Instagram
English
A A A A A
යෙසායා 1:1-31
1. යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.
2. ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.
3. ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.
4. අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.
5. ඔබ සැම වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.
6. පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.
7. ඔබ සැමගේ දේශය පාළුවී තිබේ; ඔබ සැමගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; ඔබ සැමගේ භූමිය ඔබ සැම ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.
8. සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.
9. සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
10. සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
11. ඔබ සැමගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.
12. ඔබ සැම මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා ඔබ සැමගෙන් ඉල්ලුවේ කව්ද?
13. නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.
14. ඔබ සැමගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි.
15. ඔබ සැමගේ අත් විදහනකල මාගේ ඇස් ඔබ සැමගෙන් සඟවාගන්නෙමි. එසේය, ඔබ සැම යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. ඔබ සැමගේ අත් ලෙයින් පිරී තිබේ.
16. ඔබ සැම සෝදාගෙන පවිත්‍රවෙන්න; ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.
17. යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.
18. ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ සැමගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
19. ඔබ සැම කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.
20. ඔබ සැම අකමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ මුඛය එය වදාළසේක.
21. අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.
22. ඔබේ රිදී බොරවිය, ඔබේ මුද්‍රිකපානයෙහි වතුර මිශ්‍රවී තිබේ.
23. ඔබේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
24. එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ ද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
25. මාගේ අත ඔබ පිටට හරවා, ඔබේ බොර සහමුලින්ම ඉවත්කර, ඔබේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි.
26. මම පළමු ලෙස ඔබේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස ඔබේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු ඔබ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය.
27. සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවියන්වහන්සේ වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය.
28. නුමුත් ද්‍රොහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.
29. මක්නිසාද ඔබ සැම ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, ඔබ සැම තෝරාගත් උයන් නිසා ඔබ සැම වියවුල්වන්නහුය.
30. මක්නිසාද ඔබ සැම කොල පරවෙන අලෝන ගසක් මෙන්ද දියනැති උයනක් මෙන්ද වෙනවා ඇත.
31. බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.

යෙසායා 2:1-22
1. යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටු කාරණයය.
2. මතු දවස්වලදී ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.
3. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේ ගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.
4. උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.
5. අහෝ යාකොබ්ගේ වංශය, එන්න, ස්වාමීන්වහන්සේ ගේ එළියෙහි ගමන්කරමු.
6. ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති.
7. ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී තිබේ, ඔවුන්ගේ වස්තුවලට කෙළවරක්ද නැත; ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී තිබේ, ඔවුන්ගේ රථද කෙළවරක් නැතුව තිබේ.
8. ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති.
9. මෙසේ පහත් මිනිහා යටත් කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට කමානූව මැනව.
10. ඔබ පර්වතයට ඇතුල්වී ස්වාමීන්වහන්සේ ගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් ධූලියෙහි සැඟවෙන්න.
11. මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.
12. මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද
13. උස්වූ උසස්ව තිබෙන ලෙබනොන්හි සියලු කිහිරි ගස්වලට විරුද්ධවද බාෂාන්හි සියලු අලෝන ගස්වලට විරුද්ධවද;
14. උස්වූ කඳුවලට විරුද්ධවද උසස්ව තිබෙන සියලු හෙල්වලට විරුද්ධවද;
15. උස්වූ සියලු කොත්වලට විරුද්ධවද සුරක්ෂිත සියලු පවුරුවලට විරුද්ධවද;
16. තර්ෂිෂ්හි සියලු නැව්වලට විරුද්ධවද අලංකාර පෙනීමක් ඇති සියල්ලට විරුද්ධවද, ඒවා පහත්කරන පිණිස, සේනාවල ස්වාමීන්වහන්සේ ගේ දවසක් පැමිණෙන්නේය.
17. මෙසේ මනුෂ්‍යයන්ගේ උඩඟුකම යටත්කරනු ලබන්නේය, මිනිසුන්ගේ ආඩම්බරයද පහත්කරනු ලබන්නේය. ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.
18. පිළිම සහමුලින්ම පහවන්නේය.
19. පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
20. පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,
21. මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.
22. තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?

