A A A A A

අතිරේක: [පුනර්ජීවනය]


දානියෙල් 9:3-10
[3] එවිට මම නිරාහාරව, ගෝණි රෙදිද අලුද ඇතුව, යාච්ඤාවෙනුත් කන්නලව්වලිනුත් ස්වාමිවූ දෙවියන්වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන්වහන්සේ දෙසට හරවා,[4] මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස,[5] අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව.[6] ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෘන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව.[7] අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ධර්මිෂ්ඨකම අයිතිය, නුමුත් අද දවසේ තිබෙන්නාක්මෙන් මුහුණු-ලජ්ජාව අපට අයිතිය. එනම් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම නිසා ඔබ විසින් පන්නාදමනු ලැබ, සියලු රටවල ළඟ සිටින්නාවූද දුර සිටින්නාවූද සියලු ඉශ්‍රායෙල්වරුන්ටත්ය.[8] ස්වාමීන්වහන්ස, අප විසින් ඔබට විරුද්ධව පව්කළ නිසා අපට, එනම්, අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් මුහුණු-ලජ්ජාව අයිතිය.[9] අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.[10] අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.

එස්රා 9:5-7
[5] සවස පූජාවේ වේලාවට මාගේ ශෝක භාවයෙන් නැගිට, ඉරාගත් මාගේ වස්ත්‍රයද මාගේ සළුවද ඇතුව දණින් හිඳ, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් විදහාගන කථාකොට:[6] මාගේ දෙවියන්වහන්ස, මම ලජ්ජාවට පත්වී, මාගේ දෙවිවූ ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්ට විළිබියෙන් සිටිමි. මක්නිසාද අපේ අපරාධ අපේ ඉස්වලටත් උඩින් වැඩිවී, අපේ වරදකාරකම ස්වර්ගය දක්වා නැගී තිබේ.[7] අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව.

එසකියෙල්ගේ 22:28-31
[28] ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.[29] දේශයේ සෙනඟ බලාත්කාරකම්කොට කොල්ලකෑවෝය; අසරණයාටද දිළින්දාටද පීඩාකොට, අයුතුලෙස විදේශියාට බලාත්කාර කළෝය.[30] මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය.[31] එබැවින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ උදහස් ගින්නෙන් ඔවුන් නාස්තිකරදමා ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පැමිණවීමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය

ද්විතීය නීති සංග්‍රහය 9:18-29
[18] ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් ඔබ සැම කළාවූ ඔබ සැමගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.[19] මක්නිසාද ඔබ සැම විනාශකිරීමට ස්වාමීන්වහන්සේ ඔබ සැමට විරුද්ධව උදහස්වී සිටිය උදහසද කෝපයද නිසා භයවීමි. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දුන්සේක.[20] ස්වාමීන්වහන්සේ ආරොන්ද විනාශකරන පිණිස ඔහුට විරුද්ධව ඉතා උදහස්ව සිටිසේක. මම ඒ ප්‍රස්තාවේදී ආරොන් උදෙසාත් යාච්ඤා කෙළෙමි.[21] ඔබ සැමගේ පාපය වන ඔබ සැම සෑදු වස්සා මම අරගන ගින්නෙන් පුලුස්සා දමා, කොටා, ධූලි මෙන් පොඩිවෙන තුරු අඹරා, ඒකේ කුඩු කන්දෙන් ගලාගන ආ ඔයේ හෙළිමි.[22] තවද තාබෙරාහිදීත් මස්සාහිදීත් කිබ්‍රොත්-හත්තාවාහිදීත් ඔබ සැම ස්වාමීන්වහන්සේ උදහස් කළහුය.[23] ඔබ සැම නැගී ගොස් මා ඔබ සැමට දුන් දේශය හිමිකර ගන්නය කියා ස්වාමීන්වහන්සේ කාදේෂ්-බර්නේයේ සිට ඔබ සැම යැවූ විටත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ අණට විරුද්ධව ඔබ සැම කැරළිගැසුවහුය, ඔබ සැම උන්වහන්සේ විශ්වාස කළේවත් උන්වහන්සේගේ හඬ ඇසුවේවත් නැත.[24] මා ඔබ සැම දැනගත් දවස පටන් ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කැරළිකාරව සිටියහුය.[25] ස්වාමීන්වහන්සේ ඔබ සැම විනාශකරනසේකැයි කී බැවින් මා වැටී සිටිය දවස් ලෙස දවල් සතළිසකුත් රෑ සතළිසකුත් ස්වාමීන්වහන්සේ ඉදිරියේ වැටී,[26] උන්වහන්සේට යාච්ඤාකරමින්: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහන්තත්වයෙන් ඔබ මුදාගත්තාවූ, බලවත් හස්තයකින් මිසරයෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟද උරුමයද විනාශනොකළ මැනව.[27] ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සිහිකළ මැනව; මේ සෙනඟගේ මුරණ්ඩුකමවත් දුෂ්ටකමවත් පාපයවත් නොබලා වදාළ මැනව.[28] බැලුවොත් ඔබ යම් දේශයකින් අප පිටතට ගෙනාසේක්ද එහි වැසියන් කථාකොට: ස්වාමීන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවුණ දේශයට ඔවුන් පමුණුවන්ට උන්වහන්සේට නොහැකිවූ බැවින්ද උන්වහන්සේ ඔවුන්ට වෛරවුණ බැවින්ද කාන්තාරයේදී ඔවුන් මරණ පිණිස පිටතට ගෙනාසේකැයි කියනවා ඇත.[29] නුමුත් මොවුන් ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ ඔබගේ බාහුවෙන්ද ඔබ විසින් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්යයි කීවෙමි.

