A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 8

යෙසායා 7:1-25
1. තවද උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ ආහාස්ගේ දවස්වලදී සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ, ඉශ්‍රායෙල්හි රජවූ පෙකාද යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට ආවෝය; නුමුත් ජයගන්ට නොහැකි වූවෝය.
2. සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනඟගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.
3. එකල ස්වාමීන්වහන්සේ යෙසායාට කථාකොට: ඔබ සහ ඔබේ පුත්‍රවූ ෂෙයාර්-යාෂුබ් ආහාස් සම්බවෙන්ට අපුල්ලන්නන්ගේ පිටියේ මාවතෙහි ඉහළ පොකුණේ කාණුවේ කෙළවරට ගොස් ඔහුට කථාකොට:
4. ඔබ භය නොවී නිශ්චලව සිටින්ට බලාගන්න; දුම්නගින ඒ ගිනිපෙනෙලි දෙකෙළවරවූ රෙශීන් සහ සිරියවරුන්ගෙත් රෙමලියාගේ පුත්‍රයාගෙත් තද කෝපය නිසා ඔබේ සිත දුර්වල නොවේවා.
5. සිරියවරුද එප්‍රායිම්ද රෙමලියාගේ පුත්‍රයාද කථාකොට:
6. අපි යූදාට විරුද්ධව ගොස්, ඊට පීඩාකර, ඒක බිඳගන ඇතුළුවී, ඒ මැද ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකොට තබමුව කියා ඔබට විරුද්ධව නපුරක් යොදාගත් බැවින්,
7. ඒක ස්ථිර නොවන්නේය, සිද්ධ නොවන්නේයයි ස්වාමීවූ දෙවියන්වහන්සේ කියනසේක.
8. මක්නිසාද සිරියේ ඉස නම් දමස්කයේ, දමස්කයේ ඉස නම් රෙශීන්ය. තව හැටපස් අවුරුද්දකින් එප්‍රායිම් සෙනඟක්ව නොසිටින හැටියට සුනුවිසුණු කරනු ලබන්නේය.
9. එප්‍රායිම්ගේ ඉස නම් සමාරියය, සමාරියේ ඉස නම් රෙමලියාගේ පුත්‍රයාය. ඔබ සැම විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම ඔබ සැම ස්ථිර නොවන්නහුයයි ඔහුට කියන්නැයි කීසේක.
10. ස්වාමීන්වහන්සේ තවදුරටත් ආහාස්ට කථාකොට:
11. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් ඔබට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක.
12. නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය.
13. එවිට ඔහු කථාකොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න; ඔබ සැම මාගේ දෙවියන්වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද?
14. එබැවින් ස්වාමීන්වහන්සේ ම ඔබ සැමට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.
15. ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය.
16. මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් ඔබ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය.
17. එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ ඔබ පිටටත් ඔබේ සෙනඟ පිටටත් ඔබේ පිය වංශය පිටටත් පමුණුවනසේක.
18. ඒ දවසෙහි, ස්වාමීන්වහන්සේ මිසරයේ ගංගාවල් අසබඩ ඉන්න මැස්සන්ටත් අෂූර් දේශයෙහි ඉන්න මීමැස්සන්ටත් සංඥාකර හඬගසාගන්නවා ඇත. උන් සියල්ලෝම ඇවිත්,
19. පාළු මිටියාවත්වලද පර්වත විවරවලද සියලු කටු ගස්වලද සෑම ගොදුරු බිම්වලද රඳන්නෝය.
20. ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවට එගොඩින් කුලියට ගත් දැළිපිහිය වන අෂූර්හි රජු ලවා හිසේද පාදවලද කේශ කපාදමනවා ඇත. රැවුලත් එයින් සිඳදමනු ලබන්නේය.
21. ඒ දවසෙහි මනුෂ්‍යයෙක් තරුණ එළදෙනකුත් බැටළුවන් දෙන්නෙකුත් තබාගන, උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේය.
22. මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මීපැණිත් කන්නෝය.
23. ඒ දවසෙහි රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම ඉඩම්වල කටු ගස්ද ගොකටුද හටගන්නවා ඇත.
24. එහි යන තැනැත්තා ඊගස්ද දුනුද ඇතුව යා යුතුය; මක්නිසාද දේශය මුළුල්ලෙහි කටු ගස්ද ගොකටුද ඇතිවන්නේය.
25. උදැල්ලෙන් කොටන සියලු කඳුවලට වුවත් කටුගස්වලට සහ ගොකටුවලට භය නිසා ඔබ නොයන්නෙහිය, එය වනාහි ගවයන් දක්කා හරින්නාවූ බැටළුවන් පාගන්නාවූ ස්ථානයක් වන්නේය.

