A A A A A

පල්ලිය: [උපමාවන් යේසුස්ගෙන්]


ශුද්ධවර මතෙව් 5:14-16
[14] “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය.[15] මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි.[16] එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”

ශුද්ධවර මතෙව් 7:1-5
[1] “විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය.[2] ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.[3] ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද?[4] නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැ’යි ඔහුට කියන්නේ කොහොම ද?[5] කෛරාටිකය, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.

ශුද්ධවර මතෙව් 9:16-17
[16] “තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ.[17] නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.”

ශුද්ධවර මතෙව් 12:24-30
[24] එවිට පරිසිවරු ඒ අසා, “මොහු දුෂ්ටාත්මාධිපතියා වන බෙල්සෙබුල්ගේ අනුහසින් මිස වෙන විධියකින් දුෂ්ටාත්මයන් දුරු නොකරති”යි කී හ.[25] උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යය වැනසී යයි; යම් නුවරක් හෝ යම් ගෙදරක් හෝ ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒවා නොපවතියි.[26] සාතන් විසින් ම සාතන් දුරු කරනු ලැබේ නම්, ඔහු ඔහුට ම විරෝධී ව භේද වී සිටියි. එසේ නම්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද?[27] මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් නම්, ඔබේ ම අනුගාමිකයන් දුෂ්ටාත්මයන් දුරු කරන්නේ කවරෙකුගේ අනුහසින් ද? මේ අනුව ඔව්හු ම ඔබේ තර්කය බිඳදමති.[28] එහෙත්, මම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කෙරෙම් නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒකාන්තයෙන් ම ඔබ කෙරේ උදා වී තිබේ.[29] “තවද, බලවතෙකු පළමු කොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද, වස්තුව කොල්ලකන්ට කිසිවෙකුට හැකි වේ ද? ඔහු බැඳදැමූ පසු ඔහුගේ ගෙය කොල්ලකන්නේ ය.[30] මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.

ශුද්ධවර මතෙව් 13:1-23
[1] එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක.[2] අතිවිශාල සමූහයක් උන් වහන්සේ වෙත රැස් වූ බැවින් උන් වහන්සේ ඔරුවකට නැඟී හිඳගත් සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ.[3] උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: “බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය.[4] ඔහු වපුරන කල මෙසේ සිදුවිය: බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ.[5] සමහරක් පස තුනී ගල් බිම්වල වැටී, පස ගැඹුරු නුවූ බැවින් වහා ම පැළ විය.[6] එහෙත්, හිරු නැඟුණු කල, ඒවා දැවී මුල් නැති බැවින් වියළී ගියේ ය.[7] අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය.[8] තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය.[9] සවන් ඇත්තෝ සවන් දෙත් වා!”[10] එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැ”යි ඇසූ හ.[11] උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.[12] යමෙකුට ඇත්තේ ද ඔහුට දෙනු ලැබේ; පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේ ද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ.[13] එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි.[14] මෙසේ, යෙසායාගේ දිවැස් කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත. එනම්: ‘ඔබ අස අසාත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් නොදක්නහු ය.[15] මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.[16] එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය.[17] සැබැවින් ම මම ඔබට කියමි, බොහෝ දිවැසිවරයන් ද දැහැමි අය ද ඔබ දකින දේ දකින්ටත්, අසන දේ අසන්ටත් ආසා වූ නමුත්, ඔවුන් ඒවා දුටුවේ වත්, ඇසුවේ වත් නැත.”[18] “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න.[19] යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.[20] පණිවුඩය ඇසූ කෙණෙහි ම එය සතුටින් පිළිගනිතත්, සිත්හි තැන්පත් වී නැති බැවින්, මඳ කලක් පැවත, පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහා ම කෙනෙක් පැකිළී වැටෙති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.[21] ***[22] පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.[23] පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.”

