A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 16

යෙසායා 23:1-18
1. තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද ගෙයක්වත් ඇතුල්වෙන තැනක්වත් නැති තරමට ඒක නාස්තිවිය. කිත්තිවරුන්ගේ දේශයෙන් ඒක ඔවුන්ට ආරංචිවිය.
2. මුහුදු බඩ වැසියෙනි, නිශ්ශබ්ද වෙන්න; මුහුදේ යාත්‍රාකරන ශීදොන් වෙළඳුන් විසින් ඔබ පූර්ණකොට තිබේ.
3. මහා ජලයන් කරණකොටගෙන ෂිහොර්හි බීජ වන නයිල් ගංගාවේ අස්වැන්න ඇගේ ආදායම විය; ඈ ජාතීන්ගේ වෙළඳාම්පළ වූවාය.
4. එම්බා ශීදොන්, ලජ්ජාවෙන්න; මක්නිසාද මුහුද, එනම් මුහුද බලකොටුව කථාකොට: මම බිහිකරන වේදනා නොවින්දෙමි, දරුවන් බිහිනොකළෙමි, තරුණයන් පෝෂ්‍ය නොකෙළෙමි, කන්‍යාවන් ඇති නොකෙළෙමියි කීවාය.
5. එය මිසරයට සැලවූ කල තීර්හි ආරංචිය ගැන ඔවුන්ට තද ශෝක ඇතිවන්නේය.
6. තර්ෂිෂ්ට යාත්‍රාකරන්න; මුහුදුබඩ වැසියෙනි, කෑමොරගසන්න.
7. පුරාණ කාලයේ සිට පවත්නාවූ, වාසය පිණිස බොහෝ දුර පයින් ගමන්ගත් ඔබ සැමගේ ප්‍රීතිමත් නුවර මේකද?
8. ඔටුනු පළඳ වන නුවරවූ තීර්ට විරුද්ධව මේක යෝජනාකළේ කවුද? ඇගේ වෙළෙන්දෝ අධිපතියෝය, ඇගේ ගනුදෙනුකාරයෝ පොළොවේ නම්බුකාරයෝය.
9. සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක.
10. එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් ඔබේ දේශයෙහි පැතිරෙන්න; ඔබ අවටින් බැම්මක් තවත් නැත.
11. උන්වහන්සේ තමන්ගේ හස්තය මුහුද කෙරෙහි දිගුකර රාජ්‍යයන් සෙල්වූසේක. කානාන්හි බලකොටු නැතිකරන ලෙස ස්වාමීන්වහන්සේ ඒ ගැන අණකළසේක.
12. බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, ඔබ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් ඔබට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
13. කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය.
14. තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න. මක්නිසාද ඔබ සැමගේ බලකොටුව නාස්තිවිය.
15. තවද ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය. අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය.
16. එම්බා මතකනැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, ඔබ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න.
17. තවද අවුරුදු සැත්තෑවකට පසුව ස්වාමීන්වහන්සේ තීර් දෙස බලනසේක, ඈද තමාගේ කුලියට හැරී ඇවිත්, පොළෝ මතුපිට ලෝකයේ සියලු රාජ්‍යවල් සමඟ ගනුදෙනුකරනවා ඇත.
18. ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේ ට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.

