A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 2

ප්‍රේම ගී 3:1-11
1. රාත්‍රියෙහි මාගේ යහනේදී මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සෙවීමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.
2. ඉතින් මම නැගිට නුවර වීදිවලද එළිමහන් තැන්හිද ඇවිද: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සොයන්නෙමියි කීයෙමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.
3. නුවර ඇවිදින රැකවලුන් මට සම්බවී: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා දුටුවහුදැයි ඇසීමි.
4. මා මදක් දුර ඔවුන් පසුකර ගියවිට, මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා මට සම්බවිය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙටත් මා බිහිකළ තැනැත්තියගේ ඇතුල් ගෙටත් ඔහු පමුණුවන තෙක් ඔහු යන්ට නෑරියෙමි.
5. යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදු වන ලෙසත් වනයේ මුවදෙනුන් සහ ඕලුදෙනුන් නමින් ඔබ සැම දිවුරවමි.
6. ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?
7. බලව, ඒ සාලමොන්ගේ දෝලාවය; ඉශ්‍රායෙල් බලවතුන්ගෙන් බලවන්තයන් සැටදෙනෙක් එය පිරිවරා සිටිති.
8. ඔවුන් සියල්ලෝ කඩුගත් යුද්ධ දක්ෂයෝය. රාත්‍රියෙහි භය නිසා එකිනෙකා තම තමාගේ කඩුව කළවයේ බැඳගෙන සිටියි.
9. සාලමොන් රජ ලෙබනොන්හි ලී වලින් යහනාවක් සාදාගත්තේය.
10. එහි කණු රිදීයෙන්ද එහි පතුළ රනින්ද, එහි ආසනය රත්නිල් රෙදිවලින්ද සෑදීය, එහි ඇතුළත යෙරුසලමේ දූවරුන්ගේ ප්‍රේම ලකුණෙන් සරසනලද්දේය.
11. සියොන් දූවරුනි, පිටත ගොස්, සාලමොන් ස්වකීය සරණවීමේ දවසේදී, තමාගේ සිතේ ප්‍රීතියේ දවසේදී, ඔහුගේ මෑණියන් විසින් ඔහුට පැළඳෙවු ඔටුන්න පැළඳ සිටිනවා බලන්න.

ප්‍රේම ගී 4:1-16
1. බලව, මාගේ සොඳුර, ඔබ රුව ඇත්තීය; එසේය ඔබ රුව ඇත්තීය; ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන් වැනිය. ඔබේ වරලස ගිලයද් කඳු බෑවුමෙහි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.
2. ඔබේ දත් වනාහි තනිවූ එකෙක්වත් නැතුව, සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, ලොම් කපා නාවනු ලැබ නැගීඑන්නාවූ බැටළු රැළකට සමානය.
3. ඔබේ තොල් රතු නූලක් මෙන්ය, ඔබේ මුඛය ශෝභමානය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය.
4. ඔබේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය.
5. ඔබේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය.
6. දවාල සිසිල්වී සෙවණැලි පහව යනතුරු මම ගන්ධරස කන්දටත් තුවරලා හෙලටත් යන්නෙමි.
7. මාගේ සොඳුරිය, ඔබ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය.
8. මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න.
9. මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, ඔබ මාගේ සිත අල්ලාගත්තෙහිය; ඔබේ එක ඇසකින්, ඔබේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.
10. මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරිද! ඔබේ ප්‍රේමය මුද්‍රිකපානයටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ හොඳද!
11. මාගේ මනමාලිය, ඔබේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි. ඔබේ දිව යට මීපැණිත් කිරිත් තිබේ; ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන්ය.
12. මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්‍රාකර තිබෙන උල්පතක්ය.
13. ඔබේ පැලෑටි පංක්තිය වනාහි දෙළුම් ගසුත් අනර්ඝ ඵල ගසුත් සපු සහ ජටාමාංසත්
14. ජටාමාංස හා කුංකුමත් වදකහ සහ කුරුඳුත් සෑම තුවරලා ගසුත් ගන්ධරස හා අගිල්ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍යද දරන ගසුත් යන මේවාය.
15. ඔබ උයන් උල්පතකුත් ජීවමාන දිය ඇති ළිඳකුත් ලෙබනොන් සිට ගලායන ඔයවලුත්ය.
16. එම්බා, උතුරු හුළඟ, පිබිදෙන්න; දකුණු හුළඟ, එන්න; මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට හමාඑන්න. මාගේ ප්‍රේමවන්තයා තමාගේ උයනට ඇවිත් තමාගේ අනර්ඝ ඵල කෑවාවේ.

