A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 15

යෙසායා 21:1-16
1. මුහුදු කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. දකුණු දිග සුළිහුළං ගසන්නාක්මෙන් ඒක භයානක දේශයක් වන කාන්තාරයෙන් එන්නේය.
2. දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.
3. එබැවින් මාගේ ඉඟටිය වේදනාවෙන් පිරී තිබේ; බිහිකරන ස්ත්‍රියෙකුගේ විළිරුජා මෙන් රුජා මට අල්ලා තිබේ. කන් නොඇසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැලඹී සිටිමි.
4. මාගේ සිත තිගැස්සිවන්නේය, භයංකරය මා භයගැන්නෙවුවේය. මා ආශාවූ සැන්දෑ කාලය මට වෙවුලුම වී තිබේ.
5. ඔව්හු මේසය සූදානම් කෙරෙති, මුර සිටුවති, කමින් බොමින් සිටිති. අධිපතිවරුනි, නැගිට පලිහ ආලේපකරන්න.
6. මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ ගොස් මුරකාරයෙක් සිටවන්න; ඔහු දකින දේ දන්වාවා.
7. ඔහු මෘගයන් පිට එනම් දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිටද කොටළුවන් පිටද මනුෂ්‍යයන් නැගී එනවා දකිනකල ඉතා ඕනෑකමින්ම ඇහුම්කන්දෙන්නේයයි කීසේක.
8. ඔහු සිංහයෙකු මෙන් මොරගසා: ස්වාමීන්වහන්ස, මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි,
9. අන්න, දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිට මනුෂ්‍යයෝ නැගී එතියි කීවේය. ඔහු උත්තරදෙමින්: බබිලෝනිය වැටුණාය, වැටුණාය; ඇගේ දෙවිවරුන්ගේ කැපූ රූප සියල්ලම කඩා බිමදමනලද්දේයයි කීවේය.
10. අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ ගෙන් මා ඇසූ දේ මම ඔබ සැමට දැන්නුවෙමි.
11. දූමා ගැන දිව්‍ය ප්‍රකාශනයය. මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයද? මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයදැයි සේයිර් සිට කෙනෙක් මට හඬගසයි.
12. මුරකාරයාද: පහන් වේලාව එන්නේය, රාත්‍රියත් එන්නේය. ඔබ සැම විභාගකරන්ට නම් කැමති නැවත ඇවිත් විභාගකරන්නැයි කීවේය.
13. අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පඳුරු අතරේ ඔබ සැම නවාතැන් ගන්නවා ඇත.
14. තේමා දේශයේ වැසියෝ පිපාසා ඇත්තාගේ පෙරමගට වතුර ගෙනාවෝය, පලායන අය වෙතට කෑම රැගෙන ආවෝය.
15. මක්නිසාද ඔව්හු කඩු ඉදිරියෙන්ද ඇදගත් කඩුව ඉදිරියෙන්ද තැත්කැවූ දුන්න ඉදිරියෙන්ද යුද්ධයේ තදකම ඉදිරියෙන්ද පලාගියෝය.
16. මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තව අවුරුද්දකින් කේදාර්හි මුළු තේජස නැතිව යන්නේය.