ගීතාවලිය 105:1-6
1. ස්වාමීන් ට ස්තුතිකරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
2. උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්.
3. උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත්වේවා.
4. ස්වාමීන් හා උන්වහන්සේගේ ශක්තිය සොයව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්.
5. උන්වහන්සේගේ මෙහෙකරුවූ ආබ්‍රහම්ගෙන් පැවතඑන්නෙනි, උන්වහන්සේ විසින් තෝරාගත්තවුන් වන යාකොබ්ගේ දරුවෙනි,
6. උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහිකරව්.

හිතෝපදේශ 24:23-25
23. මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කීම්ය. විනිශ්චයේදී තරම බැලීම හොඳ නැත.
24. ඔබ ධර්මිෂ්ඨය කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය.
25. එහෙත් ඔහුට තරවටුකරන්නන්ට ප්‍රීතිය වන්නේය, ශුභාශීර්වාදයක්ද ඔවුන් පිටට පැමිණෙන්නේය.

1 කොරින්ති 14:21-40
21. අන් භාෂාවලිනුත් අන්‍යයන්ගේ තොල්වලිනුත් මම මේ සෙනඟට කථාකරන්නෙමි; එසේවුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.
22. මෙසේ අන් භාෂා වනාහි අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. නුමුත් ධර්මවාක්‍ය කීම තිබෙන්නේ නොඅදහන්නන් නොව අදහන්නන් උදෙසාය.
23. එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් ඔබ සැමට ඔල්මාදයයි කියන්නේ නැද්ද?
24. නුමුත් සියල්ලෝ ධර්මවාක්‍ය කියත් නම්, නොඅදහන්නෙක් හෝ නූගත් කෙනෙක් හෝ පැමිණි කල, සියල්ලන් විසින් ඔහුගේ වරද හඟවාදී, සියල්ලන් විසින් ඔහු විනිශ්චය කරනු ලබන්නේය;
25. ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ ඔබ සැම අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය.
26. එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? ඔබ සැම රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.
27. යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා.
28. තේරුම් කරදෙන කෙනෙක් නැත්නම්, ඔහු සභාවේදී නිශ්ශබ්දවේවා; තමාටත් දෙවියන්වහන්සේටත් කථාකෙරේවා.
29. ධර්මවාක්‍ය කියන්නෝ දෙදෙනෙක් නොහොත් තුන්දෙනෙක් කථාකරත්වා, අනික් අය විමසාබලත්වා.
30. නුමුත් එහි හිඳින අනිකෙකුට එළිදරව්කිරීමක් පැමුණුණොත්, පළමුවෙනි තැනැත්තේ නිශ්ශබ්දවේවා.
31. මක්නිසාද සියල්ලන් ඉගෙනගන්නා පිණිසත්, සියල්ලන් ධෛර්යවෙන පිණිසත්, සියල්ලන්ට එක්කෙනෙකු බැගින් ධර්මවාක්‍ය කියන්ට පුළුවන;
32. ධර්මවාක්‍ය කියන්නන්ගේ ආත්ම ධර්මවාක්‍ය කියන්නන්ට යටත්ව තිබේ.
33. මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.
34. ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත; ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා.
35. ඔව්හු යමක් දැනගන්ට කැමති නම්, ගෙදරදී තමුන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේදී කථාකිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය.
36. මොකද? දෙවියන්වහන්සේගේ වචනය නික්මගියේ ඔබ සැම කෙරෙන්ද? නොහොත් ඒක පැමුණුණේ ඔබ සැම වෙතට පමණක්ද?
37. යමෙක් තමාම ධර්මවාක්‍ය පවසන්නෙක්ය කියා නොහොත් ආත්මික කෙනෙක්ය කියා සිතනවා නම්, මා විසින් ඔබ සැමට ලියන කාරණා ස්වාමීන්වහන්සේගේ ආඥාව බව ඔහු ඒත්තුගනීවා.
38. යමෙක් එය නොදන්නවා නම්, ඔහු නොදැන සිටීවා.
39. එබැවින්, මාගේ සහෝදරයෙනි, ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න, අන් භාෂාවලින් කථාකිරීමත් තහනම් නොකරන්න.
40. නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.