A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 22

යෙසායා 35:1-10
1. වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්ය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.
2. සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොත්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.
3. බෙලහීන අත් බලවත්කර, වෙවුලන දණහිස් සවිකරන්න.
4. භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, ඔබ සැමගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් ඔබ සැම ගළවනසේකැයි කියන්න.
5. එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය.
6. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.
7. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය.
8. එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත.
9. සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය.
10. ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

යෙසායා 36:1-22
1. තවද හෙසකියා රජුගේ දහ හතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරීබ් තෙමේ යූදාහි පවුරු ඇති සියලු නුවරවලට විරුද්ධව අවුත් ඒවා අල්ලාගත්තේය.
2. අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය.
3. එවිට රජ ගෙදර ප්‍රධානියාවූ, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම්වූ ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද ඔහු ළඟට ගියෝය.
4. එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවෝ මෙසේ කියන්නාහ-ඔබ විශ්වාසය තබන ඔය දේ මොකක්ද?
5. යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන ඔබේ කීම හිස් වචනය. ඉතින් ඔබ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?
6. බලව, ඔබ විශ්වාසකරන්නේ ඒ තැළුණු බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බරවුණොත් ඒක ඔහුගේ අතේ ඇනී හිල්වන්නේය. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එයාකාරය.
7. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසකරමුයයි ඔබ සමහර විට මට කියනවා ඇත. නුමුත්: ඔබ සැම මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ උන්වහන්සේගේ උස් තැන් හා පූජාසන නොවේද?
8. ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට ඔබට පුළුවන් නම්, ඔබ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
9. එසේ ඔබට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?
10. මා දැන් මේ දේශය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? ඒ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා හෙසකියාට කියන්නැයි කීවේය.
11. එකල එලියාකීම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේට කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙවු භාෂාවෙන් අපට කථා නොකොට, ඔබේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් අපට කථාකළ මැනවියි කීවෝය
12. නුමුත් රබ්-ෂාකේ කථාකොට: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ ඔබේ ස්වාමියාත් ඔබත් ළඟටද? නොහොත් පවුර පිට ඉඳගන ඉන්න මනුෂ්‍යයන් විසින් ඔබ සැම සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මුත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට මා එවුවා නොවේදැයි කීවේය.
13. එකල රබ්-ෂාකේ නැගිට සිට යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජවූ මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න.
14. ඔබ සැම රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න; මක්නිසාද ඔබ සැම ගළවාගන්ට ඔහුට බැරිය.
15. ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නාසේක කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ සැම විශ්වාසකරවන්ට හෙසකියාට ඉඩනාරින්න.
16. හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද අෂූර්හි රජ මෙසේ කියන්නේය-මා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න.
17. එවිට මම ඇවිත් ඔබ සැමගේ දේශයට සමානවූ දේශයකට, ධාන්‍ය හා මුද්‍රිකපානයද කෑම හා මිදිවතුද ඇති දේශයකට ඔබ සැම ගෙනයන තුරු, ඔබ සැම කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන.
18. ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නසේකැයි කියා හෙසකියා ඔබ සැම නොපොළඹවන ලෙස බලාගන්න. ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කවුරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද?
19. හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හි දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද?
20. ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන්වන ලෙස තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ ඒ දේශවල සියලු දෙවිවරුන්ගෙන් කවුරුදැයි කීවේය.
21. නුමුත් ඔව්හු ඔහුට කිසි උත්තරයක් නොදී නිශ්ශබ්දව සිටියෝය. මක්නිසාද: ඔහුට උත්තර දෙන්ට එපාය කියා රජුගේ ආඥාවක් තිබුණේය.
22. එවිට රජගෙදර ප්‍රධානියා වන, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.

