A A A A A

අතිරේක: [බහු විවාහය]


1 වංශාවලියේ 4:5
තෙකෝවාගේ පියවූ අෂ්හූර්ට හෙලෙයා සහ නයරා යන භාර්යාවෝ දෙදෙනෙක් වූහ.

2 සාමුවෙල් 5:13
දාවිත් හෙබ්‍රොන්හි සිට ආවාට පසු තවත් උප භාර්යාවන්ද භාර්යාවන්ද යෙරුසලමෙන් පාවාගත්තේය. තව පුත්‍රයෝද දූවරුද දාවිත් නිසා උපන්නෝය.

2 සාමුවෙල් 12:8
මම ඔබේ ස්වාමිහුගේ වංශයද ඔබේ ළයට ඔබේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යුදා වංශයත් ඔබට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ ඔබට දෙන්නෙමි.

2 වංශාවලියේ 11:21
රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.

2 වංශාවලියේ 13:21
නුමුත් අබියා බලවත්විය, හෙතෙම භාර්යාවන් දහහතර දෙනෙකු පාවාගත්තේය, පුත්‍රයන් විසි දෙදෙනෙක්ද දූවරුන් දහසය දෙනෙක්ද ඔහුට දාව උපන්නෝය.

නික්මයාම 21:10
ඔහු වෙන තැනැත්තියක් සරණපාවා ගත්තොත් ඔහු ඇගේ කෑමද ඇඳීමද විවාහයේ යුතුකමද අඩුනොකරන්නේය.

උත්පත්ති 4:19
ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවාගත්තේය; එක් තැනැත්තියකගේ නම ආදාය, අනික් තැනැත්තියගේ නම ශිල්ලාය.

උත්පත්ති 30:4-9
[4] තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය.[5] බිල්හා ගර්භිණීව යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.[6] රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය.[7] රාඛෙල්ගේ දාසීවූ බිල්හා නැවත ගර්භිණීව යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.[8] එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමඟ පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය.[9] ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.

යෙසායා 4:1
ඒ කාලයේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන: අපි අපේම කෑම කන්නෙමුව, අපේම වස්ත්‍ර අඳින්නෙමුව. ඔබේ නම පමණක් අපට ලැබේවා; අපේ නින්දාව පහකරන්නැයි කියන්නෝය.

වීරාවලිය ८:३०
ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ සැත්තෑදෙනෙක් වූහ. මක්නිසාද ඔහුට බොහෝ භාර්යාවෝ සිටියෝය.

ගණන් කථාව 12:1
මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කථාකළෝය. මක්නිසාද ඔහු කුෂ් ස්ත්‍රියෙක් සරණපාවාගෙන සිටියේය.

1 සාමුවෙල් 1:1-2
[1] එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.[2] ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය.

ද්විතීය නීති සංග්‍රහය 21:15-17
[15] මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්,[16] ඔහු තමා සන්තක දේපල තමාගේ පුත්‍රයන්ට උරුම කර දෙන කල්හි කුලුඳුලාව සිටින අප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට ප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතුය.[17] අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයාට තමා සන්තක සියල්ලෙන් දෙකොටසක් දීමෙන් ඔහු කුලුඳුලා කොට පිළිගත යුතුය. මක්නිසාද ඔහුගේ ශක්තියේ පටන්ගැන්ම ඔහුය; කුලුඳුලාගේ වාසි කොටස ඔහුට අයිතිය.

2 වංශාවලියේ २४:१-३
[१] යෝවාෂ් සත් අවුරුදු වයසේ රජවී යෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම ශීබියාය, ඈ බෙයෙර්-ෂෙබාහි ස්ත්‍රියෙක්ය.[२] යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෝවාෂ් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.[३] යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු ගෙනදුන්නේය; ඔහුට දාව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.

