A A A A A

පව්: [වෛරය]


1 ජොහන් 1:6
එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ.

1 ජොහන් 2:9-17
[9] ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි.[10] සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත.[11] එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.[12] මාගේ ප්‍රියාදර දරුවෙනි, මා ඔබට ලියන්නේ උන් වහන්සේගේ නාමය නිසා ඔබේ පව් කමා කර ඇති බැවිනි.[13] පියවරුනි, මා ඔබට ලියන්නේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයිනි, මා ඔබට ලියන්නේ, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි.[14] දරුවෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ පියාණන් වහන්සේ දන්නා බැවිනි. පියවරුනි, මා ඔබට ලියා එවූයේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ ශක්තිමත් බැවිනුත්, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළ ඇති බැවිනුත්, ඔබ නපුරා දමනය කර ඇති බැවිනුත් ය.[15] මේ ලෝකයට වත්, එහි ඇති දේ වලට වත් ආලය නොකරන්න. යමෙක් ලෝකයට ආලය කරන්නේ ද, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.[16] මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය.[17] ලෝකයත් ලෝකානුරාගයත් පහ වී යන්නේ ය. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදහට ම ජීවත් වන්නේ ය.

එපීස 4:31
තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න.

හිතෝපදේශ 8:13-25
[13] දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.[14] මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත; ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය.[15] මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති; අධිපතීහු සාධාරණ නීති පණවති;[16] මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති.[17] මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත.[18] වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.[19] මාගේ අස්වැන්න රනට, පෙරූ රනට වඩා අගනේ ය; මාගෙන් ලැබෙන සම්පත් හොඳ ම රිදීයට වඩා ශ්‍රේෂ්ඨ ය.[20] මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්[21] ඔවුන්ගේ ගබඩා පුරවා දමිටු මඟෙහි ද යුක්තියේ මංවල ද මම සැරිසරමි.[22] සමිඳාණෝ තමන් මැවූ හැම දෙයට ම පෙර සියලු මැවිලිවල පළමුවැන්නා මෙන් මා මැවූ සේක. [23] දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි.[24] සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.[25] ගිරිකුළු හා කඳුවැටි නියම තැන්වල පිහිටෙන්නට පෙර, මාගේ උපත විය.

හිතෝපදේශ 10:12-18
[12] වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි. [13] නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි.[14] නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.[15] ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.[16] දමිටුන්ගේ විපාකය ජීවනය වේ; අදමිටුන්ගේ විපාකය විනාශය වේ.[17] ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි; අවවාදයට පිටු පාන්නා මුළා වී යයි.[18] බොරු කියන්නා වෛරය උපදවන්නෙකි; කේලාම් පතළ කරන්නා අඥානයෙකි.

ගීතාවලිය 5:5
අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක.

ගීතාවලිය 31:6
බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි.

ගීතාවලිය 36:2
සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.

ගීතාවලිය 45:7
ඔබ යුක්තියට ප්‍රේම කොට, අයුක්තියට ද්වේෂ කරයි. එබැවින් දෙවිඳුන්, ඔබේ දෙවිඳුන්, ඔබ තෝරාගෙන අන් හැමට වඩා ඔබට සව්සිරි දී ඇත.

ගීතාවලිය 97:10
සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක; ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක; දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක.

ගීතාවලිය 119:163
මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.

රෝම 12:9
ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.

ලෙවී ව්‍යවස්ථාව 19:17-18
[17] “නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.[18] කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.

ශුද්ධවර ලූක් 6:27-28
[27] “මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;[28] ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න;

ශුද්ධවර මතෙව් 5:23-24
[23] එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්,[24] පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.

1 ජොහන් 3:14-15
[14] අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බව දනිමු. ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි.[15] තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය.

1 ජොහන් 4:19-20
[19] අප ප්‍රේම කරන්නේ උන් වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ බැවිනි.[20] යමෙක් “මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි”යි කියමින්, තම සහෝදරයාට වෛර කරයි නම්, ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය.

ධර්මදේශකයා 3:1-8
[1] හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත.[2] උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත;[3] මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;[4] අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත;[5] පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත;[6] සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;[7] ඉරාදමන්නට කාලයක් සහ එලලන්නට කාලයක් ඇත; නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත;[8] ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත; යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත.

Sinhala Bible NRSV
Ceylon Bible Society