ශුද්ධවර මතෙව් 13:24-30
[24] උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක:[25] “ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.[26] තිරිඟු පැල නැඟී, කරල් හටගත් කල කිරිඳිත් මතු විය.[27] එවිට ගෘහ මූලිකයාගේ දාසයෝ අවුත්, ‘ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේ ද? එසේ නම් කිරිඳි කොහෙන් දැ’යි ඔහුගෙන් ඇසූ හ.[28] ‘මෙය සතුරෙකුගේ වැඩක් ය’යි ඔහු කී ය. එවිට දාසයෝ කතා කොට, ‘එසේ නම්, අප ගොස් ඒවා උදුරාදමන්න දැ’යි ඔහුගෙන් ඇසූ හ.[29] එහෙත්, ඔහු උත්තර දෙමින්, ‘එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන.[30] ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”

ශුද්ධවර මතෙව් 13:31-32
[31] උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි තවත් උපමාවක් වදාරමින්, “ස්වර්ග රාජ්‍යය මෙබඳු ය. එක්තරා මිනිසෙක් සිය කෙතෙහි අබ ඇටයක් වපුළේ ය.[32] එය සියලු ම බීජවලට වඩා කුඩා වුවත්, වැඩුණු කල හැම පලා වර්ගවලට වඩා විශාල වී, අහසේ කුරුල්ලන් අවුත් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේ ය”යි කී සේක.

ශුද්ධවර මතෙව් 13:33-34
[33] උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.[34] ජේසුස් වහන්සේ මේ සියල්ල ජනකායට උපමා මඟින් පැවසූ සේක. උපමාවක් නැති ව කිසිවක් ඔවුන්ට නොවදාළ සේක.

ශුද්ධවර මතෙව් 13:44
“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය.

ශුද්ධවර මතෙව් 13:45-46
[45] “ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමාන ය.[46] ඉතා අගනා මුතු ඇටයක් සම්බ වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේ ය.

ශුද්ධවර මතෙව් 13:47-50
[47] “ස්වර්ග රාජ්‍යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය.[48] ඒ දැල පිරුණු කල, ධීවරයෝ එය වෙරළට ඇද, හිඳගෙන, හොඳ මසුන් භාජනවලට එකතු කොට නරක මසුන් ඉවත දැමූ හ.[49] යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට,[50] අදමිටුන් ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.

ශුද්ධවර මතෙව් 15:10-20
[10] උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න.[11] මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක.[12] එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබගේ ඒ කීම අසා, පරිසිවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.[13] උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය.[14] පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.[15] එවිට පේදුරු කතා කොට, “මේ උපමාව අපට පහදා දුන මැනවැ”යි උන් වහන්සේට කී ය.[16] උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද?[17] කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?[18] එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය.[19] නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.[20] මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේවලින්. එහෙත්, අත් නොසෝදා කෑමෙන් මිනිසා කෙලෙසනු නොලබන්නේ ය.”

ශුද්ධවර මතෙව් 18:10-14
[10] “මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.[11] මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය.[12] “ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද?[13] සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේ ය.[14] එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.”

ශුද්ධවර මතෙව් 18:23-35
[23] “මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය.[24] ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය.[25] ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.[26] එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය.[27] ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.[28] එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.[29] එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය.[30] එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.[31] ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ.[32] එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි.[33] මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය.[34] ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය.[35] ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”

