A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 29

යෙසායා 49:1-26
1. ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක.
2. උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුසේක; උන්වහන්සේ මා මුවහත්කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තබා:
3. ඉශ්‍රායෙල්, ඔබ මාගේ මෙහෙකරුවාය; ඔබ කරණකොටගෙන ගෞරව ලබාගන්නෙමියි මට කීසේක.
4. නුමුත් මම කථාකොට: මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි. එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ වෙතද මාගේ විපාකය මාගේ දෙවියන්වහන්සේ වෙතද තිබේයයි කීමි.
5. ඉතින් තමන් වෙතට යාකොබ් හැරවීමටත් ඉශ්‍රායෙල්වරුන් තමන් වෙතට රැස්කිරීමටත් කුසේ පටන් මා තමන්ට සේවකයෙක් කරගත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක: (මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුයෙහි මට ගෞරව ඇත්තේය, මාගේ දෙවියන්වහන්සේ මාගේ බලයව සිටිනසේක.)
6. එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් ඔබ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස ඔබ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.
7. ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, ඔබව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක.
8. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පිළිගත යුතු කාලයකදී මම ඔබට උත්තරදී, ගැළවීමේ දවසකදී ඔබට උපකාරකෙළෙමි. දේශය ප්‍රකෘතිමත් කිරීමටත් පාළුවූ උරුමවල් ඔවුන්ට හිමිකරදීමටත්,
9. හිරකාරයන්ට: පිටතට එන්නැයිද අඳුරේ සිටින්නන්ට: පෙනීසිටින්නැයිද කීමටත්, මම ඔබ ආරක්ෂා කොට සෙනඟට ගිවිසුමක් කොට දෙන්නෙමි. මාර්ගවල ඔවුන්ට කෑම ලැබෙයි, සියලු මුඩු කඳු පිටද ඔවුන්ට තණබිම තිබෙයි.
10. ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.
11. මමද මාගේ සියලු කඳු මාර්ගයක් කරන්නෙමි, මාගේ මහ මාවත්ද උස්වන්නේය.
12. බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.
13. ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.
14. නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය.
15. ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් ඔබ මතකනැති නොකරන්නෙමි.
16. බලව, මම මාගේ අතුල්වල ඔබ කොටාගතිමි; ඔබේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.
17. ඔබේ දරුවෝ ඉක්මනින් එති; ඔබව විනාශකළ අයද ඔබව පාළුකළ අයද ඔබ වෙතින් අහක්ව යන්නෝය.
18. ඔබේ ඇස් ඔසවා වටකර බලන්න. මොවුන් සියල්ලෝම එකතුව ඔබ ළඟට එති. මා ජීවත්වෙනවා සැබෑවාසේම, ඔබ ඔවුන් සියල්ලන් සැබවින්ම ආභරණයක් මෙන් පැළඳගන්නවා ඇත, මනමාලියෙකු මෙන් ඔවුන් බැඳගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
19. මක්නිසාද ඔබේ නටබුන් තැන්ද පාළු ඉඩම්ද විනාශකරනලද ඔබේ දේශයද සැබවින් එහි වැසියන්ට මදි වන්නේය, ඔබ ගිලගත්තෝද දුරුවන්නෝය.
20. ඔබේ දරුවන් නැතිවුණායින් පසු ඔබට ලැබෙන දරුවෝ: මේ ඉඩම මට මදිය, මට වාසයකරන්ට ඉඩ දෙන්නැයි නැවත කියනවා ඔබට ඇසෙනවා ඇත.
21. එවිට ඔබේ සිතින් ඔබ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවුවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.
22. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ජාතීන්ට මාගේ අත ඔසවා, ජනයන්ට මාගේ කොඩිය නඟන්නෙමි. ඔව්හු ඔබේ පුත්‍රයන් වඩාගෙන එන්නෝය, ඔබේ දූවරුද ඔවුන්ගේ කර පිට ගෙනෙනු ලබන්නෝය.
23. රජවරු ඔබ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු ඔබේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී ඔබට වැඳ, ඔබේ පාදවල ධූලි ලෙවකන්නෝය; ඔබද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
24. බලවන්තයාගෙන් කොල්ලය ගන්ට නොහොත් යුතුලෙස වාලට අසුවුණ අය මුදන්ට පුළුවන්ද?
25. නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත. මක්නිසාද ඔබ සමඟ විවාදකරන්නා සමඟ මම විවාදකරන්නෙමි, ඔබේ දරුවන්ද මම ගළවන්නෙමි.
26. ඔබට පීඩාකරන්නන්ට ඔවුන්ගේම මාංසය කවන්නෙමි; ඔව්හු මුද්‍රිකයුසයෙන් මෙන් තමුන්ගේම ලෙයින් මත්වන්නෝය. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා ඔබේ ගැළවුම්කාරයා බවත් ඔබේ මිදුම්කාරයාද යාකොබ්ගේ බලවන්තයාණන්ද බවත් මාංසමයවූ සියල්ලෝම දැනගන්නෝය.

