A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 23

යෙසායා 37:1-38
1. තවද හෙසකියා රජ ඒ අසා, තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පෙරවාගෙන, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ඇතුල්වී,
2. ගෝණි රෙදි හැඳගත් රජගෙදර ප්‍රධානියාවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට හැරියේය.
3. ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය-අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්නට ශක්තිය නැත.
4. ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචන ගැන උන්වහන්සේ තර්ජනයක් කරනවා ඇත. එබැවින් තවම ඉතුරුව සිටින සෙස්සන් උදෙසා ඔබේ යාච්ඤාව ඔප්පුකරන්නැයි කීවෝය.
5. මෙසේ හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමුණුණෝය.
6. යෙසායා ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාසකොට කීවාවූ වචනවලට භය නොවන්න.
7. ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි ඔබ සැමගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
8. අෂූර්හි රජු ලාකීෂ් හැර ගිය බව රබ්-ෂාකේ අසා ආපසු ගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.
9. කූෂ්හි රජවූ තිර්හකා තමාට විරුද්ධව යුද්ධ කරන්ට එන්නේයයි ඔහුට සැලවිය. ඔහු ඒ අසා හෙසකියා ළඟට පණිවිඩකාරයන් එවමින් කියනුයේ:
10. ඔබ සැම යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න-අෂූර්හි රජුට යෙරුසලම අසු නොවන්නේය කියා ඔබව රවටන්ට ඔබ විශ්වාසකරන ඔබේ දෙවියන්ට ඉඩ නොදෙන්න.
11. ඉතින් අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශකර දැමූ බව ඔබ අසා තිබේ. එසේ නම් ඔබ ගැළවෙනවා ඇද්ද?
12. මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද?
13. හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය.
14. හෙසකියා පණිවිඩකාරයන්ගේ අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක දිගහැර,
15. ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කරමින්:
16. කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ, ඔබ පමණක්ම, දෙවියන්වහන්සේය; අහසත් පොළොවත් මැවුවේ ඔබවහන්සේය.
17. ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරීබ් කියා එවූ වචන ඇසුව මැනව.
18. ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් සියලු දේශවාසීන්ද ඔවුන්ගේ රටවල්ද පාළුකොට,
19. ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තවූ ලී සහ ගල්ව තිබුණේය. ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.
20. එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
21. එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරීබ් ගැන ඔබ මට යාච්ඤාකළ බැවින්,
22. ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-සියොන් කන්‍යා දුව ඔබ සුළු කරනවාය, ඔබට සරදම්කරනවාය; යෙරුසලම් දුව ඔබට පස්සෙන් ඉස වනනවාය.
23. ඔබ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? ඔබ හඬ නැගුවෙත් උඩඟුවෙන් ඔබේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.
24. ඔබේ සේවකයන් ලවා ඔබ ස්වාමීන්වහන්සේ ට අපහාසකරවා කථාකොට-මාගේ රථ රාශිය සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත පළාත්වලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපාදමන්නෙමි. එහි උයන් වතු සහිත වනය වන ඉතා දුරවූ උස් ප්‍රදේශයටත් ඇතුල්වන්නෙමි.
25. මම හාරා වතුර බීවෙමි, මාගේ පය තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය.
26. මම බොහෝ කාලයක සිට එය අභිප්‍රායකර පුරාණයේ දවස්වල පටන් එය නියමකළ බව ඔබ ඇසුවේ නැද්ද? දැන් ඔබ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ටකෙළෙමි.
27. එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැළඹී වියවුල්වූහ; ඔව්හු කෙතෙහි තෘණද, අමු පලාද, පියසි උඩ තණකොළද, වැඩෙන්ට පළමුවෙන් වේළුණු ගොයම්ද මෙන් වූවෝය.
28. නුමුත් මම ඔබේ හිදීමද ඔබේ යාම ඊමද මට විරුද්ධව තිබෙන ඔබේ කැරළිකාරකමද දනිමි.
29. මට විරුද්ධව තිබෙන ඔබේ කැරළිකාරකම නිසාද ඔබේ අහංකාර වචන මාගේ කන්වලට පැමුණුණ නිසාද ඔබේ නාසයේ මාගේ වළල්ලත් ඔබේ කටේ මාගේ කටකලියාවත් දමා, ඔබ ආ මාර්ගයෙන් ඔබ හරවායවන්නෙමි යනුයි.
30. මේ වනාහි ඔබට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් ඔබ සැම කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ ඔබ සැම වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
31. යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළ ඵල දරනවා ඇත.
32. මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදී යන ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත. සේනාවල ස්වාමීන්වහන්සේ ජ්වලිතය මෙය ඉෂ්ටකරන්නේය.
33. එබැවින් ස්වාමීන්වහන්සේ අෂූර්හි රජු ගැන මෙසේ කියනසේක: ඔහු මේ නුවරට ඇතුල්වෙන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිටට පලිහක් රැගෙන එන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත.
34. ඔහු මේ නුවර තුළට නෑවිත් ආ මගින්ම හැරී යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
35. මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම මේක ආවරණය කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා හැරියේය.
36. ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ ගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.
37. එවිට අෂූර්හි රජවූ සෙනකෙරීබ් පිටත්ව හැරී ගොස් නිනිවෙහි වාසයකෙළේය.
38. තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රවූ අද්‍රමෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට සැඟවී ගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජවිය.

