A A A A A

ජීවිතය: [කාන්තාවන් සඳහා පද]


ගීතාවලිය 46:5
දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.

ගීතාවලිය 139:14
මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.

1 තිමෝති 3:11
එසේ ම ස්ත්‍රීවරුන් ද, ගෞරවය ලැබීමට සුදුසු වූ, ඕපාදූප නොකියන, තැන්පත්, විශ්වාස කටයුතු අය විය යුතු ය.

1 කොරින්ති 11:12
ස්ත්‍රිය පුරුෂයාගෙන් මවනු ලැබුවාක් මෙන් පුරුෂයා උපත ලබන්නේ ස්ත්‍රියගෙන් ය. සියල්ල දෙවියන් වහන්සේගෙන් ය.

1 කොරින්ති 15:10
එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය.

ශුද්ධවර ලූක් 1:45
සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.

හිතෝපදේශ 11:16
විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි; එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටෙක මුදල් නැත; උත්සාහවන්තයා ධනවත් වෙයි.

හිතෝපදේශ 14:1
නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.

හිතෝපදේශ 19:13
අනුවණ පුතා පියාගේ විනාශය වේ. බැණ වදින බිරිඳ නොනැවතී වහින වැස්සකි.

හිතෝපදේශ 21:9
කලහකාරී බිරිඳක සමඟ ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳ ය.

හිතෝපදේශ 21:19
බැණ වදින, දබරකාරී බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳ ය.

1 පේදුරු 3:1-2
[1] එසේ ම භාර්යාවෙනි, ඔබගේ ස්වාමි පුරුෂයන්ට යටත් වන්න. එවිට ඔවුන්ගෙන් සමහරෙක් සුබ අස්න නොඅදහන්නන් වුවත්,[2] ඔබගේ නිර්මල, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත.

එපීස 5:22-23
[22] භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න.[23] මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක.

හිතෝපදේශ 31:16-17
[16] ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි.[17] ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි.

තීතස් 2:3-5
[3] එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නො වූ, යහපත් දේ උගන්වන අය විය යුතු ය.[4] මෙසේ විය යුතු වන්නේ, දේව වචනයට අපහාසයක් නොවන පිණිස, සිය පුරුෂයන්ටත්, දරුවන්ටත් ප්‍රේම කරමින්,[5] ආත්ම දමනය ඇති, නිර්මල ගෘහණියන් ලෙස, කරුණාවන්ත ව, සිය ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටීමට යෞවන භාර්යාවන් පුහුණු කරවනු පිණිස ය.

උත්පත්ති 2:18-24
[18] පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක.[19] මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය.[20] මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය.[21] එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක.[22] උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක.[23] එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය.[24] මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.

1 තිමෝති 2:9-15
[9] එසේ ම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද, රන් මුතු අබරණ ද, මිල අධික වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳගත යුතු යි.[10] ඔවුන්ගේ ආභරණය විය යුත්තේ භක්තිමත් ස්ත්‍රීන්ට ඔබින යහපත් ක්‍රියා කිරීම ය.[11] ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා.[12] ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි.[13] මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ.[14] තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය.[15] එහෙත් ඇදහිල්ලෙන් ද ප්‍රේමයෙන් ද ශුද්ධකමින් ද විනීත ලෙස ජීවත් වුවොත්, ඈ නිරුපද්‍රිතව දරුවන් ලබන්නී ය.

හිතෝපදේශ 31:1-31
[1] මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය:[2] මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න.[3] ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.[4] ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි.[5] සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති.[6] මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය; සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය.[7] එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා.[8] තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න.[9] ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.[10] කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.[11] සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.[12] දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය.[13] ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි.[14] ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.[15] ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි.[16] ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි.[17] ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි.[18] සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි; රෑ යාමවල ඇගේ පහන නොනිවී දැල්වෙයි.[19] ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි.[20] ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත; එය යාචකාදීන් වෙත විදහා ඇත.[21] හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත; පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත.[22] ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි; ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත.[23] ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි.[24] ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි.[25] ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත.[26] ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.[27] ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.[28] ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.[29] “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි.[30] රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.[31] ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.

Sinhala Bible NRSV
Ceylon Bible Society