A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 20

යෙසායා 30:1-33
1. පාපයට පාපය එකතුකරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නාවූද, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නාවූද,
2. ඵාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකරන්ටත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරයට යාමට පිටත්වෙන්නාවූද, කැරළිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
3. එබැවින් ඵාරාවෝගේ ශක්තිය ඔබ සැමට ලජ්ජාවක්ද මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකිරීම ඔබ සැමට වියවුලක්ද වන්නේය.
4. මක්නිසාද ඔහුගේ අධිපතීහු ශොවන්හි සිටිති, ඔහුගේ තානාපතීහුද හානේස්ට ඇවිත් සිටිති.
5. ඔවුන් සියල්ලෝම තමුන්ට ප්‍රයෝජන නොවන්නාවූ, ලජ්ජාවක් සහ නින්දාවක් පමුණුවනවා මිස පිහිටක් හෝ උපකාරයක් නොවන්නාවූ සෙනඟක් ගැන ලජ්ජාවන්නෝය.
6. දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය. සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලි පිටද තබා තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට ගෙනයති.
7. මිසරයේ උදව්ව නිෂ්ඵලය, නිරර්ථකය. එබැවින් නිකම් ඉන්න රාහබ්යයි ඈට නම් තැබුවෙමි.
8. ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස ඔබ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
9. මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.
10. ඔව්හු දිවස් ඇත්තන්ට: ඔබ සැම දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: ඔබ සැම හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
11. ඔබ සැම මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.
12. එබැවින් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම මේ වචනය සුළුකර, බලාත්කාරකම සහ වංකකම කෙරෙහි විශ්වාසකොට,
13. ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ බිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් ඔබ සැමට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.
14. ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් උන්වහන්සේ ඒක බිඳිනසේක.
15. මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන ඔබ සැම ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් ඔබ සැමට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් ඔබ සැම අකමැතිවී කථාකොට:
16. එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් ඔබ සැම පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි ඔබ සැම කීවහුය; එබැවින් ඔබ සැම ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.
17. ඔබ සැම කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද ඔබ සැම පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.
18. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමට කරුණාකරන්ට බලා සිටිනසේක. ඔබ සැමට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.
19. මක්නිසාද සෙනඟ සියොන්හි යෙරුසලමේ වාසයකරන්නෝය. ඔබ තවත් අඬන්නේ නැත; උන්වහන්සේ ඔබේ මොරගැසීමේ හඬට ඔබට දයාවෙනවාම ඇත; ඇසුණු කෙණෙහිම උන්වහන්සේ ඔබට උත්තරදෙනවා ඇත.
20. ස්වාමීන්වහන්සේ විපත නැමති කෑමද පීඩාව නැමති වතුරද ඔබ සැමට දෙන නුමුත්, ඔබේ ගුරුවරයා තවත් සැඟවී නොසිටින්නේය, ඔබේ ඇස්වලින් ඔබේ ගුරුවරයා දකින්ටත්,
21. ඔබ සැම දකුණට හැරෙන විටද ඔබ සැම වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි ඔබට පස්සෙන් කියන හඬක් ඔබේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.
22. ඔබේ කැපූ රූපවල රිදී වැස්මත් ඔබේ වාත්තු රූපවල රන් වැස්මත් ඔබ සැම අපවිත්‍රකරන්නහුය. ඔබ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.
23. උන්වහන්සේද ඔබ පොළොවෙහි වපුරන ඔබේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි ඔබේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය.
24. එසේම බිම හාන ගවයෝද තරුණ කොටළුවෝද ස්කෝප්පයෙන් හා කුල්ලෙන් හෙළූ ලුණු මිශ්‍රවූ ගොදුරු කන්නෝය.
25. බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් සහ වතුර දොළවල් වන්නේය.
26. තවද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය. ‍
27. ස්වාමීන්වහන්සේ ගේ නාමය උන්වහන්සේගේ ඇවිළෙන කෝපයද නගින්නාවූ ඝන දුම් කඳක්ද ඇතුව දුර සිට එන්නේය. උන්වහන්සේගේ තොල් උදහසින් පිරී තිබේ, උන්වහන්සේගේ දිවද දවා දමන ගින්නක් මෙන්ය.
28. උන්වහන්සේගේ හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් මෙන් විනාශය නැමති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.
29. ශුද්ධ මංගල්‍යයක් පවත්වන රාත්‍රියේදී මෙන් ගීතිකාවක්ද ස්වාමීන්වහන්සේ ගේ කන්දටත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වෙතටත් පැමිණෙන්ට නළාවක් පිඹිමින් යන අයගේ ප්‍රීතිය මෙන් සිතේ ප්‍රීතියද ඔබ සැමට වන්නේය.
30. ස්වාමීන්වහන්සේ ද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.
31. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ හඬින් අෂූරියයා පොඩිකරනු ලබන්නේය, උන්වහන්සේ තමන් යෂ්ටියෙන් ඔහුට පහරදෙනසේක.
32. ස්වාමීන්වහන්සේ විසින් ඔහු පිටට පමුණුවන්නාවූ නියමකළ සැරයටියේ සියලු පහරවල් සමඟ රබන් ගැසීමත් වීණා ගෑමත් වන්නේය. කලඹන සුලු යුද්ධවලින්ද උන්වහන්සේ ඔහු සමඟ යුද්ධකරනවා ඇත.
33. මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේ ගේ හුස්මට එය ඇවිළීයයි.

