබේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.

2 වංශාවලියේ 31:4-5
[4] ඇරත් පූජකයන්ද ලෙවීවරුන්ද ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටින පිණිස ඔවුන්ගේ කොටස දෙන්ට කියා ඔහු යෙරුසලමෙහි විසූ සෙනඟට අණකෙළේය.[5] මේ ආඥාව පතළවුණ විට ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝසෙයින්ම ධාන්‍යවලත් මුද්‍රික යුසයෙත් තෙල්වලත් මීපැණිවලත් භූමියේ සියලු අස්වැන්නෙහිත් ප්‍රථමඵල සහ සියල්ලෙන් දසයෙන් කොටසක්ද යහමින් ගෙනාවෝය.

ද්විතීය නීති සංග්‍රහය 12:5-6
[5] ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස ඔබ සැමගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.[6] ඔබ සැමගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද ඔබ සැමගේ අතෙහි එසවීම් පූජාවද ඔබ සැමගේ බාරද ඔබ සැමගේ ස්වෙච්ඡා පූජාද ඔබ සැමගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,

උත්පත්ති 14:19-20
[19] ඔහු ආබ්‍රම්ට ආශීර්වාද කොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;[20] ඔබේ සතුරන් ඔබේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.

උත්පත්ති 28:20-22
[20] යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට[21] මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක,[22] කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.

නෙහෙමියා 10:35-37
[35] අපේ බිම්වල ප්‍රථම අස්වැන්නද සියලු ආකාර ගස්වල සියලු ඵලවලින් ප්‍රථම ඵලද අවුරුද්දෙන් අවුරුද්ද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගෙනෙන හැටියටත්,[36] ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිව්පාවුන්ගෙන් කුලුඳුලන්ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට එනම් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවයකරන පූජකයන් වෙතට ගෙනෙන හැටියටත්,[37] අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවාද අපේ එසවීම් පූජාවල්ද සියලු ආකාර ගස්වල ඵලද මුද්‍රික යුෂ හා තෙල්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවලට පූජකයන් වෙතටද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙතටද ගෙනෙන හැටියටත්,

ශුද්ධවර මාක් 12:41-44
[41] උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය.[42] දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය.[43] උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් ඔබ සැමට කියමි-ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය.[44] මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.

ලෙවී ව්‍යවස්ථාව 27:30-34
[30] භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේ ට අයිතිය. එය ස්වාමීන්වහන්සේ ට ශුද්ධය.[31] යමෙකු තමාගේ දසයෙන් කොටසෙන් යමක් මුදාගන්ටම කැමති නම් ඔහු ඒ ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.[32] කෙවිට යටින් යන්නාවූ සියලුම මෘගයන් වන ගව එළු බැටළු රැළවලින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේ ට ශුද්ධය.[33] ඔහු විසින් ඌ හොඳද නරකද කියා සොයන්ට හෝ ඌ මාරුකරන්ට හෝ යුතු නැත. මාරුකළොත් ඌ සහ ඌට මාරුකරන එකාත් ශුද්ධය; ඌ මුදනු නොලබන්නේයයි කීසේක.[34] ඉශ්‍රායෙල් පුත්‍රයන් සඳහා ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට දුන් ආඥා මේවාය.

මලාකි 3:8-12
[8] මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ලකනවා ඇද්ද? ඔබ සැම නම් මාගෙන් කොල්ලකන්නහුය. එහෙත්: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුදැයි ඔබ සැම අසන්නහුය. ඔතුවලින් සහ එසවීම් පූජාවලිනුත්ය.[9] ශාපය ඔබ සැම පිටට පැමිණ තිබේ; මක්නිසාද ඔබ සැම, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය.[10] මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස ඔබ සැම ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් ඔබ සැමට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් ඔබ සැමට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.[11] ඔබ සැමගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට ඔබ සැම උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ ඔබ සැමගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.[12] ඔබ සැම වාසනාවන්තයෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද ඔබ සැම ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

රෝම 3:21-31
[21] නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරනලද්දේය.[22] එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත;[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.[24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.[25] ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.[26] එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.[27] එසේවී නම් පාරට්ටුකර ගැනීම කොයිද? එය බැහැරකරනලද්දේය. කෙබඳු ව්‍යවස්ථාවකින්ද? ක්‍රියාවල ව්‍යවස්ථාවෙන්ද? නැත; ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය.[28] එහෙයින් මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨකරනු ලැබේයයි අපි ගණන්ගනිමුව.[29] නැත්නම් දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ පමණක්ද? අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේ නොවේද? එසේය, අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේය.[30] දෙවියන්වහන්සේ එකම කෙනෙක්ව සිටිමින්, චර්මඡේදිතයන් ඇදහිල්ලෙන්ද අචර්මඡේදිතයන් ඇදහිල්ල කරණකොටගෙනද ධර්මිෂ්ඨකරනසේක.[31] එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.

රෝම 8:4
එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.

Sinhala Bible SROV
Ceylon Bible Society