A A A A A

පව්: [කෑදරකම]


1 කොරින්ති 6:12
“මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම මගේ යහපත පිණිස නොවේ. එසේ ම “කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි.

1 කොරින්ති 10:7
“සෙනඟ කෑමටත් බීමටත් වාඩි වී රූප වන්දනා උත්සවයට නැඟී සිටියෝ ය” කියා ලියා ඇත. ඔවුන්ගෙන් සමහරෙකු මෙන් රූප වඳින්නන් නොවන්න.

1 කොරින්ති 15:32
මම මනුෂ්‍යත්වයෙන් කල්පනාකර එපීසයේ දී ‘වන මෘගයන්’ සමඟ මෙන් පොර බැදුවෙම් නම් මට ඇති ප්‍රයෝජනය කුමක් ද? මළවුන් උත්ථාන වීමක් නැත්නම්, එක් කියමනක් පරිදි, “හෙට අප මැරෙන බැවින්, අද කමු, බොමු.”

ද්විතීය නීති සංග්‍රහය 21:20
මෙසේ ගෙනැවිත්, ඔවුන් නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මොහු හිතුවක්කාර, කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබද්දෙකි, නාස්තිකාරයෙකි’යි කිය යුතු ය.

එසකියෙල්ගේ 16:49
නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත.

උත්පත්ති 3:6
ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය.

පිලිප්පි 3:19
ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලො‍් දේ ගැන පමණ ය.

හිතෝපදේශ 23:2
ඔබ කෑදර නම් කෑදරකම දමනය කරගන්න.

හිතෝපදේශ 23:21
මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.

හිතෝපදේශ 28:7
නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි; දාමරිකයන් ඇසුරු කරන්නා තම පියාට නිගාවකි.

ගීතාවලිය 119:70
ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි.

රෝම 13:14
ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.

තීතස් 1:12
“ක්‍රීත වැසියෝ කවදත් බොරුකාරයෝ ය; දරුණු තිරිසන්නු ය; කම්මැලි කෑදරයෝ ය”යි ඔවුන්ගේ ම රට වැසි දිවැසිවරයෙකු කියා ඇත.

හිතෝපදේශ 23:20-21
[20] සුරා සොඬුන් ද මස් මාංසයට කෑදර වූවන් ද ඇසුරු නොකරන්න.[21] මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.

1 කොරින්ති 6:19-20
[19] ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත.[20] ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න.

ගීතාවලිය 115:4-8
[4] ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය. [5] ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි;[6] කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;[7] ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි.[8] ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.

රෝම 14:13-17
[13] එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු.[14] ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය.[15] ඔබ කන කෑමක් නිසා ඔබේ සහෝදරයාට තද සිත් වේදනාවක් ඇති වේ නම්, ඔබේ හැසිරීම ප්‍රේමයෙන් තොර ය. ඔහු උදෙසා ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ බැවින්, ඔබ කන දේ නිසා ඔහු විනාශ වීමට ඉඩ නොහරින්න.[16] ඔබට යහපත සේ පෙනෙන දේ අපවාදයකට හේතුවක් නොවේ වා.[17] දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කා බී ප්‍රීතිවීමක් නොව, යුක්තිය ද සාමය ද ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙන් එන ප්‍රීතිය ද වේ.

ගීතාවලිය 78:26-31
[26] අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක; සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.[27] ඔවුන් පිට දූවිලි මෙන් මස් මාංස වස්වා වදාළ සේක; පියාඹන පක්ෂීන් මුහුදු වැලි මෙන් එවූ සේක.[28] ඔවුන්ගේ කඳවුරු මැදට ඒවා හෙළූ සේක; ඔවුන් වසන තැන් සිසාරා ඒවා වැටෙන්නට සැලැසූ සේක.[29] මෙසේ ඔව්හු කා බී සෑහීමට පත් වූවෝ ය. ඔවුන් ආශා කළ දේ එතුමාණෝ ප්‍රදානය කළ සේක.[30] එහෙත්, ඔවුන්ගේ ආශාව සංසිඳෙන්නත් ප්‍රථම, ඔවුන්ගේ කටේ ආහාර තිබිය දී පවා මැසිවිලි දෙඩීම ඔව්හු නොනැවැත්වූවෝ ය.[31] දේව උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ ඔවුන’තර සිටි සවිමත් දනන් නසා ඉශ්රායෙල් වංශයේ හොඳ ම තරුණ පෙළ වනසාදැමූ සේක.