යෙසායා 31:1-9
1. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;
2. උන්වහන්සේ තමන්ගේ වචන අවලංගු නොකර, විපත පමුණුවා නපුර කරන්නන්ගේ වංශයටත් අයුතුකම් කරන්නන්ගේ උපකාරයටත් විරුද්ධව නැගිටිනසේක.
3. මිසරවරු දෙවියන්වහන්සේ නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. ස්වාමීන්වහන්සේ තමන් අත දිගුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.
4. මක්නිසාද ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: සිංහයා වූවත් තරුණ සිංහයා වූවත් ඌට විරුද්ධව එඬේරුන් රාශියක් අඬගසනු ලැබූ කල උගේ ගොදුර කෙරෙහි ගොරවා, ඔවුන්ගේ හඬට නොකැලඹී, ඔවුන්ගේ ඝෝෂාවට යටත් නොවී සිටින්නාක්මෙන්ම, සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දද එහි හෙලද පිට සටන්කරන්ට බසිනසේක.
5. පැටවුන් මත්තෙහි කරන කුරුල්ලන්ගේ පියාසරය මෙන් සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලම ආවරණකරනසේක; ඒක ආරක්ෂාකොට ගළවනසේක, එය මතුපිට හැසිරෙමින් ප්‍රවේසම්කරනසේක.
6. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ඔබ සැම විසින් බොහෝසෙයින් අත්හරිනු ලැබූ තැනන්වහන්සේ වෙතට හැරෙන්න.
7. මක්නිසාද පාපයක් වන ලෙස ඔබ සැමගේ අත්වලින් ඔබ සැම සාදාගත්තාවූ ඔබ සැමගේ රිදී රූපද රන් රූපද ඒ දවසෙහි ඔවුන් එකිනෙකා අහක දමනවා ඇත.
8. එකල අෂූරියයා මනුෂ්‍යයාගේ නොවන කඩුවකින් වැටෙන්නේය; මනුෂ්‍යයන්ගේ නොවන කඩුවකින් ඔහු විනාශවන්නේය. ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය, ඔහුගේ තරුණයෝ රාජකාරියට යටත්වන්නෝය.
9. ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

යෙසායා 32:1-20
1. බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද දැහැමින් අධිපතිකම් කරන්නෝය.
2. මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.
3. දකින්නන්ගේ ඇස් අඳුරු නොවන්නේය, අසන්නන්ගේ කන් ඇහුම්කන්දෙන්නේය.
4. ඉක්මන්කාරයන්ගේ සිත දැනගැන්ම තේරුම්ගන්නේය, වික්කලුන්ගේ දිව පහසුවෙන් පැහැදිලිලෙස කථාකරන්නේය.
5. අධමයා උත්තමයෙක්ය කියාවත් ප්‍රයෝගකාරයා ගුණවන්තයෙක්ය කියාවත් තවත් කියනු නොලබන්නේය.
6. මක්නිසාද අධමයා අභක්තික ලෙස හැසිරෙමින්ද ස්වාමීන්වහන්සේ ට විරුද්ධව අපහාස කථාකරමින්ද බඩගිනි අයගේ ප්‍රාණය හිස්කරමින්ද පිපාසා ඇත්තාගේ පානය අහක්කරමින්ද දුෂ්ටලෙස කථාකරන්නේය, ඔහුගේ සිතද අයුතුකම් කරන්නේය.
7. ප්‍රයෝගකාරයාගේ උපකරණ නපුරුය. දිළින්දා යුක්තිය කථාකරන විට පවා ඔහු බොරු වචනවලින් යටහතුන් විනාශකරන්ට දුෂ්ට උපා යොදන්නේය.
8. එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.
9. එම්බා නොසැලකිලි ස්ත්‍රීවරුනි, නැගිටින්න, මාගේ හඬ අසන්න; අප්‍රවේසම් දූවරුනි, මාගේ බසට ඇහුම්කන්දෙන්න.
10. අප්‍රවේසම් තැනැත්තියෙනි, අවුරුද්දකට වැඩි කාලයකින් ඔබ සැම කැලඹෙන්නහුය. මක්නිසාද මුද්‍රිකඵල ඉවරවන්නේය; ඵල නෙළාගැනීමක් නොපැමිණෙන්නේය.
11. නොසැලකිලි ස්ත්‍රීවරුනි, වෙවුලන්න; අප්‍රවේසම් තැනැත්තියෙනි, චංචලවෙන්න; වස්ත්‍ර ගළවා දමා, නිර්වස්ත්‍රවී, ඉඟටිවල ගෝණිරෙදි බැඳගන්න.
12. ඔව්හු ප්‍රසන්න කෙත් ගැනත් සාරවත් මිදිවැල් ගැනත් ළයට ගසාගන්නෝය.
13. මාගේ සෙනඟගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය.
14. මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.
15. එසේවන්නේ උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය.
16. එකල යුක්තිය කාන්තාරයෙහි වාසයකරන්නේය, ධර්මිෂ්ඨකම උයනෙහි පවතින්නේය.
17. ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.
18. මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.
19. නුමුත් වනය වැටීයාමේදී ගල්වර්ෂාවක් වහිනවා ඇත;
20. නුවරද සහමුලින්ම පහත්කමට පැමිණෙනවා ඇත. සෑම දියපාරවල් ළඟ වපුරන්නාවූ, ගොනාගෙත් කොටළුවාගෙත් පාද මුදන්නාවූ ඔබ සැම වාසනාවන්තයෝය.

