A A A A A

පල්ලිය: [යේසුස්ගේ උපත]


ශුද්ධවර මතෙව් 1:18-23
[18] යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවුවූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටියදී, ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදී.[19] ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.[20] නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, ඔබේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය.[21] ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.[22] මේ සියල්ල සිද්ධවූයේ- බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. කියා[23] ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.

ශුද්ධවර ලූක් 2:7-21
[7] ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය.[8] තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය.[9] එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ.[10] දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි ඔබ සැමට ගෙනෙමි.[11] මක්නිසද ස්වාමීවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ සැමට දාවිත්ගේ නුවර අද උපන්සේක.[12] රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් ඔබ සැමට සම්බවන්නේය; මේක ඔබ සැමට ලකුණයයි කීවේය.[13] එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්:[14] ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.[15] තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් ස්වර්ගයට ගිය කල එඬේරු ඔවුනොවුන් කථාකොට: දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමීන්වහන්සේ විසින් අපට දන්වනලද සිද්ධවූ මේ දෙය බලමුව කියා,[16] වහාම ගොස්, මරියාද යෝසෙප්ද ගවයන් කන ඔරුවේ බාවා උන් ළදරුවාද දුටුවෝය.[17] ඔව්හු ඒ දැක, මේ ළදරුවා ගැන තමුන්ට කී දේ දැන්වුවෝය.[18] ඒ ඇසූ සියල්ලෝ තමුන්ට එඬේරුන් විසින් කියනලද දේවලට පුදුමවූවෝය.[19] නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය.[20] එඬේරු වනාහි තමුන්ට කී ලෙසම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන්වහන්සේට ගෞරවකරමින්ද ප්‍රශංසාකරමින්ද හැරී ගියෝය.[21] උන්වහන්සේ චර්මඡේදනයකිරීමට අට දවස සම්පූර්ණවූ කල, උන්වහන්සේ කුසෙහි පිළිසිඳෙන්ට පළමුවෙන් දේව දූතයා විසින් කියනලද යේසුස් යන නාමය උන්වහන්සේට තබනලද්දේය.

ශුද්ධවර මතෙව් 2:1-12
[1] තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:[2] යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය.[3] හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය.[4] එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය.[5] ඔව්හු කථාකොට: යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද-[6] එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, ඔබ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් ඔබ කෙරෙන් නික්මෙන්නේයයි අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය.[7] එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව කොයි කාලයෙහි පෙනුණේදැයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන:[8] ඔබ සැම ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; ඔබ සැමට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය.[9] ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය.[10] ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය.[11] ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.[12] තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.

ගලාති 4:4
නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන්වහන්සේ එවූසේක.

ශුද්ධවර ලූක් 2:1-4
[1] තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය.[2] මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි.[3] සියල්ලෝ ලියවෙන්ට තම තමුන්ගේ නුවරවලට ගියෝය.[4] යෝසෙප්ද දාවිත්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින්,

එළිදරව්ව 12:1-5
[1] තවද මහත් පුදුමයක් අහසෙහි දක්නාලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියෙක්ය;[2] ඈ ගර්භිණීව සිටියාය. ඈ විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය.[3] අහසෙහි තවත් පුදුමයක්ද දක්නාලද්දේය; එනම් හිස් සතක්ද අං දසයක්ද තමාගේ හිස් පිට මටුනු සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය.[4] ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය වැදූ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය.[5] ඈ සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩුකරන පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු, බිහිකළාය. ඇගේ දරුවා දෙවියන්වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය.

Sinhala Bible SROV
Ceylon Bible Society