Instagram
English
A A A A A
යෙසායා 3:1-26
1. බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තීයද;
2. බලවන්තයා සහ යුද්ධකාරයාද; විනිශ්චයකාරයා සහ ප්‍රොපේතයාද පේනකියන්නා සහ වැඩිමහල්ලාද;
3. පනසාධිපතියා සහ ගරුතර තැනැත්තාද මන්ත්‍රියාද දක්ෂ ශිල්පියාද මායම් දන්න තැනැත්තාද පහකරනසේක.
4. මම දරුවන් ඔවුන්ගේ අධිපතීන් කොට පත්කරන්නෙමි, බාලයෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.
5. සෙනඟ එකිනෙකාගෙන්ද තම තමාගේ අසල්වාසියාගෙන්ද පීඩා විඳින්නෝය. බාලයා මහල්ලාටත් නීචයා උත්තමයාටත් උඩඟුකම් පාන්නෝය.
6. මනුෂ්‍යයෙක් තම පියාගේ වංශයෙහි තමාගේ සහෝදරයා අල්වා කථාකොට: ඔබට සළුවක් ඇත්තේය, ඔබ අපේ ආණ්ඩුකාරයා වී, මේ නාස්තිය ඔබේ අත යටතේ වේවයි කීවොත්,
7. ඔහු ඒ දවසේදී ශබ්දනගා: මම සුවකරන්නෙක් නොවන්නෙමි; මක්නිසාද මාගේ ගෙයි කෑමවත් සළුවක්වත් නැත. මා සෙනඟගේ ආණ්ඩුකාරයා නොකරන්නැයි කියන්නේය.
8. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ තේජාන්විත ඇස් උදහස්කරවන පිණිස ඔවුන්ගේ දිවත් ක්‍රියාත් උන්වහන්සේට විරුද්ධව තිබෙන බැවින්, යෙරුසලම නාස්තිවී යූදා වැටී තිබේ.
9. ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.
10. ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේයයි කියන්න. මක්නිසාද ඔව්හු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්තිවිඳින්නෝය.
11. අහෝ දුෂ්ටයාට දුක් වේ! ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය.
12. මාගේ සෙනඟගේ පීඩාකාරයෝ නම් දරුවෝය, ස්ත්‍රියෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරති. මාගේ සෙනඟෙනි, ඔබට මගපෙන්වන්නෝ ඔබ මුළාකර ඔබ යායුතු මාර්ගය නැතිකරදමති.
13. ස්වාමීන්වහන්සේ කාරණා කියන්ට නැගිට ජනයන් විනිශ්චයකරන්ට සිටිනසේක.
14. ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ ඔබ සැමය; අසරණයන්ගෙන් ගත් කොල්ලය ඔබ සැමගේ ගෙවල තිබේ.
15. ඔබ සැම මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.
16. තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,
17. ස්වාමීන්වහන්සේ සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වනසේක, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්නකරනසේක.
18. ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පාවළලුවල අලංකාරයද ඉස් දැල්ල වන්ද්‍රලේකාභරණද;
19. කුණ්ඩලාභරණද අත්වළලුද මුවවස්නාද;
20. මකුටද පාද දාමද ඉඟපටිද සුවඳ හෙප්පුද යන්ත්‍රද;
21. මුදුද නාසාභරණද;
22. මංගල්‍ය වස්ත්‍රද සළුද උතුරු සළුද පසුම්බිද;
23. අත් කැඩපත්ද සිහින් හණරෙදිද තලප්පාද ඇඟ වැසුම්ද පහකරදමනසේක.
24. එවිට සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.
25. ඔබේ පුරුෂයෝ කඩුවෙන්ද ඔබේ බලවන්තයෝ යුද්ධයෙන්ද වැටෙන්නෝය.
26. ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.

යෙසායා 4:1-6
1. ඒ කාලයේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන: අපි අපේම කෑම කන්නෙමුව, අපේම වස්ත්‍ර අඳින්නෙමුව. ඔබේ නම පමණක් අපට ලැබේවා; අපේ නින්දාව පහකරන්නැයි කියන්නෝය.
2. ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේ ගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.
