A A A A A

ජීවිතය: [ධනය]


1 තිමෝති 6:17-19
[17] උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.[18] ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමඟ ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න.[19] මෙසේ කිරීමෙන් ඔව්හු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය. එවිට ඔව්හු නියම සැබෑ ජීවනය ලබා ගන්නෝ ය.

ශුද්ධවර ලූක් 19:1-10
[1] උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක.[2] සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය.[3] ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය.[4] ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.[5] ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක.[6] ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය.[7] ඒ දුටු සියල්ලෝ, “උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය.[8] සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.[9] ජේසුස් වහන්සේ කතා කරමින්, “ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි.[10] මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.

ශුද්ධවර මාක් 4:19
මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති.

ශුද්ධවර ලූක් 18:18-30
[18] එවිට එක් ප්‍රධානියෙක් උන් වහන්සේට කතා කොට, “යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය.[19] ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ‘යහපත් ය’යි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ.[20] කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න. බොරු සාක්ෂි නොකියන්න, නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න යන ආඥා ඔබ දන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.[21] “මේ සියල්ලක් ම මාගේ යොවුන් වියේ පටන් රක්ෂා කෙළෙමි”යි ඔහු කී ය.[22] ජේසුස් වහන්සේ ඒ අසා, “ඔබට තව එක අඩුපාඩුවක් ඇත. ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.[23] එහෙත් ඔහු ඒ කීම අසා අතිශයින් ශෝක විය; එසේ වූයේ ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි.[24] ජේසුස් වහන්සේ ඒ දැක, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කර ද![25] ධනවතෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක.[26] ඒ ඇසූ අය, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,[27] “මනුෂ්‍යයන්ට නොහැකි දේ දෙවියන් වහන්සේට හැකි ය”යි වදාළ සේක.[28] එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය.[29] උන් වහන්සේ කතා කරමින්, “ඇත්තෙන් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය නිසා ගේදොර හෝ භාර්යාව හෝ සොහොයුරන් හෝ දෙමව්පියන් හෝ දූදරුවන් හෝ අත්හළ කවරෙක් වුව ද,[30] මේ යුගයේ දී ම ඊට බොහෝ වැඩියෙන් ද එන යුගයේ දී සදාතන ජීවනය ද ලබන්නේ ම ය”යි වදාළ සේක.

එළිදරව්ව 3:17
‘මම ධනවත් ය, මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැ’යි ඔබ කියන්නහු ය. එහෙත්, ඔබ කාලකණ්ණියෙකි, දුඃඛිතයෙකි, දිළින්දෙකි, අන්ධයෙකි, නග්නය, මේ කිසිවක් ඔබ නොදන්නහු ය.

ශුද්ධවර ලූක් 16:1-3
[1] ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ.[2] එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය.[3] ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි.

ශුද්ධවර මාක් 12:43-44
[43] උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය.[44] ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.

ශුද්ධවර ලූක් 19:1-27
[1] උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක.[2] සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය.[3] ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය.[4] ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.[5] ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක.[6] ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය.[7] ඒ දුටු සියල්ලෝ, “උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය.[8] සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.[9] ජේසුස් වහන්සේ කතා කරමින්, “ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි.[10] මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.[11] ඔවුන් මෙ‍බස් අසා සිටිය දී, උන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය වදාළේ, උන් වහන්සේ ජෙරුසලමට සමීප ව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහා ම එළිදරව් වනු ඇතැ යි ඔවුන් සිතූ බැවිනි.[12] “රදළපෙළෙහි වූ එක් මනුෂ්‍යයෙක් රාජ පදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත් ව ගියේ ය.[13] ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙ‍යින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය.[14] එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.[15] ඔහු රාජ පදවිය ලබා පෙරළා ආ විට, තමා මුදල් දුන් දාසයෝ වෙළහෙළඳාමෙ‍න් කොපමණ උපදවා ගත්තෝ දැ යි දැනගන්නා පිණිස ඔවුන් තමන් වෙත කැඳවන්න අණ කෙළේ ය.[16] පළමුවැන්නා ඔහු ඉදිරියට අවුත්, ‘ස්වාමීනි, ඔබේ එක රන් කාසියෙන් රන් කාසි දසයක් උපදවා ගතිමි’යි කී ය.[17] ඔහු කතා කොට, ‘ඉතා හොඳ ය, යහපත් වූ දාසය, ඔබ ඉතා සුළු දෙයක් ගැන විශ්වාසී වූ බැවින් නගර දසයක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය.[18] දෙවැන්නා ද අවුත්, ‘ස්වාමීනි, ඔබ දුන් රන් කාසියෙන් පහක් උපදවාගතිමි’යි කී ය.[19] එවිට ඔහු, ‘ඔබත් නගර පහක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය.[20] තවත් කෙනෙක් අවුත්, ‘ස්වාමීනි, මෙ‍න්න ඔබේ රන් කාසිය! එය රෙදි කඩක ඔතා තැබීමි.[21] මන්ද, ඔබ නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ දැඩි සිතක් ඇති කෙනෙකු බැවින් ඔබට බිය වූවෙමි’යි කී ය.[22] එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය.[23] එසේ නම් මා ආ විට පොළියත් සමඟ අය කරගනු පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකෙළේ මන් ද?’ කියා,[24] ළඟ සිටියවුන්ට කතා කොට, ‘ඒ කාසිය ඔහුගෙන් ගෙන කාසි දසය ඇත්තාට දෙන්නැ’යි කී ය.[25] එවිට ඔව්හු, ‘ස්වාමීනි ඔහුට කාසි දසයක් ඇතැ’යි කී හ.[26] ‘ඇති හැමට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති අයගෙන් ඇති දෙයත් ගනු ලැබේ ය යි මම ඔබට කියමි.[27] එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”

