A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 7

යෙසායා 5:1-30
1. මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව මාගේ ප්‍රේමවන්තයා උදෙසා ගීතිකාකරන්නෙමි. මාගේ ප්‍රේමවන්තයාට ඉතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණේය.
2. ඔහු ඒක වටකොට අගළක් කපා, ගල් අහක්කොට, ඉතා හොඳ මිදිවැල් හිටුවා, එහි මැද මුරකොටුවක් ගොඩනගා එහි මිදි යන්ත්‍රයක් සාදා, හොඳ මුද්‍රික ඵල හටගන්නවා ඇත කියා බලාසිටියේය. නුමුත් හටගත්තේ වල් මිදි ඵලය.
3. ඉතින්, යෙරුසලමේ වැසියෙනි, යූදාහි මනුෂ්‍යයෙනි, මා සහ මාගේ මිදිවත්ත අතරේ විනිශ්චයකරන්න.
4. මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?
5. ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය ඔබ සැමට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.
6. මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
7. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ ගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.
8. දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ!
9. සැබවින්ම මහත්වූ අලංකාරවූ බොහෝ ගෙවල් වැසියන් නැතුව පාළුවන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කන්වලට කියනසේක.
10. අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.
11. මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ!
12. ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ ගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.
13. එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.
14. එබැවින් මිනීවළ ස්වකීය ආශාව අධික කොට, ප්‍රමාණයක් නැතුව කට ඇරගත්තෝය. ඔවුන්ගේ ඉසුරද ඔවුන්ගේ සමූහයාද ඔවුන්ගේ ඝෝෂාවද ඔවුන් අතරේ ප්‍රීතිවන්නාද ඊට බැසයනවා ඇත.
15. මෙසේ පහත් මනුෂ්‍යයා යටත්කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ, උඩඟු අයගේ ඇස්ද පහත්කරනු ලැබේ.
16. නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්‍රකාශවෙයි.
17. එකල බැටළු පැටව් උන්ගේ පිට්ටනිවල මෙන් තෘණ කන්නෝය, ධනවතුන්ගේ පාළු තැන්ද විදේශියෝ භුක්තිවිඳින්නෝය.
18. නිෂ්ඵලකම නැමති ලනුවලින් අයුතුකමත් ගැල් රැහැණකින් මෙන් පාපයත් අදින්නාවූ,
19. අපට පෙනෙන පිණිස උන්වහන්සේ ඉක්මන්වී තමන්ගේ ක්‍රියාව කඩිනම්කරනසේක්වා, අප විසින් දැනගන්ට ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ මන්ත්‍රණය ළංව ඒවයි කියන්නාවූ අයට දුක් වේ!
20. නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!
21. තුමූ ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝයයි කල්පනාකරන්නාවූද අයට දුක් වේ!
22. මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ,
23. අල්ලසකට දුෂ්ටයා නිදොස්කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ!
24. එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.
25. එබැවින් ස්වාමීන්වහන්සේ ගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිඟුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
26. තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.
27. ඔවුන් අතරෙන් කිසිවෙක් ක්ලාන්තවෙන්නේවත් පැකිලෙන්නේවත් නැත; කිසිවෙක් නිදිමත නොවන්නේය, නිදා නොගන්නේය; ඔවුන්ගේ ඉඟපටි නොලිහෙන්නේය, මිරිවැඩි පටිය නොකැඩෙන්නේය.
28. ඔවුන්ගේ ඊගස් තියුණුකර තිබේ, ඔවුන්ගේ සියලු දුනු තැත්කවා තිබේ; ඔවුන්ගේ අසුන්ගේ කුර ගිනිගල්ද ඔවුන්ගේ රථචක්‍ර සුළිහුළඟද කොට ගණන්ගනු ලැබේ.
29. ඔවුන්ගේ ගෙරවීම සිංහ නාදයකට සමානය, ඔව්හු තරුණ සිංහයන් මෙන් ගොරවන්නෝය. එසේය, ඔව්හු ගර්ජනාකොට, ගොදුර අල්ලා සුරැකිව ගෙනයන්නෝය, ගළවන්ට කිසිවෙක්ද නොවන්නේය.
30. ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.

