A A A A A

අතිරේක: [හැලොවීන්]


1 ජොහන් 1:5
අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ, ඔබ සැමට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය.

1 පේදුරු 5:8
සිහි ඇතිව, අවදිව ඉන්න. ඔබ සැමගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

2 කොරින්ති 11:14
මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.

යෙසායා 8:19-20
[19] ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි ඔබ සැමට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.[20] ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.

3 ජොහන් 1:11
ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශකොට ගන්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන්වහන්සේ දුටුවේ නැත.

යෙසායා 35:4
භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, ඔබ සැමගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් ඔබ සැම ගළවනසේකැයි කියන්න.

රෝම 14:9
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නැසුණෙත් නැවත ජීවත්වුණෙත් මළවුන්ගේද ජීවතුන්ගේද ස්වාමීන්වහන්සේ වන පිණිසය.

ජෝෂු 1:9
මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක.

ගීතාවලිය 23:4
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.

ගීතාවලිය 27:1
දාවිත්ගේ ගීතයකි. ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?

ගීතාවලිය 118:6
ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?

රෝම 12:2
ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

ගලාති 5:19-21
[19] ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;[20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;[21] වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම ඔබ සැමට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් ඔබ සැමට කියමි.

රෝම 8:38-39
[38] මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,[39] උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.

තීතස් 1:15
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.

1 තෙසලෝනික 5:22
සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.

මීකා 5:12
මම ඔබේ අතින් මායම් සිඳදමන්නෙමි; පේනකියන්නෝ තවත් ඔබට නොසිටින්නෝය.

එපීස 6:12
මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.

ද්විතීය නීති සංග්‍රහය 18:14
මක්නිසාද ඔබ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් ඔබට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.

ශුද්ධවර මතෙව් 12:43-45
[43] අපිරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරුව ගිය කල්හි, ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ:[44] මම පිටත්ව ආ මාගේ ගෙට හැරීයමියි කියයි; ඔහු එහි පැමිණි කල, ඒ ගෙය හිස්ව, අතුගා, සරහා තිබෙන බව දකියි.[45] එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.

එපීස 5:15-16
[15] ඒ නිසා ඔබ සැම ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,[16] දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.

Sinhala Bible SROV
Ceylon Bible Society