නික්මයාම 32:11-13
[11] මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේ ට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද?[12] උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව.[13] ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: ඔබ සැමගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය ඔබ සැමගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය.

නික්මයාම 32:31-32
[31] මෝසෙස් ස්වාමීන්වහන්සේ වෙතට හැරී ගොස්: අහෝ, මේ සෙනඟ මහත් පාපයක් කර තමුන්ට රනින් දෙවිවරුන් සාදාගත්තෝය.[32] එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය.

නෙහෙමියා 1:1-11
[1] හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,[2] මාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්වූ හනානීද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝද යුදයෙන් ආවෝය; එවිට වාල්කමෙන් ගැළවී ඉතුරුවුණ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාළෙමි.[3] ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.[4] මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඬා, කීප දවසක් වැලපී නිරාහාරව සිට, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤාකෙළෙමි:[5] අහෝ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකරමින් ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයානකවූ දෙවියන්වහන්ස,[6] ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධව කළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.[7] අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියාකෙළෙමුව, ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ ආඥාද පනත්ද විනිශ්චයන්ද රක්ෂානොකෙළෙමුව.[8] අහෝ ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ දෙය සිහිකළ මැනව. එනම්: ඔබ සැම ද්‍රෝහිකම්කළොත් මම ඔබ සැම ජාතීන් අතරේ විසුරුවන්නෙමි.[9] එහෙත් ඔබ සැම මා වෙතට හැරී, මාගේ ආඥා රක්ෂාකරමින්, ඒවා ඉෂ්ටකළොත්, ඔබ සැමගෙන් සමහරෙක් පන්නාදමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස්කර, මාගේ නාමය පිහිටුවන්ට මා විසින් තෝරාගත් ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමියි ඔබ කීසේක.[10] මොව්හු වනාහි ඔබගේ මහත් බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගත් ඔබගේ මෙහෙකරුවන් හා සෙනඟත්ය.[11] අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.

ගීතාවලිය 85:6
ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද?

ගීතාවලිය 22:27
පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින් ස්වාමීන් වෙතට හැරෙන්නෝය. ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.

ගීතාවලිය 51:10
දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථීර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.

ගීතාවලිය 80:18
එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව.

හබක්කුක් 3:2
ස්වාමීන්වහන්ස මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.

යෙසායා 57:15
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.

2 වංශාවලියේ 7:14
මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.

ජාකොබ් 4:8
දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැමට ළංවෙනසේක. පව්කාරයෙනි, ඔබ සැමගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබ සැමගේ සිත් පරිසිදුකරගන්න.

එසකියෙල්ගේ 37:11-15
[11] එවිට උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට නම් මුළු ඉශ්‍රායෙල් වංශයය. අපේ ඇට වියළී අපේ බලාපොරොත්තුව නැතිවී තිබේ; අපි සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඔව්හු කියති.[12] එබැවින් ඔබ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න-මාගේ සෙනඟෙනි, මම ඔබ සැමගේ සොහොන් විවරකොට, ඔබ සැමගේ සොහොන්වලින් ඔබ සැම නැගුටුවා, ඔබ සැම ඉශ්‍රායෙල් රටට පමුණුවන්නෙමි.[13] එම්බා මාගේ සෙනඟෙනි, මා විසින් ඔබ සැමගේ සොහොන් විවරකොට ඔබ සැමගේ සොහොන්වලින් ඔබ සැම නැගිටෙවුවාම, මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නවා ඇත.[14] ඔබ සැම ජීවත්වන ලෙස මා විසින් ඔබ සැම තුළ මාගේ ආත්මය තබා, ඔබ සැමගේ රටෙහි ඔබ සැම පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා ඒක කියා ඉෂ්ටකළ බව ඔබ සැම දැනගන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි මට කීය.[15] නැවත ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය,

ක්‍රියා 2:17-18
[17] අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. ඔබ සැමගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, ඔබ සැමගේ තරුණයෝද දර්ශන දකින්නෝය. ඔබ සැමගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. [18] එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.

