A A A A A

අතිරේක: [Evil]


1 කොරින්ති 13:6
it does not rejoice at wrongdoing, but rejoices with the truth.

1 ජොහන් 5:19
අප දෙවියන් වහන්සේට අයිති බවත්, මුළු ලෝකය නපුරාට යටත් බවත් දනිමු.

1 රාජාවලියේ 14:9
නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය.

1 රාජාවලියේ 17:13
එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.

1 පේදුරු 3:9
නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න.

1 සාමුවෙල් 12:20
එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: “බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.

1 සාමුවෙල් 15:23
මන්ද, කැරලිකාරකම අනවින කිරීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමාන ය. ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන් වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ”යි කීවේ ය.

1 තෙසලෝනික 5:22
සියලු ආකාර නපුරෙන් වළකින්න.

2 වංශාවලියේ 29:6
මන්ද, අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, උන් වහන්සේ අත්හැර උන් වහන්සේගේ වාසස්ථානය වෙතින් අහක් වී උන් වහන්සේට පිටු පෑවෝ ය.

2 තිමෝති 2:22
යොවුන් වියේ ඇති වන කාමතෘෂ්ණාවලින් ඉවත් වී, පිරිසිදු සිතින් සමිඳාණන් වහන්සේගේ නම අමතන අය සමඟ දමිටුකමත්, විශ්වාසයත්, ප්‍රේමයත්, සාමයත් සොයා යන්න.

යෙසායා 5:20
නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!

යෙසායා 32:6
අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි; ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත.

ශුද්ධවර ජොහන් 3:20
නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති.

වීරාවලිය 2:19
එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය.

ජෝබ් 4:8
මා දැක ඇති ලෙස නම්, අදමිටුකම සී සාමින් අයුක්තිය වපුරන අය, ඒවා ම නෙළා ගනිති.

හිතෝපදේශ 3:7
ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න.

හිතෝපදේශ 4:16
නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.

හිතෝපදේශ 8:13
දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.

හිතෝපදේශ 10:29
සමිඳුන්ගේ මඟ අවංක අයට බලකොටුවකි; අයුතුකම් කරන්නන්ට එය මහ විපතකි.

හිතෝපදේශ 12:20
නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත; සාම සම්මන්ත්‍රණ කරන්නන්ට ප්‍රීතිය ඇත.

ගීතාවලිය 7:14
එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.

ගීතාවලිය 28:3
සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.

ගීතාවලිය 37:9
නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.

ගීතාවලිය 50:19
නුඹේ කට නපුරට පාවා දී ඇත; නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය.

ගීතාවලිය 73:7
ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය.

ගීතාවලිය 141:4
මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.

රෝම 6:12
ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුලු ශරීරයෙහි පාපය රජකම් නොකෙරේ වා.

රෝම 12:21
නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.

ශුද්ධවර මාක් 7:21-22
[21] ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්,[22] සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි.

ශුද්ධවර මතෙව් 12:34-35
[34] එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.[35] යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි.

ජාකොබ් 1:13-14
[13] පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත.[14] ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය.

ජාකොබ් 3:6-8
[6] දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි.[7] සියලු ආකාර වන මෘගයන් ද කුරුල්ලන් ද උරග ජාතීන් ද මුහුදු සතුන් ද පෙර මෙන් දැනුත්, මිනිසාට දමනය කළ හැකි ය.[8] එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි.

රෝම 2:29-32
[29] සැබෑ ජුදෙව්වා හඳුනාගනු ලබන්නේ අභ්‍යන්තර ලක්ෂණවලිනි. සැබෑ චර්මඡේදනය ද වනාහි සිතේ පවතින දෙයකි; එය නීතිගත දෙයක් නොව, ආධ්‍යාත්මික දෙයකි. එවැනි ජුදෙව්වෙකුට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසාගෙන් නොව, දෙවියන් වහන්සේගෙන් ය.[30] එසේ නම්, ජුදෙව්වාට විශේෂ වාසියක් ඇද් ද? චර්මඡේදනයෙන් පලක් ඇද් ද?[31] එසේ ය, බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින් ම කිව යුතු ය.[32] හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම්, ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ ද?

රෝම 2:8-12
[8] ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි.[9] ජුදෙව්වා වේවා, ග්‍රීකයා වේවා, නපුර කරන කා හට වුවත්, පළමුකොට ජුදෙව්වාට ද, දෙවනු ව ග්‍රීකයාට ද ප්‍රතිවිපාකය, පීඩාව හා සිත් වේදනාව වන්නේ ය.[10] යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්‍රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය.[11] දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක.[12] මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර ව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන් ම විනිශ්චය කරනු ලබති.

එපීස 6:12-16
[12] මන්ද, අපගේ සටන, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය.[13] එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න.[14] එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න.[15] සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න.[16] තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඬලන්නට ඔබට හැකි වන්නේ ය.

