A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 17

යෙසායා 25:1-12
1. ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.
2. එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.
3. එබැවින් බලවත් සෙනඟ ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.
4. මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.
5. වියළි තැනක ග්‍රීෂ්මය මෙන් ඔබ අන් දේශක්කාරයන්ගේ ඝෝෂාව පහකරනසේක; වලාකුළක සෙවණ කරණකොටගෙන ග්‍රීෂ්මය පහවයන්නාක්මෙන් භයානකයන්ගේ ජයගීය යටත්කරනු ලැබේ.
6. සේනාවල ස්වාමීන්වහන්සේ ද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.
7. උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකරදමනසේක.
8. උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍
9. ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.
10. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක්මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය.
11. පීනන්නෙකු පීනන්ට අත් විදහන්නාක්මෙන් ඔහු එහි තමාගේ අත් විදහන්නේය; නුමුත් උන්වහන්සේ ඔහුගේ ආඩම්බරයත් ඔහුගේ අත්වල ප්‍රයෝගයත් පහත්කරදමනසේක.
12. උන්වහන්සේ ඔබේ පවුරුවල උස් බලකොටුව හෙළාදමා, පහත්කොට, බිමේ දූවිල්ලටම පමුණුවනසේක.

යෙසායා 26:1-21
1. ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.
2. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.
3. ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
4. ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.
5. මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක.
6. පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත.
7. ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.
8. එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.
9. මාගේ ආත්මයෙන් මම රාත්‍රියෙහි ඔබ කෙරෙහි ආශාවීමි; එසේය, මා තුළ මාගේ ආත්මයෙන් අලුයම ඔබ සොයන්නෙමි. මක්නිසාද ඔබගේ විනිශ්චයන් පොළොවේ ඇතිකල්හි ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති.
10. දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේ ගේ මහන්තත්ත්වයද නොදක්නේය.
11. ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.
12. ස්වාමීන්වහන්ස, ඔබ අප උදෙසා සමාදානය ප්‍රදානයකරනසේක. මක්නිසාද අපේ සියලු කාරණාම ඔබ අප උදෙසා කරදුන්සේක.
13. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඇර වෙන ස්වාමිවරු අප ආණ්ඩුකළෝය; නුමුත් අපි ඔබ සහ ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව.
14. මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති කළසේක.
15. ස්වාමීන්වහන්ස, ඔබ සෙනඟ වැඩිකළසේක, ඔබ සෙනඟ වැඩිකර ගෞරවය ලබාගත්සේක. ඔබ දේශයේ සියලු මායිම්ද විශාලකළසේක.
16. ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.
17. ගර්භණියක් බිහිකරන්ට ළංවෙන විට විළිරුජාවෙන් මිරිකී කෑගසන්නාක්මෙන්, ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි අපි සිටි-යෙමුව.
18. අපි ගර්භිණීව සිට වේදනා විඳිමින් හුළඟ බිහිකළාක්මෙන් බිහිකෙළමුව; දේශයෙහි කිසි මිදීමක් ඉෂ්ට නොකෙළෙමුව; ලෝවැසියෝද නොවැටුණෝය.
19. ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
20. මාගේ සෙනඟ එන්න, ඔබ සැමගේ ඇතුල් ගෙවලට ගොස් ඔබ සැමගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න.
21. මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.

ගීතාවලිය 107:23-32
23. නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ
24. ස්වාමීන් ගේ ක්‍රියාද ගැඹුරෙහි උන්වහන්සේගේ පුදුමද දකිති.
25. මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක.
26. ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති. ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි.
27. ඔව්හු බේබද්දෙකු මෙන් ඇලෙවවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි.
28. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන් ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක.
29. උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක.
30. එවිට නිශ්චලයක්වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක.
31. ස්වාමීන් ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
32. ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.

හිතෝපදේශ 25:18-19
18. තමාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි කියන්නා පොල්ලක්ද කඩුවක්ද තියුණු ඊයක්ද වැනිය.
19. විපත්ති දවසේදී අවිශ්වාස මනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාසකිරීම බිඳුණු දතකුත් වෙවුලන පාදයකුත් මෙනි.

2 කොරින්ති 1:9-15
9. එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය.
10. උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;
11. ඔබ සැමත් එක්ව ඔබ සැමගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
12. මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් ඔබ සැම කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
13. එසේය, ඔබ සැම කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් ඔබ සැමට නොලියමුව, ඔබ සැම කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.
14. අපි එසේ ඔබ සැමගේ පාරට්ටුවය කියා ඔබ සැමගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම ඔබ සැමත් අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.
15. මේ විශ්වාසයෙන් ඔබ සැමට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් ඔබ සැම ළඟට ඇවිත්,