2 තිමෝති 4:3-4
[3] මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,[4] සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.

එපීස 5:14
එහෙයින්: නිදන්නාවූ ඔබ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ ඔබ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.

ශුද්ධවර මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.

ක්‍රියා 2:38
පේතෘස්: ඔබ සැම සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව ඔබ සැම ලබන්නහුය.

ක්‍රියා 3:19-21
[19] එබැවින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද,[20] ඔබ සැම උදෙසා නියමකරනලද්දාවූ ක්‍රිස්තුස්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, එවන පිණිසද, ඔබ සැමගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.[21] දෙවියන්වහන්සේ ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල් දක්වා උන්වහන්සේ ස්වර්ගයෙහි සිටින්ට ඕනෑය.

එසකියෙල්ගේ 18:21-33
[21] නුමුත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පනත් පවත්වමින්, යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු සැබවින් නොනැසී ජීවත්වන්නේය.[22] ඔහු කළ ඔහුගේ සියලු වරද ඔහුට විරුද්ධව සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත්වන්නේය.[23] දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස නසිනවාට කොයි ප්‍රකාරයකින්වත් මාගේ ප්‍රසන්නයක් ඇද්දැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.[24] නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.[25] එහෙත්: ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය සාධාරණ නැතැයි ඔබ සැම කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, අසන්න. මාගේ මාර්ගය සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ ඔබ සැමගේ මාර්ගවල් නොවේද?[26] ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අධර්මිෂ්ඨකම්කරමින් සිට නසින කල, ඔහු නසින්නේ තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම නිසාය.[27] යළිත් දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කරන කල ඔහු තමාගේ ජීවිතය රක්ෂාකරගන්නේය.[28] ඔහු කල්පනාකොට තමා කළ තමාගේ සියලුම වරද වලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත්වන්නේමය.[29] එහෙත්: ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය සාධාරණ නැතැයි ඉශ්‍රායෙල් වංශය කියති. එම්බා ඉශ්‍රායෙල් වංශය, මාගේ මාර්ග සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ ඔබ සැමගේ මාර්ග නොවේද?[30] එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම ඔබ සැම එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඔබ සැම හැරී ඇවිත් ඔබ සැමගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම ඔබ සැමගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.[31] ඔබ සැම කළ ඔබ සැමගේ සියලු වරද ඔබ සැම වෙතින් අහක දමා, අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද ඔබ සැමටම සාදාගන්න. ඉශ්‍රායෙල් වංශය ඔබ සැම නසින්නේ මක්නිසාද?[32] නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රසන්නයක් නැත; එබැවින් හැරී ජීවත්වෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.[33] ඔබ වනාහි ඉශ්‍රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්න:

ජෙරමියා 31:17-20
[17] ඔබේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් තිබේ; ඔබේ දරුවෝ තමුන්ගේ සීමාවට හැරීඑන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.[18] ඔබ මට දඬුවම්කළසේක, මමද වියගහට පුරුදු නැති නාම්බෙකු මෙන් දඬුවම් ලැබුවෙමි. මා හැරෙන පිණිස මා හැරවුව මැනව; මක්නිසාද ඔබම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.[19] සැබවින්ම මම හැරුණායින් පසු මම පශ්චාත්තාපවීමි; දැනමුතුවුණායින් පසු මම කළවයට ගසාගතිමි. මම මාගේ යෞවන කාලයේ නින්දාව දරාගන ආ බැවින් ලජ්ජාවට පැමුණුණෙමි. එසේය, වියවුල්වීමියි එප්‍රායිම් විලාපකියනවා ඇසීමි.[20] එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