2 තිමෝති 3:1-9
[1] මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි.[2] ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ,[3] අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති,[4] ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය.[5] දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.[6] මන්ද, මොවුන්ගෙන් සමහරු ගෙවලට ඇතුළු වී, පවින් බර වූ, අනේක කාමතෘෂ්ණාවලින් බැඳුණු[7] නිතර ම ඉගෙනගන්න නමුත් කිසිකලෙක සත්‍යය දැනගන්නට බැරි, ළාමක ස්ත්‍රීන් වසඟ කරගන්න අය වෙති.[8] යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි.[9] එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ. මන්ද, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි.

ගණන් කථාව 11:18-34
[18] සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත.[19] නුඹලා එය දවසක්, දෙකක්, දවස් පහක්, දහයක්, විස්සක් හෝ නොව[20] මුළු මාසයක් ම නාහෙන් කටින් දාන තෙක්, එය අප්‍රිය වන තෙක් කනු ඇත. මන්ද, ඔබ අතර සිටින අය සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, ‘මිසර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන් ද?’ කිය කියා හැඬූ නිසා”යි වදාළ සේක.[21] මෝසෙස් උන් වහන්සේ අමතා, “මා අවට සිටින පාබල සෙනඟ හයදාහකි. ‘මම ඔවුන්ට මුළු මාසයක් ම කෑමට මස් දෙමි’යි ඔබ වදාරන සේක.[22] ඔවුන් උදෙසා එළු බැටළු සහ ගව පට්ටි මැරුවොත්, ඔවුන්ට සෑහේ ද? එසේ නැත්නම් මුහුදේ මසුන් සියල්ල එකට එක්රැස් කළොත් ඔවුන්ට සෑහේ දැ”යි ඇසී ය.[23] එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මාගේ බලයට සීමා තිබේ ද? මා කියන දේ වන්නේ ද නොවන්නේ ද? කියා නුඹ දැන් දකිනු ඇතැ”යි වදාළ සේක.[24] මෝසෙස් නික්ම ගොස් සමිඳාණන් වහන්සේ වදාළ දේ සෙනඟට දන්වා, ප්‍රජා මූලිකයන් හැත්තෑදෙනෙකු කැඳවා, කූඩාරම වටේට ඔවුන් සිටෙව්වේ ය.[25] සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ.[26] එහෙත් මොවුන්ගෙන් දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියහ. එක් කෙනෙකුගේ නම එල්දාද් ය, අනික් තැනැත්තා මේදාද් ය. මොවුහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත්, ආත්මානුභාවය ඔවුන් මත ද පහළ වූයෙන් කඳවුර තුළ ඔව්හු ද දිවැස් වැකි කී හ.[27] එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාද් සහ මේදාද් කඳවුර තුළ දිවැස් වැකි කියන බව මෝසෙස්ට සැළ කෙළේ ය.[28] එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය.[29] මෝසෙස් ඔහුට කතා කොට, “ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.[30] මෙසේ කියා මෝසෙස් සහ ප්‍රජා මූලිකයෝ ආපසු කඳවුරට ගියහ.[31] සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි.[32] සෙනඟ එදින මුළු රෑ සහ දවල් ද, ඊට පසු දින ද වටුවන් එකතු කිරීමෙහි යෙදී සිටියහ. ඉතා අඩුවෙන් ම එකතු කරගත් තැනැත්තා ඒවායින් කිලෝග්‍රෑම් දහසක් එකතු කරගත්තේ ය. ඉන්පසු ඔව්හු කඳවුර වටේට ම උන් ඇතුරුවෝ ය.[33] ඔවුන් ඒ මස් කටට ගෙන, එය විකන්නටත් පෙර සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළී යෑමෙන්, උන් වහන්සේ මහා වසංගතයකින් සෙනඟට පීඩා කළ සේක.[34] තවද, එහි දී කෑදරකම් කළ සෙනඟ වළලන ලද බැවින්, එම ස්ථානයට කෑදරකමේ මිනීවළවල් යන අරුත ඇති කිබ්රොත්-හත්තාවා යන නම තැබී ය.

Sinhala Bible NRSV
Ceylon Bible Society