හිතෝපදේශ 14:16-22
[16] ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.[17] වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.[18] අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි; එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.[19] නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති; දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.[20] දිළින්දාට කිසි ම හිතවතෙක් නැත; පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.[21] කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.[22] නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.

රෝම 7:19-25
[19] මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි.[20] ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය.[21] එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්‍රතිපත්තියක් මට පෙනේ.[22] මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි.[23] එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්‍රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියයන් තුළ ඇති බව මට පෙනේ.[24] අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද?[25] අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! කොටින් කියතොත්, මනසින් මා දේව ආඥාව පිළිගනිතත්, මිනිස් ගතිය අනුව මා යටත් ව සිටින්නේ පාප ආඥාවට ය.

ශුද්ධවර මතෙව් 13:36-43
[36] එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.[37] උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය;[38] කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය.[39] ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නෝ නම් දේව දූතයෝ ය.[40] කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය.[41] මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,[42] ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.[43] එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”

හිතෝපදේශ 6:12-19
[12] සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි.[13] ඔහු සිය දෙනෙතින් ඉඟි කරයි, දෙපයෙන් හැඟුම් දක්වයි, ඇඟිලිවලින් සංඥා කරයි.[14] ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.[15] එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.[16] සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.[17] අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද[18] දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද[19] මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්.

උත්පත්ති 6:1-8
[1] එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ.[2] මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ.[3] එවිට සමිඳාණන් වහන්සේ, “මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක.[4] ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.[5] මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට[6] මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.[7] එබැවින් උන් වහන්සේ, “මා විසින් මවන ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම ගැන මම තැවෙමි”යි වදාළ සේක.[8] එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය.

1 තිමෝති 6:2-10
[2] කිතුනු ස්වාමිවරුන් ඇති දාසයෝ, ඔවුන් දෙගොල්ල ම සහෝදරයන් වන නිසා, තම ස්වාමිවරුන් සුළු කොට නොසැලකිය යුත්තෝ ය. එසේ නොකර, තමන්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාමිවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතු ය. කවර හෙයින් ද? ඔවුන් ද තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි. ඔබේ ඉගැන්වීම් වල දී මේ කාරණා තරයේ කියන්න.[3] යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින්, අපගේ වැඩදායක ධර්මය වන, අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වචනවලටත්, විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධ ව යන්නේ නම්, ඔහු අඥානයෙකි;[4] උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද[5] මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.[6] ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි.[7] අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය.[8] කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි.[9] ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.[10] මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.

ගීතාවලිය 34:13-21
[13] එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය.[14] නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.[15] හිමි තුමන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.[16] පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.[17] දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.[18] හිමි තුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක; තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.[19] දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමි තුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.[20] එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක; [21] දුෂ්ටයා නපුරෙන් වැනසෙයි. දැහැමි අයට දෙස් තබන්නෝ දඬුවම් ලබන්නෝ ය.

ගීතාවලිය 52:1-9
[1] දාවිත්ගේ සංගීතයකි. ඒදොමිය ජාතික දොවෙග් නමැත්තා පැමිණ, “දාවිත් අබිමෙලෙක්ගේ ගෙදරට ඇතුළු වී ය”යි සාවුල්ට දැන් වූ පසු දාවිත් විසින් ලියන ලද්දකි. එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.[2] දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.[3] යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය. ඇත්තට වඩා බොරුවට ඔබ ප්‍රිය වන්නෙහි ය.[4] එම්බා කපටි දිව! විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්‍රිය වන්නෙහි ය.[5] දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.[6] එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය; ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය:[7] “දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”[8] මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.[9] ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි.

ධර්මදේශකයා 9:3-12
[3] මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ඉරණමක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය.[4] ජීවත් වන සියල්ලන්ට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳ ය.[5] මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.[6] ප්‍රේමය ද වෛරය ද ඊර්ෂ්‍යාව ද යන කිසිවක් ඉතිරි වී නැත. මින්පසු මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.[7] ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත.[8] නිතර ම සුදු වස්ත්‍ර හැඳ, හිසේ තෙල් ගා ප්‍රීතියෙන් ඉන්න.[9] උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ.[10] ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.[11] මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.[12] තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.