ශුද්ධවර ලූක් 18:22-23
[22] ජේසුස් වහන්සේ ඒ අසා, “ඔබට තව එක අඩුපාඩුවක් ඇත. ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.[23] එහෙත් ඔහු ඒ කීම අසා අතිශයින් ශෝක විය; එසේ වූයේ ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි.

ශුද්ධවර මාක් 12:41-44
[41] උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ.[42] එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය.[43] උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය.[44] ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.

ශුද්ධවර මතෙව් 25:14-30
[14] “ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා, තමා සතු දේ ඔවුන්ට භාර දී පිටරට බලා ගියේ ය.[15] ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.[16] රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.[17] එලෙස ම රිදී දෙදාහ ලැබූ තැනැත්තේ ද තවත් දෙදාහක් උපදවා ගත්තේ ය.[18] එහෙත් දාහක් ලැබූ තැනැත්තේ ගොස්, පොළොවේ වළක් හාරා, ස්වාමියාගේ මුදල සඟවා තැබී ය.[19] බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා අවුත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලී ය.[20] රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, ‘ස්වාමීනි, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහි ය. මෙන්න, තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි’යි කී ය.[21] ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.[22] රිදී කාසි දෙදාහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ රිදී කාසි දෙදාහක් මට භාර දුන්නෙහි ය; මෙන්න, තවත් රිදී කාසි දෙදාහක් උපදවා ගතිමි’යි කී ය.[23] ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.[24] ඉන්පසු රිදී කාසි එක් දහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ නොවපුළ තැනින් කපන, වගා නොකළ තැනින් පල රැස් කරන, තදහිතක් ඇති මනුෂ්‍යයෙකු බව දැනගතිමි.[25] එබැවින් මම බියෙන් ගොස් ඔබගේ රිදී කාසි පොළොවේ වළක සඟවා තැබීමි. මෙන්න, ඔබ සතුදේ’යි කී ය.[26] ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්, ‘කම්මැලි කපටි දාසය, මා නොවපුළ තැනින් කපාගන්නා බවත්, වගා නොකළ තැනින් පල රැස් කරගන්න, බවත් ඔබ දැන සිටියෙහි ද![27] එසේ නම්, මාගේ මුදල බැංකුවේ තැන්පත් කළ යුතු ව තිබුණේ ය. එසේ කෙළේ නම්, මා ආ විට මගේ මුදල පොළියත් සමඟ ලබාගන්න පුළුවන්කම තිබිණි.[28] එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි පන්දාහ ඇති තැනැත්තාට දෙන්න.[29] යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; ඔහුට පමණටත් වඩා ලැබේ. යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකත් ගනු ලැබේ.[30] මේ පලක් නැති දාසයා පිටත අන්ධකාරයට නෙරපාදමන්න. එහි දී වැලපීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි කියනු ඇත.”

ශුද්ධවර මතෙව් 13:22
පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.

හිතෝපදේශ 13:22
සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.

හිතෝපදේශ 3:9-10
[9] ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.[10] එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.

හිතෝපදේශ 10:4
අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.

හිතෝපදේශ 18:11
පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.

හොසියා 12:8
එසේ වුව ද, “අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති.

සෙකරියා 14:14
ජුදා සෙනඟ පවා ජෙරුසලමේ සිට සටන් කරනු ඇත. ඔව්හු අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදී ද වස්ත්‍ර ද මහා රාශියක් එකතු කරගන්නෝ ය.

ධර්මදේශකයා 5:19
තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥා විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි.

ධර්මදේශකයා 6:2
මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි.

ද්විතීය නීති සංග්‍රහය 8:18
ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.

හිතෝපදේශ 10:22
සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.

ගීතාවලිය 37:16-17
[16] දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත.[17] දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත.

