A A A A A

හොඳ චරිතයක්: [ධෛර්යය / නිර්භීතකම]


1 වංශාවලියේ 28:20
තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.

1 කොරින්ති 15:58
එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.

ද්විතීය නීති සංග්‍රහය 31:6-8
[6] ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.”[7] ඉන්පසු මෝසෙස් ජෝෂුවා කැඳවා මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී ඔහුට කතා කොට, “ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට මේ සෙනඟ සමඟ ඔබ යා යුතු ය. ඔබ ඔවුන්ට එරට උරුම කර දිය යුතු ය.[8] ඔබට පෙරටුවෙන් යන්නේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බිය නොවන්න; නොකැළඹෙන්නැ”යි කීවේ ය.

එපීස 6:10
අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න.

යෙසායා 54:4
බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.

ශුද්ධවර ජොහන් 14:27
“ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න.

ගීතාවලිය 27:1
දාවිත්ගේ ගීතයකි. හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.

ගීතාවලිය 56:3-4
[3] අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.[4] මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?

2 තිමෝති 1:7
දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය.

ජෝෂු 1:9-11
[9] ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”[10] එවිට ජෝෂුවා සෙනඟගේ නිලධාරීන් අමතා,[11] “ඔබ කඳවුර මැදින් ගොස් සෙනඟට කතා කොට, ‘දෙවි සමිඳාණන් වහන්සේ උරුමය වශයෙන් ඔබට දෙන දේශය හිමි කරගැනීමට තව දවස් තුනකින් ඔබ හැම මේ ජොර්දාන් ගඟින් එතෙර යන හෙයින් ඒ සඳහා කෑම සූදානම් කරගන්න’ කියා අණ කරන්නැ”යි කීවේ ය.

යෙසායා 41:10-13
[10] බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.[11] “නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය.[12] නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය.[13] මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”

1 කොරින්ති 16:13
සෝදිසියෙන් ඉන්න, ඇදහිල්ලෙහි ස්ථිර වන්න. වීරවන්ත ව සිටින්න. ශක්තිසම්පන්න වන්න.

ගීතාවලිය 27:14
සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.

හිතෝපදේශ 3:5-6
[5] හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.[6] හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.

ගීතාවලිය 23:1-4
[1] දාවිත්ගේ ගීතයකි. සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.[2] එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා, [3] මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.[4] මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.

ශුද්ධවර මාක් 5:36
එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, “බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක.

පිලිප්පි 1:28
ඔබේ විරුද්ධවාදීන්ට අභීත ව මූණ පාන බව ද, ඇසීමට මට හැකි වනු ඇත. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක් ද ඔබට විමුක්තියේ ලකුණක් ද ලෙස දෙවියන් වහන්සේගෙන් ම පැමිණෙන්නේ ය.

ගීතාවලිය 112:7
ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.

ජෝෂු 1:6
ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.

ගීතාවලිය 31:24
සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.

Sinhala Bible NRSV
Ceylon Bible Society