3. තවද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ ආත්මයෙන් සහ දැවීමේ ආත්මයෙන් සියොන් දූවරුන්ගේ කිලුටුකම සෝදා, යෙරුසලම මැදින් රුධිර අපරාධය පහකළ විට,
4. සියොන්හි ගැළවී සිටින්නාද යෙරුසලමෙහි ඉතුරුවෙන්නාද, එනම් යෙරුසලමෙහි ජීවනය පිණිස ලියවී සිටින සියල්ලෝ, ශුද්ධයයි කියනු ලබන්නෝය.
5. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ මුළු වාසස්ථානයටත් එහි රැස්වීම්වලටත් ඉහළින් දවාලේ වලාකුළක් හා දුමාරයක්ද රාත්‍රියෙහි ඇවිළෙන ගින්නක් දීප්තියද මවා තබනසේක. මක්නිසාද මුළු තේජස පිට ඉහළින් වියනක් වන්නේය.
6. දවාලේදී ග්‍රීෂ්මයෙන් මුවාවීමට සෙවණක් පිණිසත් රක්ෂාස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් සැඟවෙන ස්ථානයක් පිණිසත් කූඩාරමක් වන්නේය.

ගීතාවලිය 105:7-22
7. උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. උන්වහන්සේගේ විනිශ්චයෝ මුළු පොළොවෙහිය.
8. උන්වහන්සේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහිකළසේක.
9. ඒ වනාහි උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමය, ඊසාක්ට දුන් උන්වහන්සේගේ දිවුරුමය;
10. එය උන්වහන්සේ යාකොබ්ට පනතක්ද ඉශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථිරකරමින්:
11. ඔබ සැමගේ උරුම කොටස වූ කානාන් දේශය ඔබට දෙන්නෙමියි කියා,
12. ඔවුන් ගණනින් ස්වල්පව, එසේය, ඉතා ස්වල්පව, එහි විදේශීව සිටියදී ඔවුන්ට කීසේක.
13. ඔව්හු ජාතියකින් ජාතියකටත් එක රාජ්‍යයකින් තවත් සෙනඟක් වෙතටත් ගියෝය.
14. උන්වහන්සේ ඔවුන්ට අයුත්තක් කරන්ට කිසිවෙකුට අවකාශ නුදුන්සේක; එසේය, ඔවුන් ගැන රජුන්ට තරවටුකරමින්:
15. මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.
16. උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක.
17. ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යැවූසේක; යෝසෙප් දාසයෙක් කොට විකුණන ලද්දේය.
18. ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය; ඔහු යදම්වලින් බඳිනලද්දේය.
19. ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමීන් ගේ වාක්‍යය ඔහු පරීක්ෂාකෙළේය.
20. රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය; එසේය, මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස්කර ඇරියේය.
21. තමාගේ ආණ්ඩුකාරයන් කැමතිලෙස බඳින්ටත්, තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත්,
22. තමාගේ ගෙට ස්වාමියෙක්ද තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක්ද කොට ඔහු පත්කෙළේය.

හිතෝපදේශ 24:26-27
26. සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.
27. ඔබේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න; පසුව ඔබේ ගේ සාදන්න.

1 කොරින්ති 15:1-28
1. තවද, සහෝදරයෙනි, මම ඔබ සැමට දේශනාකළාවූ, ඔබ සැම පිළිගත්තාවූ, ඔබ සැම පිහිටා සිටින්නාවූ,
2. ඔබ සැම ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය ඔබ සැමට දන්වමි. මා ඔබ සැමට ප්‍රකාශකළ කාරණා ඔබ සැම අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය ඔබ සැමට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් ඔබ සැම නිෂ්ඵලලෙස ඇදහුවහුය.
3. ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් ඔබ සැමට භාරදුනිමි, එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත්,
4. උන්වහන්සේ තැන්පත්කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගුටුවනු ලැබූ බවත්,
5. කේපස්ටද පසුව දොළොස්දෙනාටද පෙනුණු බවත්ය.
6. ඉන්පසු උන්වහන්සේ එකවිටම පන්සියයකට වඩා සහෝදරයන්ට පෙනුණුසේක. ඔවුන්ගෙන් වැඩිදෙනා මේ දක්වා සිටිති, සමහරු සැතපුණෝය.
