A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 30

යෙසායා 51:1-23
1. ධර්මිෂ්ඨකම අනුවයන්නාවූ, ස්වාමීන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෙනි, මට කන්දෙන්න. ඔබ සැමව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් ඔබ සැමව හාරාගත්තේ මොන ගල්වළකින්ද කියාත් බලන්න.
2. ඔබ සැමගේ පියවූ ආබ්‍රහම්ද ඔබ සැම බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.
3. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේ ගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.
4. මාගේ සෙඟෙනි, මට ඇහුම්කන්දෙන්න; මාගේ ජනයෙනි, මට කන්යොමුකරන්න. මක්නිසාද ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත්වන්නේය, මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටුවන්නෙමි.
5. මාගේ ධර්මිෂ්ඨකම ළංව තිබේ, මාගේ ගැළවීම පිටත්ව ගියේය, මාගේ හස්තයන්ද ජනයන් විනිශ්චයකරනවා ඇත; ද්වීපයෝ මා ගැන බලාසිට, මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තුවෙනවා ඇත.
6. ඔබ සැමගේ ඇස් අහස දෙසට ඔසවන්න, පහළ තිබෙන පොළොවත් බලන්න. මක්නිසාද අහස දුම මෙන් පහවීයන්නේය, පොළොවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය, එහි වාසයකරන්නෝද එයාකාරයෙන්ම නසින්නෝය. නුමුත් මාගේ ගැළවීම සදාකාලේටම පවතින්නේය, මාගේ ධර්මිෂ්ඨකමද කඩ නොවන්නේය.
7. ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.
8. මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.
9. එම්බා ස්වාමීන්වහන්සේ ගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් ඔබ නොවේද?
10. මහ ගැඹුරේ ජලය වන මුහුද හින්දවා, මිදුණු අයට එතරවීමට මුහුදේ ගැඹුරු මාර්ගයක් කළේ ඔබ නොවේද?
11. ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
12. ඔබ සැම සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද ඔබේ මැවුම්කාරවූ,
13. අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද ඔබ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?
14. රටින් පිට වහල්වී සිටින්නා ඉක්මනට මුදනු ලබන්නේය; ඔහු වළේදී නසින්නේවත් ඔහුගේ කෑම පිරිහෙන්නේවත් නැත.
15. මම වනාහි මුහුදේ රැළ ගර්ජනාකරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
16. මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: ඔබ මාගේ සෙනඟයයි සියොන්ට කීමටත්, මාගේ වචනය ඔබේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි ඔබ සැඟෙවුවෙමි.
17. ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න, නැගිටින්න.
18. ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත.
19. මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් ඔබට පැමිණී තිබේ; ඔබට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම ඔබ කෙසේ සනසන්නෙම්ද?
20. ඔබේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ගේ කෝපය වන ඔබේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
21. එබැවින් පීඩිතවූ, මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේක අසන්න.
22. ඔබේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ ඔබේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝය නැමති පාත්‍ර කුසලාන ඔබේ අතින් ගත්තෙමි; ඔබ තවත් එයින් නැවත නොබොන්නෙහිය.
23. නුමුත්: අප විසින් ඔබ පාගායන පිණිස වැටී ඉන්නැයි ඔබේ ආත්මයට කීවාවූ ඔබේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස ඔබ ඔබේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය

යෙසායා 52:1-15
1. සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ඔබේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත ඔබ තුළට නොපැමිණෙන්නේය.
2. යෙරුසලම ඔබ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, ඔබේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.
3. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව ඔබ සැම මුදනු ලබන්නහුය.
4. තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මුලදී මාගේ සෙනඟ මිසරයෙහි විදේශිව සිටින්ට එහි ගියෝය. අෂූර්වරු නිෂ්කාරණයේ ඔවුන්ට පීඩාකළෝය.
5. දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනඟ නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුළුල්ලෙහි අපහාසකරනු ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6. එබැවින් මාගේ සෙනඟ මාගේ නාමය දැන ගන්නවා ඇත. එබැවින් කථාකරන්නේ මා බව ඒ දවසේදී ඔවුන් දැනගන්නවා ඇත. බලව, ඒ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
7. ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: ඔබේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!
8. අන්න, ඔබේ මුරකාරයන්ගේ හඬ! ඔව්හු හඬ නගති, ඔව්හු එක්ව ගී කියති; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත.
9. යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.
10. ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්නකළසේක; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය.
11. පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; ස්වාමීන්වහන්සේ ගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න.
12. මක්නිසාද ඔබ සැම ඉක්මනින් පිටතට යන්නේවත් ඔබ සැම පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැමට පෙරටුව යනසේක; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඔබ සැමට පස්සෙන් එනසේක.
13. බලව, මාගේ සේවකයා නුවණින් ක්‍රියාකරමින් උසස්වී උතුම්වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත.
14. උන්වහන්සේගේ පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් උන්වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ටත් වඩා අවලක්ෂණව තිබුණු බැවින් බොහෝ දෙනෙක් උන්වහන්සේ නිසා විස්මපත්වුණාක්මෙන්ම,
15. උන්වහන්සේ ‍බොහෝ ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත.

ගීතාවලිය 112:5-10
5. කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභසිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.
6. මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.
7. ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.
8. ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය.
9. ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
10. දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.

හිතෝපදේශ 26:16-16
16. අලසයා නුවණින් උත්තරදෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවතෙකැයි සිතන්නේය.

එපීස 2:1-22
1. ඔබ සැම ඔබ සැමගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ ඔබ සැම ජීවත්කළසේක.
2. පෙර කාලයේ ඔබ සැම මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.
3. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.
4. නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්,
5. අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-ඔබ සැම ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා,
6. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.
7. එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නාවූ කාලවලදී පෙන්වන පිණිසය.
8. මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය. එය ඔබ සැමගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.
9. කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.
10. මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළසේක.
11. එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ ඔබ සැම,
12. ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න.
13. නුමුත් වරක් දුර සිටියාවූ ඔබ සැම දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය.
14. මක්නිසාද වෙන්කිරීමේ මැද භිත්තිය බිඳදමා, ඒ සතුරුකම නමැති නියෝගවල අන්තර්ගතවූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංසයෙන් නැතිකොට,
15. දෙගොල්ල එක්කළ උන්වහන්සේම අපේ සමාදානයව සිටිනසේක; එසේ කළේ සමාදානකරමින් තමන් තුළ දෙගොල්ල එක අලුත් මනුෂ්‍යයෙක් කොට මවන පිණිසත්,
16. කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දොගොල්ලම එක ශරීරයක් කොට, කුරුසිය කරණකොටගෙන දෙවියන්වහන්සේට සමඟිකරදෙන පිණිසත්ය.
17. උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ ඔබ සැමට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක.
18. මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ.
19. ඒ නිසා ඔබ සැම තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය.
20. ඔබ සැම ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක.
21. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය.
22. උන්වහන්සේ තුළ ඔබ සැමත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.