A A A A A
Error:
BookNum: 48 Chapter: 5 VerseStart: 26 VerseShouldHave: 25
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 27

යෙසායා 45:1-25
1. තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කියනසේක:
2. මම ඔබට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි.
3. ඔබේ නම කියා ඔබ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව ඔබ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද ඔබට දෙන්නෙමි.
4. මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්‍රායෙල් නිසාත් ඔබේ නම කියා කැඳවීමි. ඔබ මා නෑඳින්න නුමුත් ඔබට නමක් තැබීමි.
5. මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.
6. මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස ඔබ මා නෑඳින්න නුමුත් මම ඔබේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත.
7. එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේ යයි කියනසේක.
8. එම්බා අහස, ඉහළින් පොද හෙළව, වලාකුල් ධර්මිෂ්ඨකම වගුරුවත්වා. ගැළවීම හටගන්න පිණිස පොළොව ඇරේවා, එකට වැවෙන පිණිස ධර්මිෂ්ඨකමද නැගී ඒවා; ස්වාමීන්වහන්සේ වන මම ඒක සැලැස්වීමි.
9. තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! ඔබ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් ඔබ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?
10. ඔබ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් ඔබ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ.
11. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද ඔහුගේ මැවුම්කාරයාද වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න.
12. පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.
13. ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
14. ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද ඔබ වෙතට පැමිණ ඔබට අයිතිවන්නෝය; ඔව්හු ඔබ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව ඔබ වෙතට පැමිණ ඔබට වැඳ: සැබවින්ම ඔබ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් ඔබට කන්නලව්කරන්නෝයයි කියනසේක.
15. ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය.
16. දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය.
17. නුමුත් ස්වාමීන්වහන්සේ විසින් සදාකාල ගැළවීමකින් ඉශ්‍රායෙල් ගළවනු ලබන්නෝය. ඔබ සැම සදාකාලයටම ලජ්ජාවටවත් වියවුල් බවටවත් නොපැමිණ සිටිනවා ඇත.
18. මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත.
19. මා කථාකළේ රහසින් නොවේය, පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨ දේ කියමි, යුතු දේ ප්‍රකාශකරමි.
20. ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.
21. ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත.
22. පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
23. සියලු දණහිස් මට නැමෙනවා ඇත. සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය.
24. ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.
25. මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ තුළම ධර්මිෂ්ඨකරනු ලැබ පාරට්ටුකරගන්නවා ඇත.

යෙසායා 46:1-13
1. බේල් පහත්වෙයි, නෙබෝ නැමෙයි; ඒවායේ රූප මෘගයින් පිටද සිව්පාවුන් පිටද තිබේ. ඔබ සැම විසින් ගෙනගිය ඒවා වෙහෙසවෙන මෘගයන් පිට බරක් කොට පටවා තිබේ.
2. ඒ දෙවිවරු එක්ව නැමී පහත්වෙති; ඒ බර ගළවාගන්ට නොහැකිව, තුමූම වහල්කමට ගොස් සිටිති.
3. ගර්භයේ සිට මා විසින් උසුලනලද්දාවූ, කුසේ සිට ගෙනයනලද්දාවූ යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ ඉතිරිවූ සියල්ලෙනි, මාගේ වචන අසන්න:
4. මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම ඔබ සැම උසුලන්නෙමි. මම සෑදීමි, මමම ඔබ සැම දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි.
5. අප එකාකාර වන සේ ඔබ සැම මා සමාන කරන්නෙත් එක සම කරන්නෙත් සදෘශ කරන්නෙත් කාටද?
6. වස්තුකාරයෝ මල්ලෙන් ගන්න රන්ද රිදීද තරාදියෙන් කිරා, රන්කරුවෙකු කුලියට ගෙන, ඒවායින් දෙවිකෙනෙකු සාදවාගෙන, ඊට වැඳවැටී නමස්කාරකෙරෙති.
7. ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.
8. මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න.
9. පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත.
10. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.
11. මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න තැනන්වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.
12. ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මාගේ වචන අසන්න.
13. මාගේ ධර්මිෂ්ඨකම ළංකරන්නෙමි, ඒක ඈත්ව නොතිබෙන්නේය, මාගේ ගැළවීමද ප්‍රමාද නොවන්නේය; මාගේ ගෞරවයවූ ඉශ්‍රායෙල්ට සියොන්හි ගැළවීම දෙන්නෙමි.

ගීතාවලිය 111:1-6
1. ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසාකරව්. අවංකයින්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් ස්වාමීන් ට ස්තුති කරන්නෙමි.
2. ස්වාමීන් ගේ ක්‍රියා මහත්ය, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහිකරති.
3. උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
4. උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය.
5. උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක.
6. උන්වහන්සේ ජාතීන්ගේ උරුමය තමන් සෙනඟට දීමෙන් තමන් ක්‍රියා බලය ඔවුන්ට පෙන්වූසේක.

හිතෝපදේශ 26:10-10
10. අඥානයෙකු කුලියට ගන්නාද මග යන්නන් කුලියට ගන්නාද සියල්ලන්ට තුවාලකරන දුනුවායෙකු මෙනි.

ගලාති 5:1-26
1. ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.
2. ඉදින් ඔබ සැම චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් ඔබ සැමට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම ඔබ සැමට කියමි.
3. එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි.
4. ව්‍යවස්ථාව කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන්ට සතුටුවූ ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්කරනලද්දහුය. ඔබ සැම අනුග්‍රහයෙන් වැටී සිටින්නහුය.
5. මක්නිසාද අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුව ගැන බලාසිටිමුව.
6. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.
7. ඔබ සැම හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස ඔබ සැමට බාධාකළේ කවුද?
8. ඔය පෙලඹීම ඔබ සැම කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය.
9. මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය.
10. ඔබ සැම වෙන කල්පනාවකින් යුක්තව සිටින්නේ නැත කියා ස්වාමීන්වහන්සේ තුළ මම ඔබ සැම ගැන විශ්වාසකරමි. නුමුත් ඔබ සැමව වියවුල්කරන තැනැත්තේ කවරෙක් නුමුත් ඔහු තමාගේ දඬුවම විඳිනවා ඇත.
11. නුමුත් සහෝදරයෙනි, මම තවම චර්මඡේද්‍යය ප්‍රකාශකරම් නම් මක්නිසා තවම පීඩාකරනු ලබම්ද? එසේවී නම් කුරුසියේ බාධාව පහකරන ලද්දේය.
12. ඔබ සැමව වියවුල්කරන්නෝ තමුන්ම සිඳගන්නෝ නම් කැමැත්තෙමි.
13. මක්නිසාද, සහෝදරයෙනි, ඔබ සැම නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් ඔබ සැමගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.
14. මක්නිසාද: ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ,
15. නුමුත් ඔබ සැම එකිනෙකා විකාකන්නහු නම්, ඔබ සැම එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.
16. නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට ඔබ සැම මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.
17. මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. ඔබ සැම කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.
18. නුමුත් ඔබ සැම ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, ඔබ සැම ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය.
19. ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;
20. රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;
21. වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම ඔබ සැමට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් ඔබ සැමට කියමි.
22. නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,
23. විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
24. තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.
25. අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු. නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.