හිතෝපදේශ 15:16-17
[16] කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.[17] වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.

ද්විතීය නීති සංග්‍රහය 8:17-18
[17] ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න.[18] ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.

හිතෝපදේශ 10:15
ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.

ගීතාවලිය 39:4-6
[4] “සමිඳුනි, මාගේ අවසානය කවදා එයි ද? මාගේ ආයු ප්‍රමාණය කොතරම් ද? මා කොතරම් බෙලහීන දැ යි දැනගැනීමට මට සැලසුව මැනව.”[5] අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි! ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද? දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.[6] හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.

ධර්මදේශකයා 5:8-17
[8] දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත.[9] මහ රජුගේ පවා ජීවිතය රඳා ඇත්තේ, කෙතේ අස්වනු පිට ය.[10] ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි.[11] වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය.[12] කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත.[13] මේ මිනිස් ලොවෙහි මහා අසාධාරණ දෙයක් ඇත.[14] එනම්, දුෂ්කර කාලයක දී ප්‍රයෝජනයට ගැනීමට මිනිසෙකු රැස්කර තබන වස්තුව යම් අභාග්‍යයකින් නැති වී, ඔහුගේ දූදරුවන්ට කිසිවක් නැති වී යාම ය.[15] ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත.[16] මෙය ද අයුක්තියකි; ඔහු ආ ලෙස ම ඔහු යන්නේ ය. සුළං රොදක් ඇල්ලීමට ඔහු ගන්න වෙහෙසින් ඔහුට ඇති ප්‍රයෝජනය කවරේ ද?[17] ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත.

ගීතාවලිය 49:10-20
[10] පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත.[11] වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.[12] කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.[13] තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ.[14] ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.[15] එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.[16] යමෙකු පොහොසත් වන විට, ඔහුගේ යස ඉසුරු වැඩි වන විට බිය නොවන්න.[17] මියයන විට, ඔහු ඉන් කිසිවක් ගෙනයන්නේ නැත; ඔහුගේ යස ඉසුරු ඔහු කැටුව මිනී වළට නොයනු ඇත.[18] මිනිසෙක් සිය ජීවිත කාලයේ දී තෘප්තියට පත් වී සිටියත්, තමන් ගැන පුරසාරම් දෙඩුවත්, ඔහුගේ දියුණුව ප්‍රශංසාවට ලක් වූවත්,[19] ඔහු තම මුතුන්මිත්තන් මෙන් මිය යන්නේ ය; එහි සදහට ම අඳුර පවතින්නේ ය.[20] කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.

ගීතාවලිය ५२:७
“දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”

ධර්මදේශකයා ५:१०
ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි.

2 වංශාවලියේ 1:11-12
[11] දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා,[12] ප්‍රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.

1 රාජාවලියේ 3:11-13
[11] දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්,[12] බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි.[13] ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞ‍රවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි.

හිතෝපදේශ 28:8
වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ.

ගීතාවලිය 112:1-3
[1] සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.[2] ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.[3] සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය.

ශුද්ධවර මතෙව් 6:33
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.

ශුද්ධවර මතෙව් 6:24
“ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”

හිතෝපදේශ 21:5
හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.

ද්විතීය නීති සංග්‍රහය 15:11
දිළින්දෝ කවරදාත් දේශයෙහි සිටින්නෝ ය. එබැවින් රටෙහි සිටින දිළින්දා සහ අගහිඟකම් ඇති ඔබේ සහෝදරයන් කෙරෙහි ත්‍යාගශීලී වන ලෙස මම ඔබට අණ කරමි.”

1 කොරින්ති 16:2
සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.

1 පේදුරු 5:2
ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව, සේවයට ළැදියාවෙන් එසේ කරන්න.

ශුද්ධවර ලූක් 16:19-31
[19] “අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.[20] ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී.[21] ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය.[22] ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය.[23] ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක,[24] මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙ‍නි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය.[25] එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙ‍හි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය.[26] එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය.[27] එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙ‍නි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති;[28] ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි’යි කී ය.[29] එහෙත්, ආබ්‍රහම් කතා කොට: ‘මෝසෙස් සහ දිවැසිවරයෝ ඔවුන්ට සිටිති. ඔව්හු ඔවුන්ට සවන් දෙත් වා’යි කී ය.[30] ඔහු කතා කොට, ‘එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙ‍නි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ’යි කී ය.[31] ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.”

1 තිමෝති 6:10
මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.

ශුද්ධවර ලූක් 6:20
එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.

හිතෝපදේශ 22:7
පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.

ශුද්ධවර මතෙව් 6:19-21
[19] “මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවො‍් ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.[20] එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති.[21] ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.”

Sinhala Bible NRSV
Ceylon Bible Society