A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 18

යෙසායා 27:1-13
1. ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.
2. ඒ දවසෙහි ප්‍රියකරු මිදිවත්තක් ඇතිවේ,
3. ඒ ගැන ගීතිකාකරන්න. ස්වාමීන්වහන්සේ වන මම ඒක ආරක්ෂාකරමි; මොහොතින් මොහොත ඊට වතුර වත් කරන්නෙමි. කිසිවෙක් ඊට අන්තරා නොකරන ලෙස මම රෑ දාවල් ඒක ආරක්ෂාකරන්නෙමි.
4. මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි.
5. නැතහොත් ඔහු මාගේ ශක්තිය අල්වාගෙන මා සමඟ සමාදාන වේවා; එසේය, ඔහු මා සමඟ සමාදාන වේවා.
6. මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්‍රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.
7. ඔහුට පහරදුන් අයට උන්වහන්සේ පහරදුන්නාක්මෙන් උන්වහන්සේ ඔහුටත් පහරදුන්සේක්ද? නොහොත් ඔවුන් මැරුම්කෑවා වාගේ ඔහු මැරුම් කෑවේද?
8. ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.
9. එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.
10. මක්නිසාද බලකොටු නුවර කාන්තාරය මෙන් පාළුවූ අත් අරිනලද නිවාසයක්ව, හුදකලාව තිබේ. වස්සා ඒකේ තෘණ කන්නේය, ඌ එහි ලැග ඒකේ අතු කන්නේය.
11. ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
12. තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල නෙළාගන්නාසේක. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ඔබ සැම එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය.
13. තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ ට නමස්කාරකරන්නෝය.