ගීතාවලිය 108:7-13
7. දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක; මම ප්‍රීතිමත්වන්නෙමි. ෂෙකෙම් බෙදන්නෙමි, සුක්කොත් මිටියාවත මැනදෙන්නෙමි.
8. ගිලියද් මාගේය; මනස්සේ මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය.
9. මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි.
10. බලකොටු සහිත නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොමට මා ගෙනගියේ කවුද?
11. දෙවියන්වහන්ස, ඔබ අප පහනොකළසේක්ද? දෙවියන්වහන්ස, ඔබ අපේ සේනාවන් සමඟ නොයනසේක.
12. එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව, මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.
13. දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා හෙළන්නේ උන්වහන්සේය.

හිතෝපදේශ 25:23-24
23. උතුරු හුළඟ වර්ෂාව ගෙනෙයි; එසේම කේලාම්කියන දිව තරහ මුහුණක් උපදවයි.
24. ඩබරකාර ස්ත්‍රියෙක් සමඟ පොදුගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.

2 කොරින්ති 11:16-33
16. මා අඥානයෙක්ය කියා කිසිවෙක් නොසිතාවයි මම නැවත කියමි; නුමුත් ඔබ සැම එසේ සිතුවත් මාත් මඳක් පාරට්ටුකරගන්න පිණිස අඥානයෙකු හැටියට මා පිළිගන්න.
17. පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි.
18. මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි.
19. මක්නිසාද ඥානවන්තව සිටින ඔබ සැම, අඥානයන් ගැන සන්තෝෂයෙන් ඉවසන්නහුය.
20. යමෙක් ඔබ සැම වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් ඔබ සැම කාදමන්නේ නුමුත්, යමෙක් ඔබ සැම අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් ඔබ සැමගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, ඔබ සැම ඉවසන්නහුය.
21. අපි නම් දුර්වලව සිටියෙමුය කියා අවනම්බුවක් වශයෙන් කියමි. එසේවී නුමුත් කොයි කාරණයකදීවත් යමෙක් නිර්භීත නම් මමත් නිර්භීතව සිටිමියි අඥානලෙසින් කියමි.
22. ඔව්හු හෙබ්‍රෙව්වරුද? මමත් එසේමය. ඔව්හු ඉශ්‍රායෙලිතයෝද? මමත් එසේමය. ඔව්හු ආබ්‍රහම්ගේ වංශයද? මමත් එසේමය.
23. ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.
24. යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුන් සතළිසක් පහරකෑවෙමි.
25. තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි.
26. තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රවවලටද;
27. වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි.
28. බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය.
29. යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද?
30. මා විසින් පාරට්ටුකරන්ට යුතු නම් මාගේ දුර්වලකම සම්බන්ධ කාරණා ගැන පාරට්ටුකරන්නෙමි.
31. මා බොරු නොකියන බව අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ පියවූ සදාකල්ම ප්‍රශංසනීයවූ දෙවියන්වහන්සේ දන්නාසේක.
32. දමස්කයේදී අරෙතස් රජු යටතේවූ ආණ්ඩුකාරයා මා අල්ලන පිණිස දමස්කවරුන්ගේ නුවර මුර සිටුවා රැකසිටි විට,
33. මම කූඩයක ලා කවුළුවක සිට පවුරෙන් බස්වනු ලැබ, ඔහුගේ අත්වලින් ගැළවුණෙමි.