යෙසායා 38:1-22
1. ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: ඔබේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද ඔබ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
2. එවිට හෙසකියා තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරමින්:
3. අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.
4. එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙසායා වෙතට පැමිණ කියනුයේ:
5. ඔබ ගොස් හෙසකියාට මෙසේ කියන්න-ඔබේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි, ඔබේ කඳුළු දුටිමි. ඔබේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.
6. මම අෂූර්හි රජුගේ අතින් ඔබ සහ මේ නුවර ගළවා, මේ නුවර ආවරණයකරන්නෙමි.
7. ස්වාමීන්වහන්සේ කී දේ උන්වහන්සේ ඉෂ්ටකරන බවට උන්වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේය:
8. බලව, ආහාස්ගේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සෙවණැල්ල බැස ගිය තැනින් අංශක දශයක් පස්සට යන්ට සලස්වන්නෙමියි කියන්නැයි කීවේය. එසේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සූර්ය-ඡායාව බැස ගොස් තිබුණු තැනින් අංශක දසයක් පස්සට හැරී ආවේය.
9. යූදාහි රජවූ හෙසකියා රෝගීව සිට සුවපත්වූ පසු ලියූ ලියවිල්ල මේය-
10. මාගේ වයසේ මද්දහනේදී මට මිනීවළේ දොරටුවලට යන්ට වෙන්නේය, මාගේ ඉතිරි අවුරුදු මාගෙන් පහකර තිබේයයි කීමි.
11. ජීවත්ව සිටින්නන්ගේ දේශයේදී ස්වාමීන්වහන්සේ, එසේය, ස්වාමීන්වහන්සේ දකින්ටවත් ලෝ වැසියන් සමඟ සිට මනුෂ්‍යයන් බලන්ටවත් තවත් මට නොලැබෙන්නේයයි කීමි.
12. එඬේර කූඩාරමක් මෙන් මාගේ වයස මාගෙන් පහකරනු ලැබ මා වෙතින් ගෙනයනලද්දේය. වියන්නෙකු සේ මම මාගේ ජීවිතය අකුලාගතිමි; අළුවෙන් කපාදමන්නාක් මෙන් උන්වහන්සේ මා සිඳ දමනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
13. උදය දක්වා මම කල්පනාකෙළෙමි;‍ උන්වහන්සේ සිංහයෙකු මෙන් මාගේ සියලු ඇට බිඳිනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
14. වැහිලිහිණියෙකු නොහොත් කොකෙකු මෙන් කෑගැසීමි; පරෙවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වලවී තිබේ; අහෝ ස්වාමීන්වහන්ස, මම පීඩා විඳිමි, ඔබ මට ඇපවුව මැනව.
15. මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.
16. ස්වාමීන්වහන්ස, මේවායින්ම මනුෂ්‍යයෝ ජීවත්වෙති, ඒවා කෙරෙහිම මාගේ ආත්මයත් ජීවත්වන්නේය. එබැවින් මා ශක්තිමත්කොට, මා ජීවත්කළ මැනව.
17. බලව, මට තද ශෝකය පැමුණුණේ මාගේ සමාදානය පිණිසය. නුමුත් ඔබ මාගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා විනාශය නැමති වළෙන් එය මුදාගත්සේක; එසේය, ඔබ මාගේ පව් සියල්ල ඔබ පිටිපස්සට දැමූසේක.
18. මක්නිසාද ඔබට ප්‍රශංසාකරන්ට මිනී වළටවත් ඔබ වර්ණනාකරන්ට මරණයටවත් බැරිය. වළට බසින්නෝ ඔබගේ විශ්වාසකම ගැන බලා නොසිටින්නෝය.
19. ජීවත්ව සිටින්නා-ජීවත්ව සිටින්නාම-අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.
20. ස්වාමීන්වහන්සේ මා ගළවන්ට සෑදී සිටිනසේක. එබැවින් අපේ ජීවිතයේ සියලුම දවස්වල ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේදී මාගේ ගීතිකා ගායනාකරන්නෙමු.
21. යෙසායා කථාකොට: ඔව්හු අත්තික්කා කැටියක් ගෙන කොටා වණය පිට තබත්වා, එවිට ඔහුට සුවවන්නේයයි කියා තිබුණේය.
22. හෙසකියාද: මා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට යන බවට තිබෙන ලකුණ මොකදැයි අසා තිබුණේය.