යෙසායා 6:1-13
1. උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.
2. උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.
3. ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.
4. එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එළිපත්වල අත්තිවාරම් සෙලවුණේය, ගෘහයද දුමෙන් පිරුණේය.
5. එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.
6. එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන්ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්,
7. ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක ඔබේ තොල්වල තැවරුණේය; මෙසේ ඔබේ අපරාධය පහකරනලද්දේය, ඔබේ පාපය කමාකරනලද්දේයයි කීය.
8. එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේ ගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.
9. උන්වහන්සේ: ඔබ ගොස් මේ සෙනඟට කථාකොට-ඔබ සැම අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.
10. මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.
11. එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,
12. ස්වාමීන්වහන්සේ විසින් මනුෂ්‍යයන් ඈතට පහකිරීමත්, දේශයෙහි මහත් හිස්කමක් වීමත් සිදුවෙන තුරුය.
13. පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.

ගීතාවලිය 105:23-26
23. ඉශ්‍රායෙල්ද මිසරයට ආයේය; යාකොබ් හාම්ගේ දේශයෙහි විදේශීව සිටියේය.
24. උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක.
25. උන්වහන්සේගේ සෙනඟට වෛරකරන්ටත් උන්වහන්සේගේ මෙහෙකරුවන්ට ප්‍රයෝගකරන්ටත් ඔවුන්ගේ සිත් හැරෙවුසේක.
26. උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක.

හිතෝපදේශ 24:28-29
28. කාරණයක් නැතුව ඔබේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, ඔබේ තොල්වලින් වංචා නොකරන්න.
29. ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.

1 කොරින්ති 15:29-58
29. ඇරත් මළවුන් උදෙසා බව්තීස්මකරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහු කිසිසේත් නැගුටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්මකරනු ලබන්නෝද?
30. අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද?
31. සහෝදරයෙනි, මම දවස්පතා නසිමියි අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සැම ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි.
32. මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු.
33. නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.
34. ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. ඔබ සැම ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.
35. නුමුත්: මළවුන් නැගිටින්නේ කෙසේද? ඔව්හු කොයි ප්‍රකාර ශරීරයක් ඇතුව එද්දැයි යමෙක් අසනවා ඇත.
36. අඥානය, ඔබම වපුරන දේ මළොත් මිස නැත්නම් පැළවෙන්නේ නැත.
37. ඔබ වපුරන කල වපුරන්නෙක් මතු අටගන්න කඳ නොව තිරිඟු හෝ වෙන වර්ගයක බීජයක් හෝ පමණය;
38. නුමුත් දෙවියන්වහන්සේ තමන් කැමතිවූ හැටියට ඊට කඳක්ද එක එක බීජයට නියමවූ කඳක්ද දෙනසේක.
39. සියලු මාංස එකාකාර මාංස නොවේ. මනුෂ්‍යයන්ගේ මාංසය එක් ආකාරයක, මෘගයන්ගේ මාංසය වෙන ආකාරයක, පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයක, මසුන්ගේ මාංසය වෙනත් ආකාරයක.
40. ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය.
41. සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය.
42. මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගුටුවනු ලැබේ.
43. අගෞරවයෙන් යුක්තව වපුරනු ලැබේ; තේජසින් යුක්තව නැගුටුවනු ලැබේ; දුර්වලකමෙන් යුක්තව වපුරනු ලැබේ; බලයෙන් යුක්තව නැගුටුවනු ලැබේ.
44. ස්වාභාවික ශරීරයක්ව වපුරනු ලැබේ; ආත්මික ශරීරයක්ව නැගුටුවනු ලැබේ. ස්වභාවික ශරීරයක් තිබේ නම් ආත්මික ශරීරයක්ද තිබේ.
45. එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය.
46. එසේවී නුමුත් ප්‍රථමවන්නේ ආත්මික එක නොව ස්වාභාවික එකය; පසුව ආත්මික එක විය.
47. පළමුවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය, භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය.
48. භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීකයොත් එසේමය.
49. අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව.
50. ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි.
51. මෙන්න, ඔබ සැමට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්,
52. ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව,
53. මක්නිසාද දිරන සුලුවූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය, මරණීයවූ මේක අමරණීයභාවයට පැමිණෙන්ට ඕනෑය.
54. දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනාලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ.
55. එම්බා මරණය, ඔබේ ජය කොයිද? එම්බා මරණය, ඔබේ කටුව කොයිද?
56. මරණයේ කටුව නම් පාපයය; පාපයේ බලය නම් ව්‍යවස්ථාවය.
57. නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
58. එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ සැමගේ මෙහෙය නිෂ්ඵල නොවන බව ඔබ සැම දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.