7. ඉන්පසු උන්වහන්සේ යාකොබ්ටද පසුව සියලු ප්‍රේරිතයන්ටද පෙනුණුසේක.
8. සියල්ලන්ට පසු, අකලට උපන් තැනැත්තෙක් වැනිවූ මටත් උන්වහන්සේ පෙනුණුසේක.
9. මක්නිසාද මම ප්‍රේරිතයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාය. මම දෙවියන්වහන්සේගේ සභාවට පීඩාකළ බැවින් ප්‍රේරිතයෙකැයි කියනු ලබන්ට නොවටිමි.
10. නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.
11. එබැවින් මා වුණත් ඔවුන් වුණත් එසේ අපි දේශනාකරමුව, එසේ ඔබ සැම අදහාගත්තහුය.
12. ඉදින් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගුටුවනු ලැබූසේකැයි දේශනාකරනු ලැබේ නම්, මළවුන්ගේ නැගිටීමක් නැතැයි ඔබ සැම අතරෙන් සමහරුන් කියන්නේ කොහොමද?
13. මළවුන්ගේ නැගිටීමක් නැත්නම්, ක්‍රිස්තුස්වහන්සෙත් නැගුටුවනු නොලැබූසේක.
14. ඉදින් ක්‍රිස්තුස්වහන්සේ නැගුටුවනු නොලැබූසේක් නම්, අපගේ දේශනාකිරීම නිෂ්ඵලය, ඔබ සැමගේ ඇදහීමත් නිෂ්ඵලය.
15. එසේය, මළාහු නැගුටුවනු නොලබත් නම් දෙවියන්වහන්සේ විසින් නොනැගිටෙවුවාවූ ක්‍රිස්තුස්වහන්සේව උන්වහන්සේ නැගිටෙවූසේකැයිද අප උන්වහන්සේ ගැන සාක්ෂි දුන් බැවින්, අපත් දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂිකාරයන් බව පෙනේ.
16. මක්නිසාද මළාහු නැගුටුවනු නොලබත් නම්, ක්‍රිස්තුස්වහන්සෙත් නොනැගුටුණුසේක.
17. ඉදින් ක්‍රිස්තුස්වහන්සේ නොනැගුටුණුසේක් නම්, ඔබ සැමගේ ඇදහීම නිෂ්ඵලය; ඔබ සැම මේ දක්වා ඔබ සැමගේ පාපවල සිටින්නහුය.
18. එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැතපුණු අයද විනාශවුණෝ වෙති.
19. ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තෝය.
20. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.
21. මක්නිසාද මනුෂ්‍යයෙකු කරණකොටගෙන මරණය පැමුණුණ බැවින් මනුෂ්‍යයෙකු කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීමත් පැමුණුණේය.
22. මක්නිසාද, ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක්මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත්කරනු ලබන්නෝය.
23. නුමුත් එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵලයය; ඉන්පසු, ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී, උන්වහන්සේ සන්තකවූවෝ (නැගිටින්නෝ)ය. එවිට කෙළවර පැමිණේ;
24. උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද නැතිකළ කල්හි, උන්වහන්සේ රාජ්‍යය පියවූ දෙවියන්වහන්සේට භාරදෙනසේක.
25. මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් තමන්වහන්සේගේ පාද යට දමන තුරු රජකම්කරන්ට ඕනෑය.
26. නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය,
27. මක්නිසාද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පාදවලට සියල්ල යටත්කළසේක. එහෙත්: සියල්ල යටත්කරනු ලැබුවේයයි උන්වහන්සේ කියන කල, සියල්ල උන්වහන්සේට යටත්කළ තැනන්වහන්සේ අයත් නැති බව පැහැදිලිය.
28. තවද සියල්ල උන්වහන්සේට යටත්කරනු ලැබුවාම, දෙවියන්වහන්සේ සියල්ලන් තුළ සියල්ල වන පිණිස පුත්‍රයාණන්වහන්සෙත් තමන්ට සියල්ල යටත්කළ තැනන්වහන්සේට යටත්වනසේක.