ගීතාවලිය 109:14-20
14. ඔහුගේ පියවරුන්ගේ අයුතුකම ස්වාමීන් ඉදිරියෙහි සිහිව පවතීවා, ඔහුගේ පාපය නොමැකේවා.
15. ඔවුන් සිහිවීම ස්වාමීන් විසින් පොළොවෙන් සිඳදමන පිණිස ඒවා උන්වහන්සේ ඉදිරියෙහි නිතරම පවතීවා.
16. මක්නිසාද ඔහු දයා පැවැත්වීම සිහිනොකොට, දුප්පතා හා දිළිඳාද බිඳුණු සිත් ඇත්තාද මරන පිණිස පීඩාකෙළේය.
17. එසේය, ශාපකිරීමට ඔහු ප්‍රියවිය, ඒක ඔහුට පැමුණුණේය; ඔහු ආශීර්වාදකිරීමට ප්‍රිය නොවීය, ඒක ඔහුගෙන් දුරුව තිබුණේය.
18. ඔහු ශාපකිරීම තමාගේ වස්ත්‍රය මෙන් හැඳගත්තේය, එය ඔහු තුළට දිය මෙන්ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන්ද ආයේය.
19. එය තමා පොරවන වස්ත්‍රය මෙන්ද නිතර බඳින ඉඟපටිය මෙන්ද ඔහුට වේවා.
20. මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන් ගෙන් ලැබෙන විපාකය මේය.

හිතෝපදේශ 26:1-1
1. ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබෙන්ය.

ගලාති 1:1-24
1. මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු පියවූ දෙවියන්වහන්සේ කරණකොටගෙන ප්‍රේරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද,
2. මා සමඟ සිටින සියලු සහෝදරයන් විසින්ද, ගලාතියේ සභාවලට ලියා එවන වග නම්:
3. පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද ඔබ සැමට කරුණාවත් සමාදානයත් වේවා.
4. උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවාදුන්සේක.
5. උන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ගෞරවය වේවා. ආමෙන්.
6. ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන ඔබ සැම කැඳවූ තැනන්වහන්සේ කෙරෙන් ඔබ සැම මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරී යනවාට මවිතවෙමි.
7. සමහරු ඔබ සැම කලඹා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පෙරළන්ට කැමතිවා මිස, ඒක වෙන ශුභාරංචියක් නොවේ.
8. නුමුත් අප විසින් ඔබ සැමට ප්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් ඔබ සැමට ප්‍රකාශකරතොත් ඔහු ශාපලද්දෙක් වේවා.
9. ඔබ සැම පිළිගත් ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් යමෙක් ඔබ සැමට දේශනාකරතොත් ඔහු ශාපලද්දෙක් වේවයි අප වරක් කී හැටියටම මම දැන් නැවතත් කියමි.
10. ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.
11. ඉතින්, සහෝදරයෙනි, මා දේශනා කළාවූ ශුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරවූ එකක් නොවන බව ඔබ සැමට දන්වමි.
12. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමෙන් මිස මා එය මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත.
13. මක්නිසාද මා පසුගිය කාලයේ යුදෙව්වරුන්ගේ ආගමෙහි හැසුරුණු අන්දම, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩාකොට එය නාස්තිකළ හැටි, ඔබ සැම ඇසුවහුය.
14. මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝදෙනෙකුට වඩා යුදෙව්වරුන්ගේ ආගමේ වර්ධනයවුණෙමි.
15. නුමුත් මවුකුස පටන් මා වෙන්කළාවූද තමන්ගේ කරුණාව කරණකොටගෙන මා කැඳෙවුවාවූද දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්වහන්සේ ගැන අන්‍යජාතීන් අතරේ මා විසින් දේශනාකරන පිණිස,
16. උන්වහන්සේ මා තුළෙහි ප්‍රකාශකරන්ට කැමතිවූ කෙණෙහිම, මාංසය හා රුධිරය සමඟ මන්ත්‍රණය නොකොට,
17. මට පළමුවෙන් ප්‍රේරිතව සිටියවුන් ළඟට යෙරුසලමට නොගොස්, අරාබියට පිටත්ව ගොස්, නැවත දමස්කයට හැරී ආවෙමි.
18. තවද තුන් අවුරුද්දකට පසු කේපස් දකින පිණිස යෙරුසලමට ගොස්, ඔහු සමඟ පසළොස් දවසක් නැවතී සිටියෙමි.
19. නුමුත් ස්වාමීන්වහන්සේගේ සහෝදරයා වන යාකොබ් හැර අනික් ප්‍රේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටිමි.
20. මා ඔබ සැමට ලියා එවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව, මෙන්න, දෙවියන්වහන්සේ ඉදිරිපිට කියාසිටිමි.
21. පසුව සිරිය, කිලිකිය යන පළාත්වලට ආවෙමි.
22. ක්‍රිස්තුස්වහන්සේ තුළවූ යුදයේ සභාවෝ ඒතාක්ම මාගේ මුහුණ දැක ඇඳිනගෙන නොසිටියෝය.
23. වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්තිකළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය.
24. ඔව්හු මා ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.