එසකියෙල්ගේ 23:1-4
[1] ස්වාමීන්වහන්සේ ගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:[2] මනුෂ්‍ය පුත්‍රය, එක මවෙකුගේ දූවරුවූ ස්ත්‍රීන් දෙදෙනෙක් සිටියෝය.[3] ඔව්හු මිසරයේදී වේශ්‍යාකම් කළෝය; ඔවුන්ගේ යෞවන වයසේදී වේශ්‍යාකම්කළෝය. ඔවුන්ගේ පියයුරු එහිදී මිරිකනු ලැබීය, එහිදී ඔවුන්ගේ කන්‍යා වයසේ තනපුඩු තැළුණේය.[4] ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.

1 කොරින්ති 7:1-5
[1] ඉදින් ඔබ සැම විසින් ලියනලද කාරණා ගැනය. ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය.[2] නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.[3] පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.[4] භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය.[5] යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් ඔබ සැමගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් ඔබ සැම පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.

ද්විතීය නීති සංග්‍රහය 25:5-10
[5] සහෝදරයන් එකට වාසයකරන අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් පුත්‍රයෙකු නැතුව මළොත් මළ අයගේ භාර්යාව අන්‍යවූ පිට කෙනෙකුට සරණ නොවිය යුතුය. ඇගේ පුරුෂයාගේ සහෝදරයා ඈ වෙතට පැමිණ ඈ තමාට භාර්යාවකොට පාවාගෙන පුරුෂයාගේ සහෝදරයෙකුගේ යුතුකම ඈට කෙරේවා.[6] තවද මළාවූ සහෝදරයාගේ නාමය ඉශ්‍රායෙල් කෙරෙන් නොමැකෙන පිණිස ඈ වදන කුලුඳුලා මළ සහෝදරයාගේ නාමය දරන්නේය.[7] ඒ මනුෂ්‍යයා තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්ට අකැමැති නම් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව දොරටුවෙහි සිටින වැඩිමහල්ලන් වෙතට ගොස්: මාගේ පුරුෂයාගේ සහෝදරයා තමාගේ සහෝදරයාට ඉශ්‍රායෙල්හි නාමයක් උපදවන්ට කැමති නැත, ඔහු පුරුෂයෙකුගේ සහෝදරයාගේ යුතුකම මට කරන්ට නොකැමැත්තේයයි කියාවා.[8] එවිට ඔහුගේ නුවර වැඩිමහල්ලෝ ඔහු අඬගස්වා ඔහු සමඟ කථාකරත්වා. ඔහු ස්ථිරව සිට ඈ පාවාගන්ට නොකැමැත්තෙමියි කියන්නේ නම්,[9] ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියෙහි ඔහු ළඟට ගොස්, ඔහුගේ මිරිවැඩියක් ඔහුගේ පයින් ගළවා, ඔහුගේ මුහුණට කෙළගසා: තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මනුෂ්‍යයාට මෙසේ කළ යුතුයයි උත්තරදෙමින් කියාවා.[10] මිරිවැඩිය මුදනු ලැබූ තැනැත්තාගේ ගෙය යන නම ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔහුට කියනු ලබන්නේය.

1 වංශාවලියේ 3:1-9
[1] හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොව්හුය: කුලුඳුලා යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය. දෙවෙනියා කර්මෙලීය අබිගයිල්ගෙන් උපන් දානියෙල්ය;[2] තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය; හතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය;[3] පස්වෙනියා අබිටල්ගෙන් උපන් ෂෙපතියාය; හවෙනියා ඔහුගේ භාර්යාවූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය.[4] හදෙනෙක් හෙබ්‍රොන්හිදී ඔහුට උපන්නෝය; එහි ඔහු සත් අවුරුදු හමාසයක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කෙළේය.[5] යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝ‍‍බාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.[6] ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්; නොගා, නෙපෙග්, යාපියා;[7] ***[8] එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නවදෙනාත්ය.[9] උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය.

Sinhala Bible SROV
Ceylon Bible Society