A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 3

ප්‍රේම ගී 5:1-16
1. මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.
2. මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.
3. මාගේ සැට්ටය මුදා තැබීමි; මා ඒක අඳින්නේ කොහොමද? මාගේ පාද සේදීමි; ඒවා මම කෙසේ කිලුටුකරන්නෙම්දැයි කීවෙමි.
4. මාගේ ප්‍රේමවන්තයා දොර සිදුරෙන් අත දැමූයේය, මාගේ හෘදයද ඔහු කෙරෙහි ඇදී ගියේය.
5. මාගේ ප්‍රේමවන්තයාට දොර අරින්ට නැගිට්ටෙමි; එවිට අගුළේ මිටිවල තිබුණු ගන්ධරස මාගේ අත්වලද දියවර ගන්ධරස මාගේ ඇඟිලිවලද තැවරී වැටුණේය.
6. මාගේ ප්‍රේමවන්තයාට දොර ඇරියෙමි; නුමුත් මාගේ ප්‍රේමවන්තයා අහක්ව ගිහින්ය. ඔහු කථාකළ විට මට සිහිනැතිවිය. මම ඔහු සෙවීමි, නුමුත් සම්බවුණේ නැත; මා ඔහුට අඬගැසූ නුමුත් ඔහු මට උත්තරදුන්නේ නැත.
7. නුවර ඇවිඳින රැකවල්ලු මට සම්බවී, මට ගසා තුවාලකළෝය; පවුරුවල රැකවල්ලු මාගේ පොරෝණය මාගෙන් පැහැරගත්තෝය.
8. යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා ඔබ සැමට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස ඔබ සැම දිවුරවමි.
9. ස්ත්‍රීන්ගෙන් ඉතා ලක්ෂණ තැනැත්තිය, වෙන ප්‍රේමවන්තයෙකුට වඩා ඔබේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද? ඔබ මෙසේ අප දිවුරවන්නේ වෙන ප්‍රේමවන්තයෙකුට වඩා ඔබේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද?
10. මාගේ ප්‍රේමවන්තයා සුදුය, රතු කම්මුල් ඇත්තේය, දසදහසක් අතරේ උතුම්ය.
11. ඔහුගේ හිස ඉතා පවිත්‍ර රත්රන් මෙන්ය, ඔහුගේ කෙස් රොද ඝනය, කපුටුවා මෙන් කළුය.
12. ඔහුගේ ඇස් දිය දොළවල් ළඟ ඉන්න පරෙවියන් වැනිව, කිරෙන් සේදී, හොබනා ලෙස පිහිටා තිබේ.
13. ඔහුගේ කම්මුල් සුවඳ ගස් පාත්තියක්ද සුවඳ පැළ ඇති ගොඩැලිද මෙන්ය. ඔහුගේ තොල් මානෙල් මෙනි, දියවර ගන්ධරස එයින් වෑහෙන්නේය.
14. ඔහුගේ අත් ලශුනීය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය. ඔහුගේ ඇඟ නීලමාණික්‍යවලින් සැරසූ ඇත්දත් කර්මාන්තයක් මෙන්ය.
15. ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් හා සමානය, කිහිරිගස් මෙන් උතුම්ය.
16. ඔහුගේ මුඛය ඉතා මිහිරිය. එසේය, ඔහු මුළුමනින්ම ප්‍රියකරුය. යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා මේ ආකාරය, මාගේ මිත්‍රයා මෙබන්දෙක්ය.

ප්‍රේම ගී 6:1-13
1. ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, ඔබේ ප්‍රේමවන්තයා කොතැනට ගියේද? ඔබේ ප්‍රේමවන්තයා කොයි දෙසට හැරීගියේද? අපි ඔබ සමඟ ඔහු සොයන්නෙමුව.
2. මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය.
3. මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය. ඔහු මානෙල් අතරේ තමාගේ රැළ කවයි.
4. මාගේ සොඳුර, ඔබ තිර්සා මෙන් අලංකාරය. යෙරුසලම මෙන් ශෝභනය, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නව සිටින්නීය.
5. ඔබේ ඇස් මා වෙතින් හරවාගන්න, මක්නිසාද ඒවා මා වසඟකරයි. ඔබේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.
6. ඔබේ දත් තනිවූ එකෙක්වත් නැතුව සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, නාවනු ලැබ නැගී එන්නාවූ බැටළුදෙනුන් රැළක් මෙන්ය.
7. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය.
8. බිසෝවරුන් සැටක්ද උපභාර්යාවන් අසූවක්ද ගණන් නැති කන්‍යාවෝද සිටිති.
9. මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, අසමාන තැනැත්තීය. ඈ ඇගේ මවුගේ එකම දරුවාය; ඈ වැදූ ඇත්තීගේ ප්‍රිය තැනැත්තීය. දූවරු ඈ දැක ඈ වාසනාවන්තීයයි කීවෝය; එසේය, බිසෝවරු උපභාර්යාවෝද දැක ඇය වර්ණනාකළහ.
10. අරුණාලෝකය මෙන් නැගීඑන්නාවූ, සඳ මෙන් රුව ඇත්තාවූ, ඉර මෙන් දිළෙන්නාවූ, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නවූ මෑ කවුද?
11. මම මිටියාවත් ගස් කොළන් බලන්ටත්, මිදිවැල් දළු දැමුවේද? දෙළුම්ගස්වල මල් පිපුණේදැයි බලන්ටත්, කොට්ටම්බා උයනට බැස ගියෙමි.
12. මට දැනෙන්ට පළමුවෙන් මාගේ ආත්මය මාගේ වංශාධිපති සෙනඟගේ රථ අතරේ මා තැබීය.
13. ෂූලම්මීය, හැරී එන්න, හැරී එන්න; අප ඔබ බලන පිණිස හැරී එන්න, හැරී එන්න. මහනායිම්හි නැටුම මෙන් ඔබ සැම ෂූලම්මීය බලන්ට කැමතිවන්නේ මක්නිසාද?

ගීතාවලිය 104:24-30
24. ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.
25. අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
26. එහි නැව් යති; එහි ක්‍රීඩාකරන්ට ඔබ සෑදූ ලෙවියාතන් එහි සිටියි.
27. උන්ගේ කෑම සුදුසු කාලයේදී ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.
28. ඔබ උන්ට දෙන දේ උන් එකතුකර ගනිති; ඔබගේ අත විදහන කල යහපතින් තෘප්තියට පැමිණෙති.
29. ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති; ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයති.
30. ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.

හිතෝපදේශ 24:19-20
19. නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න; දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න.
20. මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි.

1 කොරින්ති 13:1-13
1. මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි.
2. මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.
3. මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.
4. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,
5. උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත;
6. අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය,
7. සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.
8. ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත. අනාගතවාක්‍යකීම් වුවත්, නැතිවන්නේය; භාෂා වුවත්, නවතින්නේය; දැනගැන්ම වුවත්, නැතිවන්නේය.
9. මක්නිසාද අපේ දැනගැන්ම මඳය, අනාගතවාක්‍යකීමත් මඳය,
10. නුමුත් සම්පූර්ණ එක පැමුණුණාම මඳක්ව තිබෙන දේ නැතිවන්නේය.
11. මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.
12. එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.
13. දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.