ශුද්ධවර මතෙව් 20:1-16
[1] උන් වහන්සේ මෙසේ ද වදාළ සේක: “ස්වර්ග රාජ්‍යය වූකලී තමාගේ මිදි වත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක් දිනක් අලුයම පිටත් ව ගිය ඉඩම් හිමියෙකුට සමාන ය.[2] ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය.[3] උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක,[4] ‘ඔබත් මිදි වත්තට යන්න, සෑහෙන කුලියක් ඔබට දෙමි’යි කී ය.[5] ඔව්හු වැඩට ගියහ. නැවත මද්දහනේ දී ද අපර භාග තුනට පමණ ද ඔහු පිටත් ව ගොස් එසේ ම කෙළේ ය.[6] සවස පහට පමණ ද පිටත් ව ගොස් එහි තවත් අය සිටිනු දැක, ‘ඔබ මෙතැන දවස තිස්සේ නිකම් සිටින්නේ මන්දැ’යි ඔවුන්ගෙන් ඇසී ය.[7] ‘කිසිවෙකු අප වැඩට නොගත් නිසා ය’යි ඔව්හු කී හ. ‘ඔබත් මිදි වත්තට යන්නැ’යි ඔහු ඔවුන්ට කී ය.[8] “සවස් වූ කල මිදි වත්ත හිමියා සිය කළමනාකාරයාට කතා කොට, ‘කුලීකරුවන් කැඳවා අන්තිමට ආ අයගෙන් පටන්ගෙන පළමු වැන්නා දක්වා ඔවුන් හැමට කුලිය ගෙවන්නැ’යි කී ය.[9] එවිට සවස පහට පමණ වැඩට ආ අය අවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූ හ.[10] මුලින් ම වැඩට ගිය අය ආ විට තමන්ට ඊට වැඩියෙන් ලැබෙනු ඇතැයි සිතූ හ. එහෙත්, ඔව්හු ද එක එක මිනිසා රිදී කාසියක් බැගින් ලැබූ හ.[11] එසේ ලැබූ ඔව්හු ඉඩම් හිමියාට විරුද්ධ ව දොස් කියමින්,[12] ‘මේ අන්තිමට ආ අය වැඩ කෙළේ එක පැයක් පමණි. එහෙත්, අවු රස්නය නොබලා මුළු දවසේ ම වෙහෙස මහන්සි වූ අපටත් ඔබ රිදී කාසියක කුලිය ම ගෙවන්නෙහි ය’යි කී හ.[13] එහෙත්, ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින්, ‘යහළුව, මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මා සමඟ රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේ ද?[14] ඔබට දුන් කුලිය රැගෙන යන්න; ඔබට ගෙවූ ලෙස ම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්ත ය.[15] මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.[16] මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝ ද ප්‍රථමයෝ අන්තිමයෝ ද වන්නෝ ය.”

ශුද්ධවර මතෙව් 21:28-32
[28] තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින්, “ඔබ මේ ගැන කුමක් සිතන්නහු ද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ; ඔහු වැඩිමලා ළඟට ගොස්, ‘දරුවා යන්න; අද මිදි වත්තේ වැඩ කරන්නැ’යි කී ය.[29] ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය.[30] පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේ ම කී ය. ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, යමි’යි කී ය, එහෙත් නොගියේ ය.[31] ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ”යි ඇසූ සේක. “වැඩිමලා”යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති.[32] මන්ද, ජොහන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේ ය. ඔබ ඔහු විශ්වාස කෙළේ නැත. එහෙත්, අයකැමියෝත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු ය”යි වදාළ සේක.

ශුද්ධවර මතෙව් 21:33-45
[33] ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය.[34] අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය.[35] එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ.[36] යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ.[37] අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය.[38] එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට,[39] ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ.[40] එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?”[41] ඔව්හු කතා කොට, “ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ.[42] ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?[43] එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය.[44] මේ ගල පිට වැටෙන්නා සුණු විසුණු වී යන්නේ ය. එහෙත්, එය යමෙකු පිට වැටුණොත්, එය ඔහු ධූලිමෙන් පොඩි කර දමන්නේ ය.”[45] නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන,

ශුද්ධවර මතෙව් 22:1-14
[1] යළිත්, උන් වහන්සේ සෙනඟට කතා කරමින් උපමා මඟින් මෙසේ වදාළ සේක:[2] “ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය.[3] ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ.[4] යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය.[5] එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ.[6] සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ.[7] රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.[8] එවිට ඔහු තම දාසයන්ට කතා කොට, ‘මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති.[9] එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය.[10] ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය.[11] එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක,[12] ‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය.[13] එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය.[14] මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”

ශුද්ධවර මතෙව් 24:32-35
[32] “අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ යයි ඔබ දන්නහු ය.[33] එලෙස ම ඔබත් මේ සියල්ල සිදුවනු දකින විට උන් වහන්සේ දොරකඩ ම යයි දැන ගන්න.[34] සැබැවින් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ වී නොයන්නේ ය.[35] අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”

ශුද්ධවර මතෙව් 24:45-51
[45] “තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද?[46] ස්වාමියා ආ කල යම් දාසයෙකු සිය සේවයෙහි යෙදී සිටිනු දුටුවොත්, ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය.[47] සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය.[48] එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා,[49] තම දැසිදසුන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්,[50] ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී, ඔහුගේ ස්වාමියා අවුත්,[51] ඔහුට දරුණු ලෙස දඬුවම් කර, කෛරාටිකයන්ට නියමිත තැන ඔහුටත් නියම කරනු ඇත. එහි දී වැලපීමත් දත්මිටිකෑමත් වන්නේ ය.”