යෙසායා 50:1-11
1. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔබ සැමගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් ඔබ සැම වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, ඔබ සැම විකුණනු ලැබුවේ ඔබ සැමගේ ම අපරාධ නිසාත් ඔබ සැමගේ මවු අත්හරිනු ලැබුවේ ඔබ සැමගේ ම වරද නිසාත්ය.
2. මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
3. මම අහසට කළුවර අඳවා එය ගෝණි රෙදිවලින් වසන්නෙමි.
4. විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.
5. ස්වාමීවූ දෙවියන්වහන්සේ මාගේ කන පැහැදූසේක, මා කැරළිකාරවුණේවත් පස්සට හැරුණේවත් නැත.
6. මම මාගේ පිට තළන්නන්ටත් මාගේ කම්මුල් රැවුල් උදුරන්නන්ටත් දුනිමි. මාගේ මුහුණ නින්දාවෙනුත් කෙළගැසීමෙනුත් සඟවා නොගතිමි.
7. මක්නිසාද ස්වාමිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ මට උපකාරවනසේක; එබැවින් වියවුල් නොවෙමි. එබැවින් මාගේ මුහුණ ගිනිගලක් මෙන් තබාගන සිටිමි, මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.
8. මා ධර්මිෂ්ඨකරන තැනන්වහන්සේ ළංව සිටිනසේක; මට එදිරිව සිටින්නේ කවුද? අපි දෙදෙනාම නැගිට සිටිමු. මාගේ විරුද්ධකාරයා කවුද? ඔහු මා ළඟට ඒවා.
9. බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරකරනසේක; මා වරදට පත්කරන්නේ කවුද? බලව, ඔවුන් සියල්ලෝම වස්ත්‍රයක් මෙන් පරණවන්නෝය; කාවා ඔවුන් කාදමන්නේය.
10. ඔබ සැම අතරෙන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ මෙහෙකරුවාගේ හඬට කීකරුවෙන්නාවූ තැනැත්තා කවුද? ආලෝකය නැතුව අඳුරෙහි ඇවිදින්නාවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේ ගේ නාමය කෙරෙහි විශ්වාසකර තමාගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටීවා.
11. ගින්නක් දල්වා ගිනි පෙනෙලි වටකර තබාගන්නාවූ සියල්ලෙනි, ඔබ සැමගේ ගින්නේ එළියෙහිත් ඔබ සැම පත්තුකර තිබෙන ගිනිපෙනෙලි අතරේත් හැසිරෙන්න. මා අතින් ඔබ සැමට ලැබෙන්නේ මේකය; ඔබ සැම තද වේදනාවෙන් වැතිර සිටින්නහුය.

ගීතාවලිය 112:1-4
1. ස්වාමීන් ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය.
2. ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය.
3. සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
4. සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය.

හිතෝපදේශ 26:13-15
13. අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය.
14. දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය.
15. අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය.

එපීස 1:1-23
1. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල්, එපීසයෙහි සිටින ශුද්ධවන්තයන්ව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වග නම්:
2. අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් ඔබ සැමට වේවා.
3. අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,
4. ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.
5. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා,
6. තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නිමයකළසේක.
7. ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.
8. ඒ කරුණාව සියලු ප්‍රඥාව හා නුවණැතිකමින් අප කෙරෙහි බොහෝවන්ට සැලැස්සූසේක.
9. එසේ කළේ කාලවල සම්පූර්ණකමේ නියමය ලෙස ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්රාශිකරන්ට,
10. තමන්වහන්සේ තුළ අදහස්කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වාදීමෙන්ය.
11. එසේය, තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධකරන්නාවූ තැනැන්වහන්සේගේ නියමයේ ප්‍රකාරයට, අපි පෙර නියමකරනු ලැබ ක්‍රිස්තුස්වහන්සේ තුළ උරුමයක්වී සිටිමුව.
12. එසේ වුණේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය.
13. උන්වහන්සේ තුළ ඔබ සැමත් ඔබ සැමගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස,
14. අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ඔබ සැම උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.
15. මේ නිසා මමත් ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ ඔබ සැම අතරේ ඇත්තාවූ, ඔබ සැම සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නාවූ ඇදහිල්ල ගැන අසා, ඔබ සැම මාගේ යාච්ඤාවලදී සඳහන්කරමින්,
16. ඔබ සැම ගැන නොකඩව ස්තුතිකරමි.
17. එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් ඔබ සැමට දෙන ලෙසත්,
18. උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,
19. අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, ඔබ සැම දැනගන්න පිණිස ඔබ සැමගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය.
20. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉෂ්ටකළාවූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා,
21. සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයෙහි පමණක් නොව පරලෝකයෙහිත් සඳහන්කරනලද සියලු නම්වලටත් වඩා උස්කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා,
22. සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.
23. ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.