වීරාවලිය 10:1-18
[1] අබිමෙලෙක්ට පසුව ඉස්සාඛර්හි මනුෂ්‍යයෙක්වූ දෝදෝගේ පුත්‍රයා වන පූවාගේ පුත්‍රවූ තෝලා ඉශ්‍රායෙල් ගළවන්ට නැගුටුණේය; ඔහු එප්‍රායිම් කඳුරටෙහි වූ ෂාමීර්හි වාසය කෙළේය.[2] ඔහු විසිතුන් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකොට නැසී ෂාමීර්හි තැන්පත්කරනු ලැබුවේය.[3] ඔහුට පසුව ගිලියද්හි මනුෂ්‍යයෙක්වූ යායිර් නැගිට විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.[4] පුත්‍රයෝ තිස්දෙනෙක් ඔහුට සිටියෝය, නැගීයාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් ඔවුන්ට වූවෝය, නුවරවල් තිහක්ද ඔවුන්ට ගිලියද් දේශයෙහි තිබුණේය, ඒවාට හවෝත්-යායිර්යයි අද දවස දක්වා කියනු ලැබේ.[5] යායිර්ද නැසී කාමොන්හි තැන්පත්කරනු ලැබුවේය.[6] ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත් සේවයකළෝය; ස්වාමීන්වහන්සේ ට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.[7] ස්වාමීන්වහන්සේ ගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ ඔවුන් පිලිස්තිවරුන් අතටද අම්මොන් පුත්‍රයන් අතටද පාවාදුන්සේක.[8] ඔව්හු ඒ අවුරුද්ද පටන් දසඅට අවුරුද්දක් යොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයෙහි සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පීඩාකොට ඔවුන් මැඩලුවෝය.[9] තවද අම්මොන් පුත්‍රයෝ යූදාටත් බෙන්යමින්ටත් එප්‍රායිම් වංශයටත් විරුද්ධව යුද්ධකරන පිණිස යොර්දානෙන් මෙගොඩට ආවෝය; මෙසේ ඉශ්‍රායෙල් තද අමාරුවට පැමිණියේය.[10] එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ට මොරගසා: අපි අපේ දෙවියන්වහන්සේ අත්හැර බාල්දේවතාවුන්ට සේවයකිරීමෙන් ඔබවහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි කීවෝය.[11] ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මිසරවරුන්ගෙන්ද අමෝරිවරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද මම ඔබ සැම ගළවානොගතිම්ද?[12] ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද ඔබ සැමට පීඩා කළෝය; ඔබ සැම මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් ඔබ සැම ගැළෙවුවෙමි.[13] නුමුත් ඔබ සැම මා අත්හැර අන් දෙවිවරුන්ට සේවය කළහුය. එබැවින් මම තවත් ඔබ සැම නොගළවන්නෙමි.[14] ඔබ සැම විසින් තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න; ඔව්හු ඔබ සැමගේ විපත්ති කාලයේදී ඔබ සැම ගළවත්වයි කීසේක.[15] ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ට කථාකොට: අපි පව්කෙළෙමුව. ඔබවහන්සේට යහපත්ව පෙනෙන දෙයක් අපට කළමැනව; එහෙත් මේ වතාවේ අප ගැළවුවමැනවයි කීවෝය.[16] එවිට ඔව්හු තමුන් අතරෙන් අන් දෙවිවරුන් පහකරදමා ස්වාමීන්වහන්සේ ට සේවයකළෝය. උන්වහන්සේගේ ආත්මය ඉශ්‍රායෙල්ගේ කාලකණ්ණිකම ගැන ශෝකවූයේය.[17] එකල අම්මොන් පුත්‍රයෝ රැස්ව ගිලියද්හි කඳවුරු බැන්දෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද එකතුවී මිශ්පාහි කඳවුරු බැන්දෝය.[18] එවිට සෙනඟ එනම් ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සටන්කරන්ට පටන්ගන්න මනුෂ්‍යයා කවරෙක්ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා වන්නේයයි කීවෝය.

ජෝබ් 42:6
එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.