යෙසායා 22:1-25
1. දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්‍රකාශනයය. ඔල්වරහඬවලින් පූර්ණවූ ඝෝෂා ඇති නුවරක්ද ප්‍රීතිමත් නගරයක්ද වූ ඔබ තුළ සිටින සියල්ලන් පියසිවලට නැගීගියේ ඔබට මක්වෙලාද?
2. ඔබ තුළ මැරුම්කෑ අය කඩුවෙන් මරනලද්දෝවත් සටනේදී මැරුණෝවත් නොවෙති.
3. ඔබේ සියලු අධිපතියෝ එක්ව පලාගිය නුමුත් දුනුකාරයන්ට අසුවුණෝය; දුරට පලාගියාවූ, ඔබ තුළ සම්බවුණු සියල්ලෝ අසුවුණෝය.
4. එබැවින්: මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් අඬන්නෙමි; මාගේ සෙනඟවූ දුවගේ නාස්තිය ගැන මා සනසන්ට වෑයම් නොකරන්නැයි කීමි.
5. මක්නිසාද ඒ දවස සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් වූ දර්ශන මිටියාවතෙහි කැලඹීමේද පාගාදැමීමේද වියවුලේද දවසක්ය; පවුරු බිඳ දැමීමක් හා කඳුවලට මොරගැසීමක්දවේ.
6. ඒලාම් වනාහි රථ සේනාවද අසරුවන්ද ඇතුව සිට ඊකොපුව දැරුවේය; කීර්ද පලිහෙන් වැස්ම ඇරියේය.
7. මෙසේ ඔබේ ඉතා හොඳ මිටියාවත් රථවලින් පිරී තිබුණේය, අසරුවෝද දොරටුව ඉදිරියෙහි සිටගත්තෝය.
8. යූදාගේ වැස්ම අහක්කරනලද්දේය, ඔබ ඒ දවසෙහි වනය නම් ගෘහයේ යුද්ධායුධ දෙස බැලුවෙහිය.
9. දාවිත්ගේ නුවර බිඳුම් බොහෝ බව ඔබ සැම දැක පහළ පොකුණේ දිය රැස්කළහුය.
10. යෙරුසලමේද ගෙවල් ගණන්කොට පවුර සවිකරන පිණිස ගෙවල් බිඳ හෙළූය.
11. පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස ඔබ සැම බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ තැනන්වහන්සේ සැලකුවේවත් නැත.
12. ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.
13. එහෙත් ප්‍රීති සන්තෝෂයත් ගොනුන් සහ බැටළුවන් මැරීමත් මස් කෑමත් මුද්‍රිකපානය බීමත් තිබේ. අපි කමු, බොමු, මක්නිසාද හෙට මියන්නෙමුයයි කියති.
14. සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කනට එළිදරව් කරමින් කියනසේක්: ඔබ සැම නසිනතුරුම සැබවින් මේ අපරාධය ඔබ සැමගෙන් පහකරනු නොලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේකැයි වදාළසේක.
15. සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: ගෘහාධිපතිවූ ෂෙබ්නා නම්වූ මේ ගබඩාකාරයා ළඟට ඔබ ගොස් මෙසේ කියන්න,
16. එනම්: ඔබට මෙහි ඇතිකම මොකද? ඔබ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි ඔබේ කවුරු සිටින නිසාද? උස්තැනක තමාට සොහොනක් කොටා ගන්නේය, පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපාගන්නේය!
17. බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ ඔබ හෙළාදමා, වැස්මකින් ඔබ වසා,
18. ඔබ අකුළා ගුළියක් කර, විශාල දේශයකට පන්දුවක්මෙන් සැබවින්ම ඔබ වීසිකරදමනසේක; එහිදී ඔබ නසින්නෙහිය, ඔබේ ස්වාමියාගේ වංශයේ ලජ්ජාවට හේතුවූ තැනැත්ත, එහිදී ඔබේ තේජසේ රථ තිබෙන්නේය.
19. මම ඔබේ නිලයෙන් ඔබ නෙරපාදමන්නෙමි, ඔහු ඔබේ ඉඩමෙන්ද ඔබ ඇද දමන්නේය.
20. තවද ඒ දවසෙහි හිල්කියාගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවූ එලියාකීම් අඬගස්වා,
21. ඔබේ සළුව ඔහුට අඳවා, ඔබේ පටියෙන් ඔහු සවිකොට, ඔබේ ආණ්ඩුව ඔහු අතට භාරදෙන්නෙමි. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා වංශයටත් පියෙක් වන්නේය.
22. දාවිත්ගේ වංශයේ යතුරද ඔහුගේ කර පිට තබන්නෙමි; කිසිවෙක් නොපියන ලෙස ඔහු අරින්නේය; කිසිවෙක් නාරින ලෙස ඔහු පියන්නේය.
23. මම සවි තැනක ඇණයක් මෙන් ඔහු පිහිටුවන්නෙමි; ඔහු වනාහි තමාගේ පිය වංශයට ඉසුරුමත් ආසනයක් පිණිස වන්නේය.
24. ඔහුගේ පියාගේ වංශයේ මුළු ඉසුරවූ වංශය සහ පෙළපතද පාත්‍රා භාජන පටන් කළගෙඩි දක්වා සියලු කුඩා භාජනද ඔහු පිට එල්ලා තබනවා ඇත.
25. ඒ දවසෙහි සවි තැනක පිහිටුවා තිබුණු ඇණය පහවන්නේය; එය කපා දමනු ලැබ වැටෙන්නේය, ඒ පිට තිබුණ බර සිඳදමනු ලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ වදාළසේක.

ගීතාවලිය 107:1-9
1. පස්වෙනි කාණ්ඩය. ස්වාමීන් ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
2. ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා,
3. දේශවලින් එනම් නැගෙනහිරින් හා බස්නාහිරින්ද උතුරෙන් හා දකුණෙන්ද ඔවුන් රැස්කොට ගත්සේක.
4. ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය; වාසයට නුවරක් නොලැබුවෝය.
5. සයින් පීඩිතව පිපාසිතව, ඔවුන්ගේ ආත්මය ඔවුන් තුළ ක්ලාන්තවිය.
6. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන් ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් මුදාගත්සේක.
7. වාසයකිරීමට යෝග්‍යවූ නුවරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මගකින් ඔවුන් ගෙනගියසේක.
8. ස්වාමීන් ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
9. මක්නිසාද උන්වහන්සේ පිපාසිතයා තෘප්තියට පමුණුවා, ක්ෂුධා ඇත්තා යහපතින් පිනවනසේක.

හිතෝපදේශ 25:14-16
14. යමක් දෙන්නෙමියි කියා බොරුවට වර්ණනාකරන්නා වර්ෂා නැති වලාකුල්ද හුළඟද මෙනි.
15. ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.
16. ඔබට මීපැණි සම්බවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.

2 කොරින්ති 1:1-16
1. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පාවුල්ද අපගේ සහෝදරවූ තිමෝතියස්ද කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටත් අකාය මුළුල්ලෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් ලියා එවන වග නම්:
2. අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් ඔබ සැමට වේවා.
3. දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
4. අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.
5. මක්නිසාද යම්සේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීම් අප කෙරෙහි අධිකවන්නේද, එසේම ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපගේ සැනසිල්ලත් අධිකවන්නේය.
6. අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි ඔබ සැමගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ ඔබ සැමගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම ඔබ සැම විසිනුත් ඉවසීමෙන්ය.
7. ඔබ සැම ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද ඔබ සැම දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමුව.
8. එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන ඔබ සැම නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය.
9. එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය.
10. උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;
11. ඔබ සැමත් එක්ව ඔබ සැමගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
12. මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් ඔබ සැම කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
13. එසේය, ඔබ සැම කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් ඔබ සැමට නොලියමුව, ඔබ සැම කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.
14. අපි එසේ ඔබ සැමගේ පාරට්ටුවය කියා ඔබ සැමගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම ඔබ සැමත් අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.
15. මේ විශ්වාසයෙන් ඔබ සැමට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් ඔබ සැම ළඟට ඇවිත්,
16. ඔබ සැම වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් ඔබ සැම ළඟට ඇවිත් යුදයට යනගමනේදී ඔබ සැම විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි.