A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 4

ප්‍රේම ගී 7:1-13
1. අධිපතියාණන්ගේ දුවණියෙනි, වහන් සහිත ඔබේ අඩි තැබීම කොපමණ ලක්ෂණද! ඔබේ කළවා සන්ධි දක්ෂ කම්කරුවෙකුගේ අතින් කළ ආභරණ මෙන්ය.
2. ඔබේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, ඔබේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය.
3. ඔබේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය.
4. ඔබේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; ඔබේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; ඔබේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.
5. ඔබේ මතුයෙහි තිබෙන ඔබේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, ඔබේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය; රජතෙමේ ඒ රොදවලින් වසඟවී සිටියි.
6. එම්බා, සොඳුරිය, ප්‍රීතිය වඩවන්ට ඔබ කොපමණ ලක්ෂණද! කොපමණ ප්‍රියකරුද!
7. මේ ඔබේ උස ප්‍රමාණය තල් ගසකටත් ඔබේ පියයුරු මිදි පොකුරුවලටත් සමානය.
8. මම තල් ගසට නැගී එහි අතු අල්ලන්නෙමියි කීමි. ඔබේ පියයුරු මිදි පොකුරු මෙන්ද ඔබේ හුස්මේ සුවඳ ජම්බු මෙන්ද
9. ඔබේ මුඛය ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා; ඒවා මාගේ ප්‍රේමවන්තයාට හරියන්නේය, නිදාඉන්නන්ගේ තොල් සෙමින් සොලවන්නේය.
10. මම මාගේ ප්‍රේමවන්තයාගේය, ඔහුගේ ආශාවද මා කෙරෙහිය.
11. මාගේ ප්‍රේමවන්තය, එන්න, අපි ගම් පෙදෙසට ගොස්, ගම්වල නැවතී සිටිමු.
12. අපි අලුයම නැගිට මිදිවතුවලට ගොස්, මිදිවැල් දළුලා මල් පිපුණේද, දෙළුම් ගස්වල මල්පිපී තිබේදැයි බලමු. එහිදී මාගේ ප්‍රේමය ඔබට දෙන්නෙමි.
13. දූදා ඵල සුවඳක් විහිදුවයි, අපේ දොරටු ළඟ අලුත්වූද පරණවූද සියලු ආකාර අනර්ඝ පලතුරු තිබේ, මාගේ ප්‍රේමවන්තය, ඒවා ඔබ උදෙසා තබාගතිමි.

ප්‍රේම ගී 8:1-14
1. අනේ, ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවාවූ මාගේ සොහොයුරා මෙන් වී නම් කැමැත්තෙමි! එවිට පිටතදී ඔබ මට සම්බවූ කල සිඹගත්තත්, කිසිවෙක් මා හෙළා නොදක්නේය.
2. මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි, ඔබ මට උගන්වන්නෙහිය. මිශ්‍රකළ මුද්‍රිකපානයද දෙළුම් යුසද ඔබට බොන්ට දෙන්නෙමි.
3. ඔහුගේ වමත මාගේ හිස යට තිබේ, දකුණතද මා වැළඳගනියි.
4. යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් ඔබ සැම දිවුරවමි.
5. තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? ජම්බු ගස යටදී මම ඔබ පිබිදෙවු වෙමි. එහි ඔබේ මෑණියෝ ඔබ ගැන රුජා වින්දාහ, එහි ඔබේ දිනිතිය බිහිකරන වේදනාවෙන් සිටියාය.
6. මුද්‍රාවක් කොට ඔබේ සිතෙහිද මුද්‍රාවක් කොට ඔබේ හස්තයෙහිද මා තබාගන්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්ය; කාම ක්‍රෝධය මිනීවළ මෙන් කෲරතරය. ඒකේ දැල්ල ගිනිදැල්ය, ස්වාමීන්වහන්සේ ගෙන් වූ ඇවිළෙන ගිනිදැල්ලක්මය.
7. බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය, ගංගාවලට එය යටකරන්ටත් බැරිය. මනුෂ්‍යයෙක් ප්‍රේමය දිනාගන්ට තමාගේ ගෙයි සියලු සම්පත දෙතත්, ඔහු සහමුලින්ම සුළුකරනු ලැබේ.
8. අපට කුඩා සහෝදරියක් සිටින්නීය, ඈට පියයුරු නැත. අපේ සහෝදරී ගැන කථාකරන දවසේදී අපි ඈ ගැන මක්කරමුද?
9. ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩනගන්නෙමුව. ඈ දොරක් නම්, කිහිරි ලෑලිවලින් ඈ වටකරන්නෙමුව.
10. මම පවුරක්ව සිටියෙමි, මාගේ පියයුරු එහි කොත්කුළුනු මෙන්ය; එවිට මම ඔහුගේ ඇස් හමුයෙහි සමාදානය ලද්දියෙකු මෙන් වීමි.
11. බාල්-හාමොන්හි සාලමොන්ට මිදිවත්තක් තිබුණේය; ඔහු ඒ මිදිවත්ත බලන්නන්ට භාර දුන්නේය; එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්ට එකිනෙකාට නියමවිය.
12. මට අයිති මගේ මිදිවත්ත මා ඉදිරියෙහි තිබේ. සාලමොන්, ඔබට දහසද එහි ඵල බලාගන්නන්ට දෙසියයක්ද දෙනු ලැබෙන්නේය.
13. උයන්වල වසන තැනැත්තිය, යහළුවෝ ඔබේ හඬට ඇහුම්කන්දෙති. ඒක මට අසන්ට ලැබේවා.
14. මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.

