A A A A A

හොඳ චරිතයක්: [විශ්වාසය]


යෙසායා 12:2
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”

යෙසායා 26:3-4
[3] තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.[4] සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.

යෙසායා 41:10
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.

ජෙරමියා 29:11
නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

ශුද්ධවර ජොහන් 10:10
සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.

ශුද්ධවර ජොහන් 14:1
“ඔබේ සිත් නොකැළඹේ වා! දෙවියන් වහන්සේ අදහාගන්න මා ද අදහාගන්න.

ජෝෂු 1:9
ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”

පිලිප්පි 4:19
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.

හිතෝපදේශ 29:25
මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි.

ගීතාවලිය 9:10
ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.

ගීතාවලිය 20:7
සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.

ගීතාවලිය 28:7
සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.

ගීතාවලිය 32:10
දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත. එහෙත්, හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටියි.

ගීතාවලිය 37:5
ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත.

ගීතාවලිය 46:10
නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;

ගීතාවලිය 118:8
මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.

ගීතාවලිය 143:8
උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි.

රෝම 8:28
තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.

රෝම 15:13
තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක් වා.

ගීතාවලිය 56:3-4
[3] අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.[4] මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?

ගීතාවලිය 62:7-8
[7] මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.[8] ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.

ගීතාවලිය 91:1-2
[1] පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.[2] ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.”

ගීතාවලිය 112:6-7
[6] මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.[7] ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.

1 ජොහන් 5:14-15
[14] උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය.[15] ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.

ගීතාවලිය 46:1-2
[1] කෝරාගේ පුත්‍රයන්ට යි. දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.[2] මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,

හිතෝපදේශ 3:5-6
[5] හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.[6] හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.

ශුද්ධවර මතෙව් 6:25-26
[25] “එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද?[26] අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද?

ජෙරමියා 17:7-8
[7] සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන, සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි.[8] ඔහු, ගං ඉවුරේ සිටුවා ඇති, ගඟට ම මුල් ඇද ඇති; ගිම්හානයට කිසි බියක් නැති; කොළ පර වී යාමක් නැති; නියඟ කාලය ගැන කරදර නැති; නොනැවතී දිගට ම පලදාවක් ඇති ගසක් හා සමාන වේ.

ජෝෂු 1:5-9
[5] දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.[6] ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.[7] මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.[8] මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත.[9] ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”

Sinhala Bible NRSV
Ceylon Bible Society