යෙසායා 8:1-22
1. ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් ‍ මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න.
2. මමද විශ්වාස සාක්ෂිකාරයින් වන උරියා පූජකයාත් යෙබෙරෙකියාගේ පුත්‍රවු සෙකරියාත් සාක්ෂියට ගන්නෙමියි කීසේක.
3. මම අනාගතවක්ත්‍රිය කරා ගියෙමි; ඈ ගර්භිණීව පුත්‍රයෙකු වැදුවාය. එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට මහෙර්-ෂාලාල්-හාෂ්-බස් යන නම තබන්න.
4. මක්නිසාද: තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේයයි කීසේක.
5. ස්වාමීන්වහන්සේ නැවතත් මට කථාකොට:
6. මේ සෙනඟ හෙමින් බැස යන්නාවූ ෂිලොවාහි ජලය එපාකොට රෙශීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින්,
7. බලව, ස්වාමීන්වහන්සේ අෂූර්හි රජද ඔහුගේ මුළු තේජසද වන ගංගාවේ බලවත්වූ බොහෝවූ ජලයන් ඔවුන් පිටට පමුණුවනසේක. ඒක එහි සියලු පාරවලින් පිටතට පැමිණ, එහි සියලු ඉවුරු උඩින් ගලා ඇවිත්,
8. යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් ඔබේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.
9. ජනයෙනි, ඝෝෂාකරන්න, ඔබ සැම කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, ඔබ සැම කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, ඔබ සැම කැබලිකරනු ලබන්නහුය;
10. ඔබ සැම එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.
11. තවද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයක් ඇතුව මට කථාකොට, මේ සෙනඟගේ මාර්ගයෙහි නොයන හැටියට මට දැනමුතුකම් දෙමින්, මෙසේ කීසේක:
12. මේ සෙනඟ විසින් ද්‍රෝහිකාරකමය කියන සියල්ලට ඔබ සැම ද්‍රෝහිකාරකමයයි නොකියන්න; ඔවුන් භයවන දේට භයනොවෙන්න, තැති නොගන්න.
13. සේනාවල ස්වාමීන්වහන්සේ ම ශුද්ධයයි සලකන්න; ඔබ සැම භයවෙන්ටත් තැතිගන්ටත් ඕනෑ උන්වහන්සේ ඉදිරියෙහි පමණක්ය.
14. උන්වහන්සේ ශුද්ධස්ථානයක් පිණිස වනසේක, එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට බාධාවීමේ ගලක්ව, පැකිලීමේ පර්වතයක්ව, යෙරුසලමේ වැසියන්ට උගුලක්ව, මලපතක්ව සිටිනසේක.
15. බොහෝ දෙනෙක්ද එහි වැටී, පොඩිවී, මලපතට වැටී, අසුවෙනවා ඇත.
16. ඔබ සාක්ෂිය බැඳ, ව්‍යවස්ථාව මුද්‍රාකර, මාගේ ගෝලයන් අතරේ තබන්නැයි කීසේක.
17. මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.
18. බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.
19. ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි ඔබ සැමට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.
20. ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.
21. ඔව්හු අමාරුවට වැටී, බඩගිනිව, රටෙහි ඔබ මොබ යන්නෝය. ඔවුන්ට බඩගිනිවන විට තරහවී, තමුන්ගේ රජුටද තමුන්ගේ දෙවියන්වහන්සේටද දෙස් කියා උඩ බලන්නෝය.
22. ඔව්හු පොළොව දෙසත් බලන්නෝය, එහි විපතද අන්ධකාරයද ශෝකයේ අඳුරද තිබේ;

ගීතාවලිය 105:37-45
37. තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනාසේක. උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය.
38. ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය. මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන භයක් පැමිණ තිබුණේය.
39. උන්වහන්සේ ආවරණය පිණිස වලාකුළක්ද රාත්‍රියේදී එළිය දීමට ගින්නක්ද විදහා තැබූසේක.
40. ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.
41. උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.
42. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.
43. උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
44. ඔවුන් උන්වහන්සේගේ පනත් රක්ෂාකරන පිණිසත්, උන්වහන්සේගේ ව්‍යවස්ථා පවත්වන පිණිසත්,
45. උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන්සේක; ඔව්හු මනුෂ්‍ය වර්ගයන්ගේ උත්සාහයේ ලාභය අයිතිකරගත්තෝය. ස්වාමීන් ට ප්‍රශංසාකරව්.

