A A A A A

දේවදූතයන් සහ භූතයන්: [ලුසිෆර්]


1 පේදුරු 5:8
සිහි ඇතිව, අවදිව ඉන්න. ඔබ සැමගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

2 කොරින්ති 4:4
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

2 කොරින්ති 11:14
මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.

2 පේදුරු 1:19
ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමුකොට දැන,

එපීස 6:11-12
[11] යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.[12] මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.

ජාකොබ් 4:7
එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු ඔබ සැම වෙතින් පලායනවා ඇත.

ශුද්ධවර ජොහන් 8:44
ඔබ සැම ඔබ සැමගේ පියවූ යක්ෂයාගෙන්ය, ඔබ සැම ඔබ සැමගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

ජූද් 1:6-9
[6] තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තැබූසේක.[7] එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.[8] එහෙත් ඒ ආකාරයෙන්ම මොව්හුත් තමුන්ගේ නිස්සාර හීන දැක්වීම්වලදී මාංසය කිලුටුකරගනිති, අධිපතිකම සුළුකරති, උත්තමයන්ට නින්දාකරති.[9] නුමුත් අග්‍ර දේවදූතයාවූ මීකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ ඔබට තරවටුකරනසේක්වයි කීවේය.

ශුද්ධවර මතෙව් 4:3
එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණකරන්නැයි කීවේය.

ශුද්ධවර මතෙව් 12:24
නුමුත් පරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය.

එළිදරව්ව 3:9
බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් ඔබේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම ඔබට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.

එළිදරව්ව 20:10
ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.

රෝම 16:20
සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් ඔබ සැමගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය ඔබ සැම සමඟ වේවා.

එසකියෙල්ගේ 28:16-17
[16] ඔබේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ ඔබ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, ඔබ පව්කෙළෙහිය. එබැවින් ඔබ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම ඔබ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි.[17] ඔබේ රුව නිසා ඔබේ සිත උඩඟුවී තිබේ. ඔබේ දීප්තිමත්කම නිසා ඔබේ ප්‍රඥාව නරක්කරගත්තෙහිය. මම ඔබ පොළොවට හෙළා, රජවරුන් විසින් ඔබ දකින පිණිස ඔබ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි.

එළිදරව්ව 12:7-9
[7] තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහ සර්පයාද තමාගේ දූතයෝද සටන්කොට,[8] ජය නොලැබුවෝය, ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය.[9] මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.

ශුද්ධවර ලූක් 10:18-20
[18] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.[19] බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් ඔබ සැමට බලය දී තිබේ. කොයි දෙයකින්වත් ඔබ සැමට අන්තරායක් නොවන්නේය.[20] එසේවුවත් ආත්මයන් ඔබ සැමට යටත්වන නිසා නොව ඔබ සැමගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.

යෙසායා 14:12-15
[12] දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, ඔබ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ ඔබ බිමට සිඳ දමනු ලැබූ හැටි![13] ඔබ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි.[14] මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය.[15] එහෙත් ඔබ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත.

එළිදරව්ව 13:1-18
[1] අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.[2] මා දුටු මෘගයා අඳුන්දිවියෙකුට සමානය, උගේ පාද වළසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහයෙකුගේ කට වැනිය. මහ සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය.[3] මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාලවී තිබෙන්නාක්මෙන් පෙනුණේය; නුමුත් උගේ මරණීය තුවාලය සුවවිය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය;[4] මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවෙරකුට හැකිදැයි කීවෝය.[5] අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය.[6] එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසයකරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය[7] තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.[8] ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.[9] යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා.[10] යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.[11] තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය.[12] ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.[13] ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය.[14] කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය.[15] මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය.[16] තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණෙත් හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්;[17] ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය.[18] මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය.

Sinhala Bible SROV
Ceylon Bible Society