Instagram
English
A A A A A

නරක චරිතය: [පළිගැනීම / පළිගැනීම]


1 පේදුරු 3:9
නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න.

1 තෙසලෝනික 5:15
කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.

2 කොරින්ති 13:11
ඉතින් සහෝදරවරුනි, ආයුබෝවන්. පරිපූර්ණත්වය සොයා යන්න; මාගේ අවවාද සිතට ගන්න; එක්සිත් වන්න; සාමදානයෙන් සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිටින සේක.

2 තෙසලෝනික 1:8
එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක.

ද්විතීය නීති සංග්‍රහය 32:35
ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ.

හෙබ්‍රෙව් 10:30
මන්ද; “පළිගැනීම මා සතු ය, විපාක දෙන්නේ මම ය”යි ද, “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන සේකැ”යි ද, වදාළ තැනැන් වහන්සේ අපි දනිමු.

ලෙවී ව්‍යවස්ථාව 19:18
කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.

ශුද්ධවර මාක් 11:25
ඔබ නැඟිට යාච්ඤා කරන විට කිසිවෙකුට විරුද්ධ ව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිස ය.

හිතෝපදේශ 10:12
වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි.

හිතෝපදේශ 20:22
නපුරට නපුර කරමි යි නොකියන්න, සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න, එතුමාණෝ නුඹ සුරකින සේක.

හිතෝපදේශ 24:29
“ඔහු මට කළ දේ ම මමත් ඔහුට කරමි; ඔහු කළ දෙයට සෑහෙන පළියක් ගනිමි”යි නොකියන්න.

රෝම 12:18-19
[18] ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න.[19] මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.

රෝම 13:4
මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි.

ශුද්ධවර මතෙව් 18:21-22
[21] එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, “ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.[22] ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.

ගීතාවලිය 94:1-2
[1] සමිඳුනි, ඔබ වරදට දඬුවම් දෙන දෙවි කෙනෙකි; ඔබේ උදහස පෙන්නුව මැනව.[2] ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව.

ශුද්ධවර මතෙව් 5:38-39
[38] “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.[39] එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.

ශුද්ධවර ලූක් 6:27-28
[27] “මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;[28] ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න;

එපීස 4:31-32
[31] තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න.[32] එකිනෙකා කෙරෙහි කරුණාව ද දයානුකම්පාව ද ඇති ව සිට, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න.

1 පේදුරු 2:21-23
[21] ඔබ කැඳවනු ලැබූයේ මේ සඳහා ය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වද විඳ, ඔබ උන් වහන්සේගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දුන් සේක.[22] උන් වහන්සේ කිසි පවක් නොකළ සේක. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක.[23] උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.

හිතෝපදේශ 25:20-22
[20] දුකින් පෙළෙන කෙනෙකුට මියුරු ගීයක් ගැයීම තුවාළයක් මත විනාකිරි දැමීමත් සීත දවසක ඔහුගේ කබාය ගැලවීමත් සමාන ය.[21] ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න; පිපාසා නම් බොන්න වතුර ටිකක් දෙන්න; [22] මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත. සමිඳුන් ඔබට විපාක දෙනු ඇත.

රෝම 12:17-21
[17] කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.[18] ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න.[19] මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.[20] මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.”[21] නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.

ශුද්ධවර මතෙව් 5:40-45
[40] යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.[41] හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න.[42] ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.”[43] “ ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත.[44] එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.[45] මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.

Sinhala Bible NRSV
Ceylon Bible Society