ගීතාවලිය 10:2-12
[2] අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති; එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති.[3] දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.[4] දුදනා උඩඟුකම නිසා දෙවිඳුන් සොයා නොයයි. ‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනය යි.[5] ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.[6] ඔහු තමා හට මෙසේ කියාගනියි: “නොවැටෙමි මම කවදාවත්; කිසි විපතක් නැත මා හට.”[7] සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ. නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි. [8] ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය කපා කොටයි; පිහිටක් නැති අසරණයින් එන තුරු ඔහු මාන බලයි.[9] ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත; දිළිඳු දනන් ඩැහැගනු ඇත; මරු දැල දා ඇදගනු ඇත.[10] සුදනා පහර ලබා, බිම වැටී, ගුළි ගැසී සිටියි; ඒ අසරණ අය දුදනන්ගේ අතට අසු වී සිටිති.[11] “දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.[12] සමිඳුනි, අවදි වන්න; ඔබ අත ඔසවා මුදාගන්න; දිළිඳු අය සිහි කරන්න.

හිතෝපදේශ 16:17-27
[17] නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.[18] විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.[19] උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.[20] දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත.[21] සිතෙහි ප්‍රඥාව ඇත්තා නැණවතෙකි; සිය මියුරු බසින් අන් අය නම්මා ගනියි.[22] නුවණැත්තාගේ ප්‍රඥාව ඔහුට ජීවන උල්පතකි. එහෙත් අනුවණයාට ඉගැන්වීමෙන් වැඩක් නැත.[23] නැණවතා කතාවට පෙර සිතා බලයි; ඔහු පවසන දෙයින් දැනුම දියුණු වෙයි.[24] ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය,[25] මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය. [26] සාගින්න කම්කරුවා වැඩට යවයි; සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.[27] දුදනා නපුරු කටකතා පතුරුවයි: ඔහුගේ දිව, දැවෙන ගින්නකි.

ගීතාවලිය 36:1-12
[1] සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි. දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.[2] සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.[3] ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.[4] ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.[5] සමිඳුනි, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.[6] ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.[7] ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද? නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.[8] ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති; ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.[9] ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු.[10] ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව.[11] උඩඟු අය මට පහර නොදෙත් වා! නපුරු අය මා පලවා නොහරිත් වා![12] දුදනෝ බිමට වැටී පෙරළී සිටිති. ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.

හිතෝපදේශ 1:8-19
[8] මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.[9] ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.[10] මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:[11] “අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.[12] පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත.[13] නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු.[14] එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.”[15] මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.[16] ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.[17] කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත.[18] මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති.[19] අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ.

යෙසායා 59:4-15
[4] යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,[5] මකුළු දැල් වියන සේ උපායයන් යොදන්නෝ ය. පොළොං බිජු අනුභව කරන්නෝ නසින්නෝ ය. බිජුවක් බිඳින විට එයින් තවත් පොළඟෙක් නික්ම එයි.[6] එහෙත්, ඒ උපායයන් ඇඳුම් සඳහා මකුළු දැල් වියාගැනීමක් මෙන් නිෂ්ඵල ය. නුඹලාගේ වැඩ අපරාධ වැඩ ය. නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහු ය.[7] නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ. [8] සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති.[9] සෙනඟ මෙසේ කියති: “යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු. අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය; දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය.[10] අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු. ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.[11] අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.[12] සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු.[13] අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.[14] යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත.[15] සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”

ජෙරමියා 18:8-20
[8] ඒ ජාතිය තමන්ගේ අදමිටුකමින් හැරුණොත්, මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.[9] එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල,[10] ඒ ජාතිය මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කළහොත්, මා එයට කරන්න අදහස් කළ යහපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.[11] එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.[12] එහෙත් ඔවුන්, ‘එයින් වැඩක් නැත; අපේ ම අභිප්‍රායයන් ලෙස අපි හැසිරෙමු, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස ක්‍රියා කරන්නෙමු’යි පිළිතුරු දෙනු ඇත.[13] “එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.[14] ලෙබනොන්හි උස් කඳුවල හිම නැති වන කලක් ඇද් ද? කඳුකරේ ගලා එන සිසිල් දිය දහර සිඳී යන කලක් ඇද් ද?[15] එහෙත්, මාගේ සෙනඟ මා අමතක කර ඇත. ඔව්හු දේව රූපවලට සුවඳ දුම් අල්ලති; ඔවුන්ගේ පැරණි ගමන් මාර්ගයෙහි ඔව්හු පැකිළී වැටෙති; මහ මඟ නොව, අතු පාරවල ගමන් කරති.[16] මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.[17] පෙරදිග සුළඟකින් මෙන් සතුරන් ඉදිරියෙහි මම ඔවුන් විසුරුවා හරින්නෙමි. මාගේ මුහුණ හරවාගෙන ඔවුන්ගේ විපත් සමයෙහි ඔවුන්ට පිටුපා යන්නෙමි.”[18] එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.[19] එවිට ජෙරමියා සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “සමිඳුනි, මාගේ සතුරන්ට විරුද්ධ ව කියන දේට සවන් දෙන්න. මාගේ පැමිණිල්ල අසන්න;[20] යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව.