යෙසායා 28:1-29
1. එප්‍රායිම් බේබද්දන්ගේ උදාරතර ඔටුන්නටත් මුද්‍රිකපානයට වසඟවෙන්නන්ගේ සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන එහි අලංකාර දීප්තිමත්කම වන පරවෙන මලටත් දුක් වේ!
2. බලව, ස්වාමීන්වහන්සේ ගේ බලවත්වූ සවිවූ කෙනෙක් සිටින්නේය; ගල්වැස්ස සහිත කුණාටුවක් මෙන්ද විනාශකරන හුළඟක් මෙන්ද ගලායන මහත් ජලගැලීමක් මෙන්ද ඔහු ඒවා අතින් බිමට හෙළන්නේය.
3. එප්‍රායිම්හි බේබද්දන්ගේ උදාරතර ඔටුන්න පයින් පාගාදමනු ලබන්නේය.
4. සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන අලංකාර දීප්තිමත්කම වන පරවෙන මල නියඟ කලට පෙර පළමුවෙන් ඉදෙන අත්තික්කා ගෙඩියක්මෙන් වන්නේය; ඒක දකින අය එය දුටුවාම අතට ගත් කෙණෙහිම ගිලගන්නේය.
5. ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ ඉතිරි සෙනඟට අලංකාර ඔටුන්නක්ද දීප්තිමත් කිරීටයක්ද,
6. විනිශ්චය කිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද වනසේක.
7. එහෙත් මොව්හුද මුද්‍රිකපානය කරණකොටගෙන වැනි වැනී යති, සුරාපානය කරණකොටගෙන මුළාව යති; පූජකයාද අනාගතවක්තෘද සුරාපානය කරණකොටගෙන වැනි වැනී යති, මුද්‍රිකපානයෙහි ගිලී මද්‍යපානය කරණකොටගෙන මුළාව යති; ඔව්හු දර්ශනය වරද්දාගන විනිශ්චයේදී පැකිලෙති.
8. මක්නිසාද සියලුම මේස පවිත්‍ර තැනක් නැති තරමට වමනයෙනුත් කැත දෙයිනුත් පිරී තිබේ.
9. ‍උන්වහන්සේ දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරි වැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද?
10. මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.
11. එසේය, උන්වහන්සේ වියවුල් තොල්වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කථාකරනවා ඇත.
12. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නිවාඩුව මේය, වෙහෙසවූ අයට නිවාඩු දෙන්න; නිෂ්කලංකයත් මේයයි කීසේක. එහෙත් ඔව්හු අසන්ට අකමැතිවූහ.
13. එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණපිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔවුන්ට වන්නේය.
14. එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
15. අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි ඔබ සැම කීවහුය.
16. ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.
17. මම විනිශ්චය ලනුවද ධර්මිෂ්ඨකම ලඹයද කොට පාවිච්චිකරන්නෙමි. බොරුවේ රක්ෂාස්ථානය ගල් වර්ෂාවට පහවන්නේය, සැඟවෙන ඉඩමද වතුරට යටවන්නේය.
18. මරණය සමඟ තිබෙන ඔබ සැමගේ ගිවිසුම අවලංගුවන්නේය, පාතාලය සමඟ තිබෙන ඔබ සැමගේ පොරොන්දුව පවතින්නෙත් නැත; ගලාඑන විපත පැමිණෙන විට ඔබ සැම එයින් පාගාදමනු ලබන්නහුය.
19. එය එන එන විට ඔබ සැමව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
20. මක්නිසාද යමෙකුට දිගාවීමට ඇඳ දිග මදිය; පෙරවාගැනීමට වැස්ම පළල මදිය.
21. එසේය, ස්වාමීන්වහන්සේ තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය වන තමන්ගේ අපූරු වැඩය ඉෂ්ටකිරීමටත් පෙරාශීම් කන්දේදී මෙන් නැගිටිනසේක, ගිබියොන් මිටියාවෙත්දී මෙන් කෝපවනසේක.
22. ඒ නිසා ඔබ සැමගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ගෙන් ඇසීමි.
23. ඔබ සැම කන් යොමුකර මාගේ හඬ අසන්න; ඇහුම්කන්දී මාගේ වචන අසන්න.
24. හාන්නා වපුරන පිණිස සෑමදාම හාන්නේද? තොර නැතුව තමාගේ බිම හාරා පස්කැටි කඩන්නේද?
25. ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?
26. මෙසේ ඔහුගේ දෙවියන්වහන්සේ හරි විධිය ඔහුට පෙන්වා ඔහුට උගන්වනසේක.
27. තවද කොල්ලු තියුණු යන්ත්‍රයකින් මඩින්නේවත් දුරු පිට රථ රෝදයක් කරකවන්නේවත් නැත; කොල්ලු ලීයකින්ද දුරු කෝටුවකින්ද මඩින්නේය.
28. රොටි-ධාන්‍ය අඹරනු ලබන්නේය; මක්නිසාද ඔහු ඒවා නිතරම තළ තළා නොසිටින්නේය. තමාගේ රථ රෝද සහ තමාගේ අශ්වයන් ඒවා පිට ගෙනගොස් ඒවා විසුරුවන නුමුත් ඒවා පොඩිකරවන්නේ නැත.
29. මේකත් සේනාවල ස්වාමීන්වහන්සේ ගෙන් පැමිණෙයි, උන්වහන්සේ මන්ත්‍රණයෙන් අපූරුව ප්‍රඥාවෙන් උතුම්ව සිටිනසේක.

ගීතාවලිය 107:33-43
33. උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක;
34. වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.
35. උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක.
36. බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා,
37. ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක.
38. ඔවුන් අතිශයින් බෝවන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකරනසේක; ඔවුන්ගේ සිව්පාවුන් අඩුවෙන්ට නොදෙනසේක.
39. ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති.
40. උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක.
41. එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.
42. අවංකයෝ ඒ දැක සන්තෝෂවන්නෝය; සියලු ආකාර අයුතුකමද කට පියාගන්නේය.
43. නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හු ස්වාමීන් ගේ කරුණාවන්තකම් කල්පනාකරන්නෝය.