ගීතාවලිය 104:10-23
10. උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක. ඒවා කඳු අතරේ ගලායයි.
11. ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති.
12. ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති.
13. උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.
14. උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,
15. මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
16. ස්වාමීන් ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති;
17. එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය.
18. උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ.
19. උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි.
20. ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ; එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති.
21. තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති.
22. හිරු උදාවන කල උන් පහවගොස් උන්ගේ ගුහාවල ලගිති.
23. මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි.

හිතෝපදේශ 24:17-18
17. ඔබේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද ඔබේ සිත ප්‍රීතිමත් නොවේවා.
18. නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.

1 කොරින්ති 12:1-31
1. සහෝදරයෙනි, ආත්මික දීමනා ගැන ඔබ සැම නොදැන සිටිනවාට නොකැමැත්තෙමි.
2. ඔබ සැම අන්‍යදෘෂ්ටීන්ව සිටියදී යම්සේ ගෙන යනු ලැබුවහුද එලෙසම ඔබ සැම ගොළු දේවතාරූප වෙතට ගෙනයනු ලැබූබව ඔබ සැම දන්නහුය.
3. එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් ඔබ සැමට දන්වමි.
4. ඉතින් නානාප්‍රකාර දීමනා ඇත්තේය, නුමුත් එක ආත්මයාණන් වහන්සේය.
5. නානාප්‍රකාර සේවයකිරීම් ඇත්තේය, නුමුත් එක ස්වාමීන්වහන්සේය.
6. නානාප්‍රකාර ක්‍රියාකිරීම් ඇත්තේය, නුමුත් සියල්ලන් තුළෙහි සියල්ල කරවන්නේ එක දෙවියන්වහන්සේය.
7. නුමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය.
8. කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,
9. එම ආත්මයාණන්වහන්සේ තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයාණන්වහන්සේ තුළ තවත් කෙනෙකුට සුවකිරීමේ දීමනාවද, තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද,
10. තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.
11. නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක.
12. මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වූවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක.
13. මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව.
14. මක්නිසාද ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවයෝය.
15. ඉදින් පාදය: මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ.
16. කන: මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ.
17. මුළු ශරීරය ඇසක් නම් ඇසීම කොයිද? මුළු ශරීරය ඇසීම නම් ගඳදැනීම කොයිද?
18. නුමුත් දෙවියන්වහන්සේ තමන්ගේ කැමැත්ත ලෙස ඒ සියලු අවයවයන් වෙන වෙනම ශරීරයේ තැබූසේක.
19. ඒ සියල්ල එකම අවයවයක් වීනම් ශරීරය කොයිද?
20. නුමුත් දැන් බොහෝ අවයවයන් ඇති නුමුත් එක ශරීරයක්ය.
21. ඔබ මට ඕනෑ නැතැයි අතට කියන්ට ඇසටවත්, ඔබ සැම මට ඕනෑ නැතැයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන.
22. එසේය, ශරීරයේ වඩා ඕනෑකරන්නේ වඩා දුර්වලව පෙනෙන අවයවයෝය.
23. ශරීරයේ වඩා නම්බු රහිතයයි අප සිතන කොටස්වලට වඩා නම්බු දෙමුව; මෙසේ අපගේ අශෝභනවූ කොටස්වලට වඩා ශෝභනකම ලැබේ.
24. නුමුත් අපගේ ශෝභනවූ කොටස්වලට එසේ ඕනෑ නැත. නුමුත් ශරීරයෙහි කිසි භේදයක් නොව අවයව එකිනෙක ගැන එකාකාර සලකන පිණිස,
25. දෙවියන්වහන්සේ අඩුකම් ඇති කොටසට වඩා නම්බු දී, ශරීරය සංයෝජනය කළසේක.
26. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.
27. ඉදින් ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති.
28. මෙසේ දෙවියන්වහන්සේ පළමුකොට ප්‍රේරිතයන්ද දෙවනුව අනාගතවක්තෘවරුන්ද තුන්වෙනුව ගුරුවරුන්ද ඊළඟට ආශ්චර්ය කරන්නන්ද පසුව සුවකිරීමේ දීමනාද උපකාරද ආණ්ඩුද නානා වර්ග භාෂාද සභාවෙහි පිහිටෙවුසේක.
29. සියල්ලෝම ප්‍රේරිතයෝද? සියල්ලෝම අනාගතවක්තෘවරුද? සියල්ලෝම ගුරුවරුද?
30. සියල්ලෝම ආශ්චර්යකරන්නෝද? සුවකිරීමේ දීමනා සියල්ලන්ටම ඇත්තේද? සියල්ලෝම අන් භාෂාවලින් කථාකරන්නෝද? සියල්ලෝම තේරුම්කර දෙන්නෝද?
31. නුමුත් වඩා උතුම් දීමනාවලට ආශාවෙන්න. තවද ඊටත් වඩා උතුම් මාර්ගයක් මම ඔබ සැමට පෙන්වමි.