හිතෝපදේශ 24:30-34
30. අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි;
31. එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
32. එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.
33. තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි
34. කියන ඔබට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

1 කොරින්ති 16:1-24
1. ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස ඔබ සැමත් කරන්න.
2. මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා ඔබ සැමගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.
3. මා ආවාම ඔබ සැම දෙන දේ යෙරුසලමට ගෙනයන පිණිස සුදුස්සෝයයි ඔබ සැම සිතන තැනැත්තන් ලියුම් ඇතුව යවන්නෙමි.
4. මාත් යෑම යෝග්‍ය නම් ඔවුන් කැඳවාගන යන්නෙමි.
5. මම මකිදෝනිය මැදින් ගිය පසු ඔබ සැම ළඟට එන්නෙමි; මක්නිසාද මකිදෝනිය මැදින් යමි.
6. මා යන කොයි දිශාවට නුමුත් මාගේ ගමනෙහි ඔබ සැම මා යවන පිණිස, ඔබ සැම සමඟ කලක් නවතින්නෙමි. නොහොත් ශීත කාලය ගතකරන්නෙමි.
7. මා දැන් යන ගමෙන්දී ඔබ සැම දකින්ට නොකැමැත්තෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ අවසර දෙනසේක් නම්, ඔබ සැම සමඟ කලක් සිටින්ට බලාපොරොත්තුවෙමි.
8. නුමුත් පෙන්තකොස්තය වෙන තුරු එපීසයෙහි නවතින්නෙමි;
9. මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති.
10. තිමෝතියස් ආවොත් ඔහු භය නැතුව ඔබ සැම අතරෙහි සිටින හැටියට බලාගන්න; මක්නිසාද මා වාගේම ඔහුත් ස්වාමීන්වහන්සේගේ වැඩය කරන්නේය.
11. එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.
12. සහෝදරවූ අපොල්ලොස් ගැන නම්, සහෝදරයන් සමඟ ඔබ සැම ළඟට යන ලෙස මම ඔහුගෙන් බොහෝකොට ඉල්ලමි. නුමුත් දැන්ම යෑම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවේ; අවකාශ ලැබුණු විටක ඔහු එනවා ඇත.
13. අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.
14. ඔබ සැම කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.
15. සහෝදරයෙනි, ස්තේපනස්ගේ ගෙයි වැසියන් අකායෙහි ප්‍රථම ඵල බවද ඔවුන් ශුද්ධවන්තයන්ගේ සේවයට භාරවුණ බවද ඔබ සැම දනීහුය.
16. ඔබ සැමත් එවැනි අයටද වැඩට හවුල්වෙමින් වීර්යකරන්නාවූ සියල්ලන්ටද යටත්ව සිටින ලෙස ඔබ සැමගෙන් ඉල්ලමි.
17. ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද ආකායිකස්ගේද ඊම ගැන ප්‍රීතිවෙමි. ඔබ සැම නැති පාඩුව ඔව්හු පිරිමැසුවෝය.
18. මක්නිසාද ඔව්හු මාගෙත් ඔබ සැමගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය. එබැවින් එබඳු අය සලකන්න.
19. ආසියාවේ සභාවෝ ඔබ සැමට ආචාර කරති. අකිලාද ප්‍රිස්කාද ඔවුන්ගේ ගෙදර තිබෙන සභාව සමඟ ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට බොහෝසෙයින් ආචාරකරති.
20. සියලු සහෝදරයෝ ඔබ සැමට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
21. පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය.
22. යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.
23. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය ඔබ සැම සමඟ වේවා.
24. මාගේ ප්‍රේමය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැම සියල්ලන් සමඟ වේවා. ආමෙන්.