හිතෝපදේශ 25:20-20
20. දුක්වූ සිතකට ගීතිකාකරන්නා ශීත කාලයේදී වස්ත්‍රය ගළවාදමන්නෙක්ද වෙඩිලුණුවලට කාඩිද වැනිය.

2 කොරින්ති 10:1-18
1. ඉදිරියෙහි සිටින කල ඔබ සැම අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල ඔබ සැම කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා ඔබ සැමගෙන් ඉල්ලීමක් කරමි.
2. එසේය, අප මාංසාකාරයෙන් හැසිරෙන්නන් කොට ගණන්ගන්නා සමහරුන්ට විරුද්ධව පාන්නට මා සිතන විශ්වාසයෙන්, ඔබ සැම වෙත සිටින විට මට නිර්භීතවෙන්ට නොසලස්වන මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.
3. මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.
4. (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)
5. අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.
6. ඔබ සැමගේ කීකරුකම සම්පූර්ණවූ කල සියලු අකීකරුකමට දඬුවම්කිරීමටද අපි සූදානම්ව සිටිමුව.
7. ඔබ සැම පෙනීමේ හැටියට කාරණා බලන්නහුද? යමෙක් තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතියයි සිතාගන සිටින්නේ නම්, තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතිවා සේම අපිත් අයිති බව තමාම කල්පනාකරගනීවා.
8. මක්නිසාද (ඔබ සැම බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.
9. [එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් ඔබ සැම භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය.
10. මක්නිසාද: ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි ඔව්හු කියති.
11. මෙන්න, අපි ඈත්ව සිටින කල ලියුම්වල වචනවලින් යම් ආකාරව සිටිමුද ළඟ සිටින කල ක්‍රියාවෙනුත් එසේමයයි එබඳු අය තේරුම්ගනීවා.
12. මක්නිසාද තමුන් ගැනම සාක්ෂිදෙන්නාවූ සමහරුන් සමඟ අප ගණන්ගන්ට නොහොත් ඔවුන්ට අපම සමානකරගන්ට අපට ධෛර්යය නැත. නුමුත් තමුන්ගේම මිම්මෙන් තමුන්ම මැනගන්නාවූ, තමුන්ටම තමුන් සමානකර බලන්නාවූ ඔව්හු තේරුම් නැතුව සිටිති.
13. නුමුත් අපි ප්‍රමාණයට වඩා නොව, ඔබ සැම ළඟට පවා පැමිණෙන පිණිස, දෙවියන්වහන්සේ විසින් අපට මැනදුන් මායිමේ ප්‍රමාණයේ හැටියට පාරට්ටුකරගන්නෙමුව.
14. මක්නිසාද අප ඔබ සැම ළඟට නොපැමුණුණාක්මෙන්, [අපේ මේ කීමෙන්] අපේ මායිමෙන් එපිට යනවා නොවේ. එසේය, ඔබ සැම දක්වාත් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඇතුව ආවෙමුව.
15. අපේ පමණට වඩා, එනම් අනුන්ගේ වැඩ ගැන, අපි පාරට්ටු නොකරමුව.
16. නුමුත් ඔබ සැමගේ ඇදහිල්ල වැඩිවන විට, අපේ අත්වලට සූදානම්ව තිබෙන අනුන්ගේ මායිමේ වැඩ ගැන පාරට්ටු නොකොට, ඔබ සැමට එහායින් තිබෙන පළාත්වලත් ශුභාරංචිය දේශනාකරන පිණිස වර්ධනයවීමට ඇත්තාවූ අපේ මායිමේ ප්‍රමාණයලෙස ඔබ සැම නිසා විශාලකමක් ලබන්නෙමුයයි බලාපොරොත්තුවෙමුව.
17. නුමුත් පාරට්ටුකරගන්නා ස්වාමීන්වහන්සේ තුළ පාරට්ටුකරගනීවා.
18. මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂිදෙන අයට නොව ස්වාමීන්වහන්සේගෙන් සාක්ෂි ලබන අයටය.