ගීතාවලිය 104:31-35
31. ස්වාමීන් ගේ මහිමය සදාකල් පවතීවා; ස්වාමීන්වහන්සේ ස්වකීය කර්මාන්ත කෙරෙහි සන්තෝෂවනසේක්වා.
32. උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.
33. දිවි ඇති තාක් ස්වාමීන් ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
34. මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා. මම ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
35. පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා. දුෂ්ටයෝ තවත් නොසිටිත්වා. මාගේ ආත්මය ස්වාමීන් ට ප්‍රශංසා කරව. ස්වාමීන් ට ප්‍රශංසාකරව්.

හිතෝපදේශ 24:21-22
21. මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.
22. මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි; ඒ දෙදෙනාගෙන් පැමිණෙන විනාශය දන්නේ කවුද?

1 කොරින්ති 14:1-20
1. ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න.
2. මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත.
3. නුමුත් ධර්මවාක්‍ය පවසන්නා වර්ධනවීමද දැනමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කථාකරන්නේය.
4. අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය.
5. ඔබ සැම සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් ඔබ සැම ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය.
6. ඉතින්, සහෝදරයෙනි, මම ඔබ සැම ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් ඔබ සැමට කථා නොකොට, අන් භාෂාවලින් කථාකළොත් ඔබ සැමට මොන ප්‍රයෝජනයක්ද?
7. එසේම ශබ්ද නගන්නාවූ පණ නැති දේවල්-නළාව වුණත් වීණාව වුණත්-වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම්, පිඹින්නේ මොකක්ද, ගායනාකරන්නේ මොකක්දැයි දැනගන්නේ කොහොමද?
8. එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද?
9. එසේම ඔබ සැමත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? ඔබ සැම හුළඟට කථාකරන්නාක්මෙන් වේ.
10. යම් පමණ වෙනස්වූ භාෂාවල් ලෝකයේ ඇද්ද, එයින් එකක්වත් අර්ථ රහිත නැත.
11. එබැවින් මම භාෂාවේ තේරුම නොදනිම් නම්, කථාකරන්නාට පරදේශියෙක් වෙමි, කථාකරන්නා මට පරදේශියෙක් වේ.
12. එසේම ඔබ සැමත් ආත්මික දීමනා ගැන ජ්වලිතව සිටින බැවින්, සභාවේ වර්ධනයවීම පිණිස ඒවා බොහෝසෙයින් ඇතුව සිටින්ට සොයන්න.
13. එබැවින් අන් භාෂාවකින් කථාකරන්නා තේරුම්කරදෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤාකෙරේවා.
14. මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත.
15. එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි.
16. නැත්නම්, ඔබ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා ඔබ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් ඔබේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද?
17. ඔබ නම් හොඳාකාරයෙන් ස්තුතිකෙරෙහිය, නුමුත් අනික් අයට වැඩ සිද්ධ නොවේ.
18. ඔබ සැම සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
19. එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි.
20. සහෝදරයෙනි, ඔබ සැම බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.