ගීතාවලිය 109:6-13
6. ඔහු කෙරෙහි දුෂ්ටයෙකු පත්කළ මැනව. විරුද්ධකාරයෙක් ඔහුගේ දකුණතින් සිටීවා.
7. විනිශ්චයේදී ඔහු වරදකාරයෙක් වේවා; ඔහුගේ යාච්ඤාවද පාපයක් වේවා.
8. ඔහුගේ දවස් ස්වල්ප වේවා, ඔහුගේ තනතුර අනිකෙක් ගනීවා,
9. ඔහුගේ දරුවෝ පියා නැත්තෝ වෙත්වා, ඔහුගේ භාර්යාවද වැන්දඹුවක් වේවා.
10. ඔහුගේ දරුවෝ පාදඩයෝව සිඟාකත්වා; ඔව්හු තමුන්ගේ පාළු ඉඩම්වලින් කෑම සොයත්වා.
11. ණය හිමියා ඔහු සන්තක සියල්ලම අල්වා ගනීවා; විදේශියෝ ඔහුගේ උත්සාහයේ ලාභය කොල්ලකත්වා.
12. ඔහුට කරුණාකරන්ට කිසිවෙක් නොවේවා; ඔහුගේ පියා නැති දරුවන්ට අනුකම්පාකරන්ට කිසිවෙක් නොසිටීවා.
13. ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.

හිතෝපදේශ 25:27-28
27. බොහෝ මීපැණි කෑම හොඳ නැත; එමෙන්ම මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ.
28. තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.

2 කොරින්ති 13:1-14
1. මේක මා ඔබ සැම ළඟට එන තුන්වෙනි වතාවය. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේවත් තුන්දෙනෙකුගේවත් මුඛයෙන් සියලු වචන ස්ථිරකරනු ලැබේ.
2. මම නැවත ආවොත් මේ දක්වා පව්කළවුන්ටද අනික් සියල්ලන්ටද අච්චු නොකර නාරින්නෙමියි කියා මම දෙවෙනි වතාවේ ළඟ සිටියදී කලින් කී ලෙස, දැන් ඈත්ව සිටියදීත් කලින් කියමි.
3. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා තුළ කථාකරන බවට ඔබ සැම ඔප්පුවක් සොයන්නහුය; උන්වහන්සේ ඔබ සැම කෙරෙහි දුර්වලව නොව ඔබ සැම අතරෙහි බලවත්ව සිටිනසේක.
4. මක්නිසාද උන්වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණගසනු ලැබූ නුමුත් දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත්වනසේක. එසේම අපිද උන්වහන්සේ තුළෙහි දුර්වලව සිටින නුමුත් උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් ඔබ සැම උදෙසා ජීවත්වන්නෙමුව.
5. ඔබ සැම ඇදහිල්ලෙහි සිටිනවාද කියා ඔබ සැමම පරීක්ෂාකර බලන්න; ඔබ සැමවම සෝදිසිකර බලන්න. නොහොත්, ඔබ සැම එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම තුළෙහි වසන බව ඔබ සැමම නොදනිවුද?
6. නුමුත් අප එපාකරනලද තැනැත්තන් නොවන බව ඔබ සැම දැනගන්නවා ඇතැයි බලාපොරොත්තුවෙමි.
7. නුමුත් ඔබ සැම කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන්වහන්සේට යාච්ඤාකරමුව. එසේ කරන්නේ අපි ඒත්තුගත් තැනැත්තන් බව පෙනෙන පිණිස නොව, අපි එපාකරනලද තැනැත්තන් මෙන් වූ නුමුත්, ඔබ සැම විසින් ගරුකටයුතු දේ කරන පිණිසය.
8. මක්නිසාද සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්නට අපට බැරිය.
9. අප දුර්වලව ඔබ සැම බලවත්ව සිටින කල අපි ප්‍රීතිවෙමුව. තවද ඔබ සැමගේ සම්පූර්ණවීම සඳහා අපි යාච්ඤාද කරමුව.
10. මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා ඔබ සැම ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි.
11. ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න, සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ වනසේක.
12. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
13. සියලු ශුද්ධවන්තයෝ ඔබ සැමට ආචාර කරති.
14. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිකමද ඔබ සැම සියල්ලන් හා සමඟ වේවා.