A A A A A

පල්ලිය: [නමස්කාරය]


2 වංශාවලියේ 16:23-31
[23] ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.[24] සමිඳාණන් වහන්සේ ජුදා රට අවට දේශවල සියලු රාජ්‍යයන් භීතියට පත් කළ නිසා, ඔව්හු ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධ නොකළෝ ය.[25] පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් ජෙහෝෂාපාට්ට තෑගි ද රිදී ද කප්පම් පිණිස ගෙනාවෝ ය. අරාබිවරු ද බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් ද යන සිවුපාවුන් ගෙනාවෝ ය.[26] ජෙහෝෂාපාට් අතිශයින් උතුම් ව ජුදාහි බලකොටු ද ගබඩා-නගර ද ගොඩනැඟුවේ ය.[27] ඔහුට ජුදා නගරවල බොහෝ බලකොටු තිබුණේ ය. යුද්ධයට බලවත්, වික්‍රමාන්විත මනුෂ්‍යයෝ ද ජෙරුසලමෙහි සිටියෝ ය.[28] ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේ ය: ජුදාවරුන් අතර සහශ්‍රාධිපතියෝ නම්, අධිපතියා වන අද්නා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝ ය.[29] ඊළඟට අධිපතියා වූ ජෙහෝහානාන් ය. ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂ අසූදාහක් සිටියෝ ය.[30] ඊළඟට සිටියේ, කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේගේ සේවයට බාර වූ ශික්රීගේ පුත් අමසියා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝ ය.[31] ඊළඟට සිටියේ බෙන්ජමින්වරුන් අතර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු වූ එල්යාදා ය. ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධ වූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝ ය.

දානියෙල් 2:20
මෙසේ කීවේ ය: “දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මන්ද, ප්‍රඥාවත්, බලයත් එතුමන් සතු ය.

ද්විතීය නීති සංග්‍රහය 10:21
ඔබ ප්‍රශංසා කළ යුත්තේ, බල බලා සිටිය දී ම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ, ඔබේ දෙවියන් වහන්සේට ය.

ජෙරමියා 20:13
සමිඳුන්ට ගී ගයන්න; එතුමාණන් පසසන්න. මන්ද, එතුමාණෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක.

ගීතාවලිය 75:1
ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි. දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු.

නික්මයාම 20:2-6
[2] “වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.[3] “මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.”[4] “නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න.[5] නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.[6] එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.

ශුද්ධවර ජොහන් 4:21-24
[21] ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය.[22] ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.[23] එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය.[24] දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක.

ගීතාවලිය 99:1-9
[1] සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.[2] සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක.[3] අති උතුම් තෙද බලැති එතුමන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය. එතුමාණෝ සුවිශුද්ධ වන සේක.[4] අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක, ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක; ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක.[5] අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක.[6] එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.[7] වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක. එතුමන් ඔවුන්ට දුන් අණපණත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය. [8] අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක. ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක.[9] අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.

ද්විතීය නීති සංග්‍රහය 29:18
මෙදින අප දෙවියන් වහන්සේ අත්හැර දමා මේ ජාතීන්ගේ දෙවිදේවතාවන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කරනු සඳහා සිත වෙනස් කරගත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ද පවුලක් හෝ ගෝත්‍රයක් ද ඔබ අතර නොසිටින හැටියටත්, තිත්ත වහ ගෙඩි හටගන්වන ගහක මුලක් ඔබ අතර නොවන හැටියටත් ප්‍රවේසම් විය යුතු ය.

රෝම 12:1-2
[1] සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.[2] ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.

1 සාමුවෙල් 15:22
සාමුවෙල් පිළිතුරු දෙමින්, “හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය.

එළිදරව්ව 4:8-11
[8] ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, “වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.[9] ඒ ජීවමාන සත්ත්වයන් සිංහාසනයෙහි වැඩ හිඳින, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට ප්‍රශංසාව ද ගෞරවය ද ස්තුතිය ද දෙන හැම විට ම,[10] කුලදෙටුවෝ විසිහතර දෙනා ද, සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔව්හු සිය ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:[11] “අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය. මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක. ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේ ය”යි කියන්නාහ.

යෙසායා 29:13
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.

ගීතාවලිය 29:1-11
[1] දාවිත්ගේ ගීතයකි. දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න; එතුමන් තෙද බල පසසන්න.[2] හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.[3] සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.[4] සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.[5] සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි.[6] ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.[7] සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි;[8] සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.[9] සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි.[10] සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.[11] සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.

හෙබ්‍රෙව් 12:28-29
[28] එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු.[29] මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.

නෙහෙමියා 9:5-6
[5] පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේ ය, සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවා”යි කී හ.[6] එස්රා මෙසේ යාච්ඤා කෙළේ ය: “ඔබ ම, ඔබ පමණක් ම සමිඳාණන් වහන්සේ ය. ඔබ ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද එහි සියලු ග්‍රහතාරකා ද පොළොව සහ එය මතුපිට ඇති සියල්ල ද සත් සමුදුර සහ එහි ඇති සියල්ල ද මැවූ සේක. ඔබ ම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ග්‍රහතාරකාවෝ ද ඔබට නමස්කාර කරති.

ගීතාවලිය 86:9-10
[9] මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය. [10] ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය.

2 රාජාවලියේ 17:38-39
[38] මා නුඹලා සමඟ කළ ගිවිසුම මතක නැති නොකරන්න. වෙන දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා,[39] නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්න. උන් වහන්සේ නුඹලාගේ සියලු සතුරන් අතින් නුඹලා ගළවනු ඇතැ”යි වදාළ සේක.

ගීතාවලිය 100:1-5
[1] මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.[2] සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.[3] සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.[4] තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.[5] මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.

දානියෙල් 3:16-18
[16] ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත.[17] රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක.[18] රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.”

එළිදරව්ව 14:7
ඔහු මහ හඬින් මෙසේ කී ය: “දෙවියන් වහන්සේට බිය වී උන් වහන්සේට ගෞරව කරන්න. මන්ද, උන් වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත්, මුහුද හා දිය උල්පතුත් මවා වදාළ තැනැන් වහන්සේට නමස්කාර කරන්න.”

Sinhala Bible NRSV
Ceylon Bible Society