ජෝවෙල් 1:10-20
[10] කෙත් නාස්තිවී තිබේ, දේශය වැලපෙයි; මක්නිසාද ගොයම් නාස්තිවී, මිදියුස සිදී, තෙල් හීනවී තිබේ.[11] ගොවියෙනි, තිරිඟු සහ යව ගැන ලජ්ජාවෙන්න, මිදිවතුකාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද කෙතේ අස්වැන්න නාස්තිවිය.[12] මිදිවැල වියළී, අත්තික්කා ගස මැලවී, දෙළුම් ගසද තල් ගසද ජම්බු ගසද යනාදිවූ කෙතේ සියලුම ගස් වියළී තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රීතිය පහවගියේය.[13] පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.[14] ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේ ට මොරගසන්න.[15] අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්‍රමයාණන්වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.[16] අපේ ඇස් ඉදිරියෙහිම කෑමත් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්‍රීති සන්තෝෂයත් පහවගියා නොවේද?[17] බීජ ඒවායේ පිඩලි යට දිරායයි; අටු පාළුවී, ගබඩා කඩාවැටී තිබේ; මක්නිසාද ගොයම් වියළී තිබේ.[18] සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා උන් කැලඹී ඇවිදිති; එසේය, බැටළු රැළවලුත් නාස්තිවුණෝය.[19] ස්වාමීන්වහන්ස, ඔබට යාච්ඤාකරමි. මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම් ගින්නෙන් නාස්තිවී ගියේය, කෙතේ සියලු ගස්ද ගිනිදැල්ලට දාගියේය.[20] වනයේ මෘගයෝ පවා ඔබවහන්සේ දෙස බලා හතිදමති. මක්නිසාද වතුර ඔයවල් හිදීගියේය, කාන්තාරයේ පිට්ටනිද ගින්නෙන් නාස්තිවිය.

ජෝනා 3:9-10
[9] අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙන සේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය.[10] එවිට ඔවුන්ගේ ක්‍රියා-එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව-දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.

ශුද්ධවර ලූක් 15:7
එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි ඔබ සැමට කියමි.

ශුද්ධවර මාක් 1:15
කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක.

ශුද්ධවර මතෙව් ۳:۶
තමුන්ගේ පව් කියාදෙමින්, යොර්දාන් ගංගාවෙහි ඔහුගෙන් බව්තීස්මය ලැබුවෝය.

ශුද්ධවර මතෙව් ۱۱:۲۰-۲۴
[۲۰] එකල උන්වහන්සේගේ බලවත් ක්‍රියා වලින් බොහොමයක් කරන්ට යෙදුණු නුවරවල් පසුතැවිලි නුවූ බැවින් ඒවාට වරද තබන්ට පටන්ගෙන:[۲۱] කොරාශීන්, ඔබ සැමට දුක්වේ! බෙත්සයිදා, ඔබ සැමට දුක්වේ! ඔබ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.[۲۲] එසේවී නුමුත් විනිශ්චය දවසේදී ඔබ සැමට වඩා තීර්ට සහ සීදොන්ට ඉවසන්ට පහසුවන්නේයයි කියමි.[۲۳] එම්බා කපර්ණවුම, ඔබ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? ඔබ පාතාලය දක්වා පහළට හෙළනු ලබන්නීය. ඔබ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා සොදොම් ඇතුළේ කරනලද්දේ නම්, අද දක්වා ඒක පවතිනවා ඇත.[۲۴] එසේවීනුමුත් විනිශ්චය දවසේදී ඔබ සැමට වඩා සොදොම් රටට ඉවසන්ට පහසු වන්නේයයි කියමියි කීසේක.

1 පේදුරු 4:17
මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?

1 පේදුරු ۵:۱۰
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට ඔබ සැම කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, ඔබ සැම ස්වල්ප කලක් දුක්වින්ද පසු, ඔබ සැම සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.

එපීස ۱:۱۸
උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,

හොසියා 6:2
දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.

යෙසායා 49:8
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පිළිගත යුතු කාලයකදී මම ඔබට උත්තරදී, ගැළවීමේ දවසකදී ඔබට උපකාරකෙළෙමි. දේශය ප්‍රකෘතිමත් කිරීමටත් පාළුවූ උරුමවල් ඔවුන්ට හිමිකරදීමටත්,

ජෙරමියා 33:11
නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේ ට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක

ගීතාවලිය 51:12
ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව.

ගීතාවලිය 71:20
බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.

රෝම 6:4
එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තීස්මය කරණකොටගෙන උන්වහන්සේ සමඟ තැන්පත්කරනු ලැබුවෙමුව.

විලාප ගී 5:20-21
[20] ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද? [21] ස්වාමීන්වහන්ස, අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව; පුරාණයේදී මෙන් අපට [සමාදන] දවස් නැවත දුන මැනව.

මලාකි 4:5-6
[5] බලව ස්වාමීන්වහන්සේ ගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා ඔබ සැම වෙතට එවන්නෙමි.[6] මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.

ගීතාවලිය 80:17-19
[17] ඔබගේ හස්තය ස්වකීය දකුණෙත් මනුෂ්‍යයා කෙරෙහි, එනම් ඔබටම ඔබ ශක්තිමත්කළ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි, වේවා. [18] එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව. [19] සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.

Sinhala Bible SROV
Ceylon Bible Society