හිතෝපදේශ 11:6-27
[6] අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.[7] දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි; අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි.[8] ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත.[9] අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.[10] දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි.[11] අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි.[12] සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.[13] කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි.[14] දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති; එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ.[15] නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි.[16] විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි; එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටෙක මුදල් නැත; උත්සාහවන්තයා ධනවත් වෙයි.[17] කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.[18] දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය.[19] දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති.[20] වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි.[21] දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය; එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත.[22] ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.[23] දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ; දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත.[24] කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.[25] ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.[26] අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත; එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.[27] යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි; එහෙත් නපුර සොයන්නා නපුර ම ලබයි.

ජෝබ් 15:1-35
[1] ඊට පිළිතුරු වශයෙන් තේමානීය එලිපස් මෙසේ කී ය:[2] “සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?[3] ඔහු නිෂ්ඵල වචන හා වැඩක් නැති කතාවලින් තර්ක කරනු ඇද් ද?[4] ඔබ දේව භක්තිය ඉවත ලා දෙවිඳුන් ඉදිරියෙහි භාවනා නවත්වා ඇත.[5] ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි. චාටු කතාවලින් ඔබ නිවැරැදි වන්න සොයයි.[6] ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ; මම නොවෙමි. ඔබේ ම මුඛය ඔබට විරුද්ධ ව සාක්ෂි දරයි.[7] “මෙලොව උපන් පළමු වන මිනිසා ඔබ යයි ඔබ සිතන්නෙහි ද? ඔබ කඳු හෙල්වලට පෙර බිහි වුණෙහි ද?[8] දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද? මිනිස් ප්‍රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද?[9] අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද? අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?[10] ඔබේ පියාට වඩා වයෝවෘද්ධ, කෙස් පැසුණු පැරැන්නෝ අප අතර සිටිත්.[11] දෙවිඳාණන් ඔබ සවනතට මෘදු ලෙස කොඳුරා කියන අස්වැසිලි වදන් ඔබ අගේ නොකරන්නෙහි ද?[12] ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද? ඔබේ දෙනෙත ගිනි පුපුරු මෙන් දිළිසෙන්නේ මන් ද?[13] දෙවිඳුන්ට විරුද්ධ ව නැඟී සිට මෙවැනි වචන ඔබ දොඩන්නේ මන් ද?[14] පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද? මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද? [15] දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක; සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත.[16] එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?[17] “මට සවන් දෙන්න. මම කරුණු පහදා දෙමි. අත්දැකීමෙන් ලත් මාගේ දැනුම විස්තර කරමි.[18] ප්‍රාඥයෝ සිය මුතුන්මිත්තන්ගෙන් අසා දැනගත් දෙය නොවළහා පවසති.[19] දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි; පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ.[20] දුෂ්ටයා ජීවිතයේ සියලු දවස්වල ද සාහසිකයා දිවි ඇති තාක් ද දුක් වේදනාවෙන් පෙළෙනු ඇත.[21] බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි. සුව සේ සිටින විට පවා සොර සතුරෝ ඔහුට පහර දෙති.[22] අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.[23] ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.[24] අඳුරු දවස ඔහු බිය ගන්වයි. සටනට සැරසුණු බලවත් නිරිඳෙකු මෙන් විපත්තිය හා වේදනාව ඔහුට පහර දෙයි.[25] මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය; සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.[26] සිය දැවැන්ත පලිහ ඔසවාගෙන හිතුවක්කාරකමින් එතුමන්ට විරුද්ධ ව දිව ගියේ ය.[27] ඔහුට තරබාරුකමින් පිපුණ මුහුණක් ද තරකමින් නෙරා ගිය තුනටියක් ද ඇත.[28] ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය; ගරා වැටුණු ගෙවල වාසය කෙළේ ය; ඒවා ගල් ගොඩවල් බවට පත් වන්නේ ය.[29] එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය; ඔහුගේ වස්තුව නොපවතින්නේ ය, මෙලොව ඔහුට ස්ථිර ජීවිතයක් නැත.[30] ඔහු දුක ‘ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.[31] දුෂ්ටකමෙහි විශ්වාසය තැබීමෙන් ඔහු තමා ම රවටා ගනියි. මෙසේ දුෂ්ටකම ඔහුගේ දුර්විපාකය වනු ඇත.[32] ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත.[33] ඔහු, පැසෙන්නට පෙර ගෙඩි වැටී යන මිදි වැලක් ද මල් පර වී වැටෙන ඔලීව ගසක් ද වැනි ය.[34] මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත. අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.[35] අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය. මොවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”

Sinhala Bible NRSV
Ceylon Bible Society