ශුද්ධවර මතෙව් 25:1-13
[1] “ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමඟට යුවතියෝ දස දෙනෙක් ගියෝ ය.[2] ඔවුන් අතරෙන් පස් දෙනෙක් නුවණ නැති අය ය; පස් දෙනෙක් නුවණ ඇති අය ය.[3] නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත.[4] එහෙත්, නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ බඳුන්හි තෙල් ගෙන ගියහ.[5] මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝ ම නිදිබර වී නිදාගත්හ.[6] “මධ්‍යම රාත්‍රියේ ‘අන්න, මනාලයා! ඔහු පෙරමඟට යන්නැ’යි හඬක් විය.[7] එවිට ඒ සියලු යුවතියෝ නැඟිට සිය පහන්වල තිර සකස් කළහ.[8] එකල නුවණ නැති අය, ‘අපේ පහන් නිවීගන යයි, ඔබගේ තෙල්වලින් ටිකක් අපට දෙන්නැ’යි නුවණ ඇති අයට කී හ.[9] එහෙත්, නුවණ ඇති අය, ‘එසේ කළ නොහැක; අප දෙගොල්ලන්ට ම සෑහෙන තරම් තෙල් මෙහි නැත; එබැවින් වෙළෙඳුන් වෙත ගොස් ඔබ ම මිල දී තෙල් ගන්නැ’යි පිළිතුරු දුන්හ.[10] ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී.[11] “පසුව අනිත් යුවතියෝ අවුත්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපට දොර ඇරිය මැනවැ’යි කී හ.[12] එහෙත් මනාලයා ‘මම ඔබ කිසි සේත් නොහඳුනමි’යි පිළිතුරු දුන්නේ ය.[13] එබැවින් දවස වත්, පැය වත් ඔබ නොදන්න නිසා අවදි ව ඉන්න.”

ශුද්ධවර මතෙව් 25:14-30
[14] “ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා, තමා සතු දේ ඔවුන්ට භාර දී පිටරට බලා ගියේ ය.[15] ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.[16] රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.[17] එලෙස ම රිදී දෙදාහ ලැබූ තැනැත්තේ ද තවත් දෙදාහක් උපදවා ගත්තේ ය.[18] එහෙත් දාහක් ලැබූ තැනැත්තේ ගොස්, පොළොවේ වළක් හාරා, ස්වාමියාගේ මුදල සඟවා තැබී ය.[19] බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා අවුත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලී ය.[20] රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, ‘ස්වාමීනි, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහි ය. මෙන්න, තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි’යි කී ය.[21] ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.[22] රිදී කාසි දෙදාහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ රිදී කාසි දෙදාහක් මට භාර දුන්නෙහි ය; මෙන්න, තවත් රිදී කාසි දෙදාහක් උපදවා ගතිමි’යි කී ය.[23] ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.[24] ඉන්පසු රිදී කාසි එක් දහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ නොවපුළ තැනින් කපන, වගා නොකළ තැනින් පල රැස් කරන, තදහිතක් ඇති මනුෂ්‍යයෙකු බව දැනගතිමි.[25] එබැවින් මම බියෙන් ගොස් ඔබගේ රිදී කාසි පොළොවේ වළක සඟවා තැබීමි. මෙන්න, ඔබ සතුදේ’යි කී ය.[26] ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්, ‘කම්මැලි කපටි දාසය, මා නොවපුළ තැනින් කපාගන්නා බවත්, වගා නොකළ තැනින් පල රැස් කරගන්න, බවත් ඔබ දැන සිටියෙහි ද![27] එසේ නම්, මාගේ මුදල බැංකුවේ තැන්පත් කළ යුතු ව තිබුණේ ය. එසේ කෙළේ නම්, මා ආ විට මගේ මුදල පොළියත් සමඟ ලබාගන්න පුළුවන්කම තිබිණි.[28] එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි පන්දාහ ඇති තැනැත්තාට දෙන්න.[29] යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; ඔහුට පමණටත් වඩා ලැබේ. යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකත් ගනු ලැබේ.[30] මේ පලක් නැති දාසයා පිටත අන්ධකාරයට නෙරපාදමන්න. එහි දී වැලපීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි කියනු ඇත.”

Sinhala Bible NRSV
Ceylon Bible Society