යෙසායා 24:1-23
1. බලව, ස්වාමීන්වහන්සේ පොළොව හිස්කොට පාළුකරනසේක, ඒක පෙරළා එහි වැසියන් විසුරුවාදමනසේක.
2. සෙනඟට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරීට මෙන් ඇගේ ස්වාමිදුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොළීගන්නාට මෙන් පොළීදෙන්නාටත් සිදුවන්නේය.
3. පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ වචන වදාළසේක.
4. පොළොව වැලපී මලානිකවේ, ලෝකය ක්ලාන්තව මලානිකවේ, පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්තවෙති.
5. පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.
6. එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.
7. අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.
8. රබන්වල ප්‍රීතිය නවතියි, ප්‍රීතිවන්නන්ගේ ඝෝෂාව අත්හිටියි, වීණාවේ ප්‍රීතිය නවතියි.
9. ඔවුන් ගී කිය කියා මිදිරස බොන්නේ නැත; මද්‍යපාන බොන්නන්ට ඒවා තික්තවන්නේය.
10. පාළුවූ නුවර කඩාදමා තිබේ. කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසාතිබේ.
11. මුද්‍රිකපානය නිසා වීථිවල කෑගැසීමක් තිබේ; මුළු ප්‍රීතිය අඳුරුවී, දේශයේ සන්තෝෂය පහව ගියේය.
12. නුවර ඉතුරුව තිබෙන්නේ පාළුකමය, දොරටුව නාස්තිවන සේ පහර ලැබීය.
13. මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය.
14. මොව්හු හඬනගා ප්‍රීතියෙන් මොරගසා ස්වාමීන්වහන්සේ ගේ මහන්තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නෝය.
15. එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේ ටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයටත් ගෞරවකරන්න.
16. ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.
17. එම්බා පොළෝ වැසිය, භයානකකමක්ද වළක්ද මළපතක්ද ඔබ පිට තිබේ.
18. තවද භය ඝෝෂාව නිසා පලායන්නා වළේ වැටෙන්නේය; වළෙන් ගොඩවෙන්නා මලපතට අසුවන්නේය. මක්නිසාද ඉහළ කවුළු ඇරී තිබේ, පොළොවේ අත්තිවාරම්ද සෙලවෙන්නේය.
19. පොළොව සහමුලින්ම කැඩී තිබේ, පොළොව එහෙම පිටින්ම දියවී තිබේ, පොළොව අතිශයින් කම්පාවේ.
20. පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.
21. ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ උසස්ථානයෙහි සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළොවේ සිටින පොළොවේ රජවරුන්ටත් දඬුවම්කරනසේක.
22. හිරකාරයන් වළක රැස්කර තබන්නාක්මෙන් ඔව්හු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය.
23. එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.

ගීතාවලිය 107:10-22
10. සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ, අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය;
11. කුමක් හෙයින්ද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනවලට විරුද්ධව කැරළිගසා, මහෝත්තමයාණන්ගේ මන්ත්‍රණය හෙළාදැක්කෝය.
12. ඒ නිසා උන්වහන්සේ වෙහෙස පැමිණවීමෙන් ඔවුන්ගේ සිත් පහත්කළසේක. ඔව්හු වැටුණෝය, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය.
13. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන් ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක.
14. උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක.
15. ස්වාමීන් ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
16. මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක.
17. මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති.
18. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති.
19. එවිට ඔව්හු තමුන්ගේ විපෙත්දී ස්වාමීන් ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක.
20. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.
21. ස්වාමීන් ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
22. ඔව්හු ස්තුති පූජා පුදා, ගී කීමෙන් උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශකෙරෙත්වා.

හිතෝපදේශ 25:17-17
17. ඔබේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු ඔබ ගැන වෙහෙසවී, ඔබට වෛරවෙයි.

2 කොරින්ති 1:8-24
8. එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන ඔබ සැම නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය.
9. එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය.
10. උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;
11. ඔබ සැමත් එක්ව ඔබ සැමගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
12. මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් ඔබ සැම කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
13. එසේය, ඔබ සැම කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් ඔබ සැමට නොලියමුව, ඔබ සැම කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.
14. අපි එසේ ඔබ සැමගේ පාරට්ටුවය කියා ඔබ සැමගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම ඔබ සැමත් අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.
15. මේ විශ්වාසයෙන් ඔබ සැමට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් ඔබ සැම ළඟට ඇවිත්,
16. ඔබ සැම වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් ඔබ සැම ළඟට ඇවිත් යුදයට යනගමනේදී ඔබ සැම විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි.
17. ඉදින් මෙසේ සිතීමෙන් මම අස්ථිරලෙස ක්‍රියාකළෙම්ද? නොහොත් එසේය එසේය කියාත් නැත නැත කියාත් මා කියන පිණිස, මා අදහස්කරන දේ මාංසාකාරයෙන් අදහස් කරම්ද?
18. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටින සේම ඔබ සැම වෙතට පැමිණෙන අපේ වචනය එසේය කියාද නැත කියාද නොවේ.
19. මක්නිසාද අප කරණකොටගෙන, එනම් මාද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින්, ඔබ සැම අතරෙහි දේශනාකරනු ලැබූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එසේය කියාත් නැත කියාත් වූවා නොව උන්වහන්සේ තුළ එසේය කියා වේ.
20. මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.
21. ඉදින් ඔබ සැම සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරකරන්නෙත් අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය.
22. උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන්වහන්සේ නැමති අත්තිකාරම අපට දුන්සේක.
23. මම කොරින්තියට නාවේ ඔබ සැම කෙරෙහි අනුකම්පාවෙන් බවට මාගේ ප්‍රාණය පිට දෙවියන්වහන්සේ සාක්ෂියක් කොට ගනිමි.
24. එහෙත් ඔබ සැමගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව ඔබ සැමගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.